Showing posts with label ලමා කතා. Show all posts
Showing posts with label ලමා කතා. Show all posts

Friday, September 19, 2014

දිව්‍යමය රථය- - (part II)






http://gimannivannie.blogspot.com/2014/09/blog-post.html
(1 කොටස මෙතනින්.)


           දරුවා, මවගේ හා පියාගේ අසීමිත දෝශාරෝපණයට ලක්විය.   ඔහුට ඊට දඬුවමක් ලෙස, ලදරු කාමරයේ සිට, කවි පාඩම් කිරීමට අණ ලැබිණි. 
 "මට පිලිකුල් ඕනෑම කෙනෙක් බොරු කියන විට." උස් හඬින් ගිගිරූ පියා ඔහුට වේවැල් පහරින් සංග්‍රහ කළේය."ඔහෙ ඇති කරත්තයකුත් නෑ,පාලමකුත් නෑ, කඳු ගැටයකුත් නෑ. උඹ හරිම බොරුකාරයෙක්."    
       දරුවාගේ මව, තම වරද පිළිගෙන පියාගෙන් සමාව අයැද සිටිනා ලෙස, දරුවාට ආයාචනා කළාය.   
 නමුත් දරුවා එසේ කිරීමට මැලි විය. ඉලිප්පී ඇතී, වේදනා ගෙන දෙන වේවැල් පහර කැමෙන් පසු, කවි පාඩම් කිරීමට සිදු වුවත්,ඔහුගේ දිවියේ උත්කෘශ් අවස්ථාව, බොරුවක් බැව් පිලිගන්නේ කෙසේද?
                  හරියටම ඉර බසින ගොම්මනේ,   විනෝදකාමී, තරුණ කාන්තවක විසින්  පැද වූ රියක නැගී, දරුවා නිවසට ලඟා විය. රථයේදී, ඔවුන් දෙදෙනා මගීන් ගෙන යන විවිධ වූ රථ ගැන කතාබස් 
කළහ.ඔහු ප‍ටු මග ඔස්සේ නිවසට ලඟා වී හෝරා තුනක්වත් ගතවී නැතත්, ඇගේ මුදු හඬ, දැන් ඔහුගේ මතකයෙන් කොපමණ දුරස්ද?
                 දරුවාගේ සිතිවිළි, බිඳ දමමින්, මව කාමරයෙන් මෙපිට සිට, ඔහු ඇමතුවාය.
                               "ඔබේ කවි පොත ගේන්න."
කාමරයෙන් පිටතට ආ දරුවා, තම පියා, බොන්ස් මහතා සමග අමුත්තන් ගේ කාමරයේ සිටිනු දිටීය.

 "මේ සැපත් වන්නේ මහා සංචාරකයා!" දැත් දිගුකරමින් ඔහුගේ පියා පැවසූ උපහාසාත්මක වචන කාමරය පුරා සිසාරා ගියේය." ඔහු දේදුන්නකට ඉහලින් ගමන් ගත්තාලු"! දරුවා ලජජාවෙන් මිරිකෙමින්, පියාගේ සිනා හඬ  අසා සිටියේය. 
            "මේ සිදුවීම මට හරිම කුතුහලය ගෙන දෙන්නක්. චුදිතයා වෙනුවෙන් සමාව අයදින්න මට අවසරද?" බොන්ස් මහතා සිනාසෙමින් ඇසීය.
       "බලන්න. බොන්ස් මහතා කොපමන කරුනාවන්තද කියා."  ඔහුගේ මව කීවාය.
    කවි ගායනාවලින් පසු ඔහුට යාමට අවසර තිබෙනවා."
     "මම ඔහුව, මගෙ සහෝදරී ගාවට යවන්නයි බලාපොරොත්තුව. එවිට, ඔය ඇලි දිගේ බඩගාන එක සුව වේවි." 
              "හා, අපි අරඹමු". බොන්ස් මහතාගේ වදන් දරුවා ගේ කණට මීපැනි වත්කරන්නා සේ මිහිරි විය.
                      "Standing aloof  in giant ignorance."   
               "ඔයාටම හරියන කවිය. මම කෙදිනකවත් සිතුවෙ නෑ මේ කවියො ඇත්ත කියනවා කියා." පියා නැවතත් සමච්චල් කිරීම ඇරඹීය. "බොන්ස්. ඔබ ඔහුට ඇහුම්කන් දෙන්න. මම විස්කි බෝතලය ගේන්නම්."

"ඔව්. මම කීට්ස් ට කැමතියි.එහෙනම් අරඹමු."
සුලු මොහොතකට, දරුවා හා පැසුන මිනිසා කාමරයේ තනි වූහ.
                "Standing aloof in giant ignorance."
            "හරියට හරි. කුමක් නරඹන්නද?"   "ගැඹුරු සාගරයේ ඇති ඩොල්ඵින් කොරල් නැරඹීමට." දරුවා පිළිවදන් දිනි.ඉනික්බිති, ඔහු ඉකිබිඳීමට පටන් ගත්තේය.
 "චා, චා, ඇයි ඔබ හඬන්නෙ?"

"ඒවායෙන් විස්තර වන්නේ මා ගැන නිසා."
        බොන්ස් මහතා කාව්‍ය ග්‍රන්ථය පසෙකින් තැබීය.ඔහු සිතුවාට වඩා මේ සිදුවීම කුතුහළය දනවන සුළුය.
 "ඔබ ගැන? මේ කවිය විස්තර කරන්නේ ඔබ ගැන?"
    "ඔව්.බලන්න දිගටම කියවලා. 'අඳුරු වෙරලේ ආලෝකය පැතිරේ.බැවුම්වල මිනිස් පා නොගැ‍ටුණ හරිතවත් තණබිම් දිස්වේ'.              ඒ සියල්ලම සැබෑවක්. බොන්ස් මහත්මයා"

 පියවූ දෙනෙතින්, "මම සැමදාමත් එසේ සිතුවා" යයි බොන්ස් මහතා තොළ මැතිරීය.
            "එසේ නම් ඔබ මා කීදේ විශ්වාස කරනවද?  දිව්‍යමය රිය හා රියදුරා, කුණා‍ටුව හා ටිකට්‍ටු යන සියල්ලම සත්‍යයක් යැයි ඔබ පිළිගන්නවාද?"

"චා, චා. තවත් නම් ඔය පල්හෑලි එපා.මම අදහස් කළේ කවිය, සදාතනික සත්‍යයක් බවයි. දිනක, ඔබ වඩාත් ගැඹුරින් කව් හදාරන විට, ඔබටම එය වැටහේවි."
" නමුත් බොන්ස් මහත්මයා, ඒ සියල්ල සත්‍යයක් නම්?   'අඳුරු වෙරලේ ආලෝකය පැතිරිණ.' එය එන සැටි මා දු‍ටුවා. සුලඟ හා ආලෝකය."

"විකාර." බොන්ස් පිළිවදන් දිණි.
"අනේ, මා එහි නැවතුනා නම්! මගේ ටිකට්‍ටුව ඔවුනට බාරදෙන ලෙස, ඔවුන් මා පෙලඹවූවා.ගංගාවේ ලලනාවන් පවා එය ඉල්ලා ආයාචනා කළා.ටිකට්‍ටුව නැතිව ඔබට ආපසු පැමිණිය නොහැකියි. මොහොතකට, මට ඔවුන් සමග නවතින්නත් සිතුණා. මන්ද යත් මා කිසිදිනක එතරම් සතුටින් සිට නැති නිසා.නමුත්, මව හා පියා ගැන සිහිවූ විට, ඔවුන් සමග නැවත පැමිනීමේ අපේක්ශාවෙනුයි මා පැමිණියේ. එහේට යන මග, මගේ නිවස ඉදිරියේම තිබුනත්,මගේ මාපියන් එහේ යාමට අකමැතියි.                                 ඔවුන් 
   කිවූ ලෙසම, කිසිවකු මා ඇදහූයේ නෑ.බොන්ස් මහතා, ඔබ පවා අනික් අය සේම මා අවිශ්වාස කළා. ඉතින්, නැවත මට ඒ කඳු ශිඛරය නරඹන්න නොළැබේවි."
  


             " මා ගැන ඔබ කුමක්ද කීවෙ"? එක්වරම අසුනේ කෙලින් ඉඳගනිමින්, බොන්ස් විචාලේය.

 "ඔබ කොපමණ උගත්ද හා කාවය්‍යන් ගැන ඔබේ හසළ දැනුම පිළිබඳව මා ඔවුන්ට පැවසුවා."

 "සවස් යාමයේ මා, ඔබ ඇවිදින්න ගෙනයන්නම්. ඉර බසින විට , ප‍ටු ඇලියේ ඔබේ රථය සොයා අපි සැරිසරමු,පිස්සු කොලුවා!"
"දරුවා ප්‍රීතියෙන් උද්දාමයට පත්ව උඩ පැන්නේය.කාමරය වටා කැරකුණේය.බොන්ස් මහතාගේ වතට කල්පනාකාරි බවක් ආරූඪ විය.
"මට සතු‍ටුයි, ඔබ මා විස්වාස කිරීම ගැන. ඔබ මගේ වදන් පිළිගනීවි යැයි මා ඔවුනට කීවා."අපි, දේදුන්නට ඉහලින්රථයේ, නැග යමු."

              දරුවා,සාහිත්‍ය සංගමයේ සභාපති, කුතුහලයට පත් කරමින්, ගමනට සැදී පැහැදී සිටියේය.බකින්හැම් උද්‍යාන මාවතෙන් හැරී,කිසිවකුත් ඔවුන් නොදු‍ටු බැව් සැකහැර දැනගත් පසු, ඔවුන් හනික, ප‍ටු වීදියට පැණ ගත්හ.ඉර බැසයමින් තිබිණ.
 ඔවුන් කෙළින්ම පිවිසියේ, නවතා තිබූ,රිය අසලටය.

"දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ!" බොන්ස් ගේ කටහඬේ විස්මය හා තිගැස්ම ගැබ් වී තිබිණි.
එය, දරුවා කැ‍ටුව ගිය රථය හෝ ආපසු පැමිණි රථය නොවීය.කලු,අලු හා සුදු පැහැයෙන් යුතු උසස්ම වර්ගයේ ජවාධිකයින් තිදෙනෙකු, යෙදුණ රථයේ සිටි, ගිලුන ඇස් හා පහලට තෙරපුන මුහුණක් ඇති රියදුරා, දෙවියන් ගැන කිවූ වදන් ඇසී,ආපසු හැරී බැලීය.ඔහු දු‍ටු පසු බොන්ස් මහතා කෑ ගසා, අනතුරුව වෙව්ලීමට පටන්ගත්තේය.
                         දරුවා රියට පැන්නේය.
          "මෙය විය හැකිද?" බොන්ස් විස්මපත් ව කෑ ගැසීය. උණ රෝගියෙක් මෙන් ඔහු තදින් වෙව්ලා ගියේය.
 "කිසිදිනක සිදුවිය නොහැක්කක්, සිදුවිය හැකිද?"
 "බොන්ස් මහත්මයා, විගස නගින්න.අලංකාර රථයක් නොවෙද?මේ තියෙන්නෙ ඔහුගෙ නම.  ඩා.....න්..... කවුද කියලා."

 බොන්ස් මහතා ද හනික රථයට පැණ ගත්තේය.සුළඟින් රථයේ දොර ඉබේම වැසිණි.
 "ඩා......න්, කෝ මට පෙන්වන්න. මගෙ දෙවියනේ! රථය ගමනාරම්භ කරනවා."
 "හුරා.." දරුවා උද්දාමයෙන් කෑ ගැසීය. 
              බොන්ස් මහතා වික්ශිප්ත විය.තමා පැහැරගෙන යනවා සේ ඔහුට දැනිණි.අඳුරු රිය තුළ, දොර අගුල සොයා ගැනීමට හෝ, තිර පහත් කිරීමට හෝ ඔහුට නොහැකි විය.ගිනිකූරක ආධාරයෙන්, හාත්පස විමසන විට, පිටත, රාත්‍රිය පැමිණ තිබිණ.රථය වේගයෙන් ගමන් කළේය.
             මනා ඉඩකඩක්  සහිත, විසල් හා සැම කොටසක්ම ඉතා සියුම්ව වද්දා, මනාව නිමකළ තිබූ රිය ඇතුලත  පිරික්සමින් " මේ නම් අමතක නොවන අත්දැකීමක්" යයි බොන්ස්  මහතා තොල මතුරා ගත්තේය.මේ අතරතුර, දරුවා,කෲශ වූ සිරු‍රැති රියදුරුගෙන් ටිකට්‍ටු දෙකක් ලබාගති. රියදුරා දු‍ටු බොන්ස් මහතා අසීමිතව කළබල විය. "ඒ කවුද දන්නවද?"රියදුරා කවුළුව වැසූ විගසින්, තැතිගත් ස්වරයකින්, ඔහු දරුවාගෙන් ඇසීය.
 "සර් ‍තෝමස් බ්‍රව්නිට තරම් මා ඔහුට ප්‍රිය නෑ. නමුත්, ඔහුත් ටිකක් ‍තෝමස් බ්‍රව්නි වගේ."

                "ඔව් නේද? එයා වගේ! අපූරුයි. නොදැනුවත්ව වුනත්, ඔබ මේ ශතවර්ෂයේ  සොයාගැනීම කරළා.ඒත් ඔබට පැවසීමට ඇත්තේ, ඔහු ‍තෝමස් බ්‍රව්නි වගේ කියා පමණද?  මා ඔබ විස්මපත් කරවන දෙයක් පැවසිමට යන්නෙ. ඔබට මතකද මගෙ පුස්තකාළයෙ රතු ලිලීමල් සීල් එක තබා ඇති ලොකු පොත්?ඒ සියල්ල රචනා කර ඇත්තේ ඔහු තමා."
         දරුවා නිසල විය. බොන්ස් මහතා කියූ කරුණ ධාරණය කරගැනීමට තරම් කාළයක් නිහඬව සිටි ඔහු, තවත් පැණයක් ඇසීය.
      "අපිට නැවත ගැම්ප් නෝනා ව දකින්න ලැබේවිද?"
 'මොන නෝනා?"

 "ගැම්ප් නෝනා හා පැරිස් නෝනා."
            "අප ඉදිරියේ ඉන්නවා මගේ පුස්තකාළයෙ වෙලුම් කළ ග්‍රන්ථ පබැඳූ මහා ගත්කතුවරයා. ඔබ මේ ඩිකන්ස් ගැනයි ඔහුගෙ චරිත ගැනයි කියවනවා."
 "මා ගැම්ප් නෝනා ව හොඳින් දන්නා නිසා ඒ ගැන කතා නොකර ඉන්න බැරි වුණා."

 "ඔබ මුළු දවසම ගතකලේ ඈ සමගද?"

 "අනේ නෑ.අප රේස් එකක් ගියා.මට කෙනෙක් මුණගැසුණා.ඔහු මාව රේස්කෝස් එකෙන් ඔබ්බට කැ‍ටුව ගියා ඩොල්පින් ලා පිනුම් ගසන සැටි බලන්නට."
   "ඇත්තෙන්ම! කවුද ඔහු?"
 "ඇචිලීස්.මා නම් ඔහු ඇමතුවෙ ටොම් ජෝන්ස් කියායි."
 බොන්ස් මහතා තදින් හුස්ම ඉහළ පහළ  හෙළීය. "දරුවො, ඔබ සියල්ල පටලවගෙන."
"බලන්න. ඔය අවස්ථාව උගත් කෙනෙකුට ලැබුණා නම්. ඔහු, ඔබ පවසන ඔය චරිත සියල්ල මනාව හඳුනාගෙන,ඒ එක් එක් තැනැත්තා සමග කතාබස් කළ යුතු දේ හොඳින් වටහා ගනීවි.  ඔහු, ගැම්ප් නෝනා හෝ පරිස් නෝනා සමග කාලය කා නොදමා හෝමර් හෝ මේ රථාචාරියා ලියූ දේ කියවා සෑහීමට පත් වේවි. බොලඳ ධාවන තරගවල නොයෙදී, ඒ වෙනුවට බුද්ධිමත් සංවාදවල නිරත වේවි." 

     "නමුත්බොන්ස් මහත්මයා,"දරුවා බැහැපත් ස්වරයෙන් කෙඳිරීය.ඔබ බුද්ධිමතෙක් බැව් මා ඔවුනට කීවා."
 "ඇත්ත. මා දන්නවා.අප එහෙට ලඟා වන විට මා ලැජ්ජාවට පත්වන ලෙස හැසිරීමෙන් වලකින ලෙස, ඔබෙන් ඉල්ලා සිටිනවා.ඔබ, වල්පල් දෙඩවීම හා ඔබ මොබ දිවීම නොකළ යුතුයි. නිහඬව,ම අසලින්ම ඉන්න. ඔවුන්, ඔබ අමතන තෙක්, ඒ අමරණීයයන්ගෙන්, ප්‍රස්න විචාරන්න එපා. return tickets   මා අතට පත් කරන්න.ඒවා ඔබ අතින් නැතිවෙන්න පුලුවන්."

 දරුවා නිහඬව, එහෙත් මදක් අසතුටින්, ටිකට්‍ටු දෙක ඔහු අත තැබීය.ඇත්තෙන්ම මෙහි ඒමට මග සොයා ගත්තේ දරුවාය.මුලින්ම, ඔහුව කිසිවෙකු විස්වාස කළේ නැත. නමුත් දැන්, ඒ මදිවාට, උපදෙස් වලට සවන් දීමටත් ඔහුට  සිදු වී ඇත.
              ඒ අතරතුර, වර්ෂාව නැවතී, තිර රෙදි අතරින්, සඳ රස් ගලා ආයේය.

"දැන්, දේදුන්නක් පෑව්වෙ කොහොමද?"

"මගෙ අවධානය බිඳින්න එපා.'" බොන්ස් මහතා තරහින් කීය."මා මේ මනස්කාන්ත දසුන තුල ධ්‍යානගත වී සිටින විට ඊට බාධා නොකරන්න.අනේ, මට මෙයට වඩා කරුණු කාරණා වැටහෙන, අනුන් ගැන මෙයට වඩා සිතන, කෙනෙක් සමග මේ මොහොත ගත කරන්න ලැබුනා නම්!"

 දරුවා තොල සපා ගත්තේය.මුළු ගමන පුරාවටම බොන්ස් මහතා ගේ උපදෙස් අනුව හැසිරීමට ඔහු තරයේ අදිටන් කර ගති.  පසුගිය වතාවේ, ඔහුගේ නව මිතුරන් අපහසුවට පත්වෙන්නට ඇති ඔහුගේ හැසිරීම් රටාව; එනම් දිවිලි පැනිලි, ගායනා කිරීම් මුලුමනින්ම නවතා දැමීමටත්, ඔවුන් ගේ නම් නිවැරදිව උච්චාරණය කිරීමටත්, තමාගේ ඉරියව් ගැන තදින්ම සැළකිලිමත් වීමටත්, හැකි සැම විටම මෞන වුර්ථය  ‍රැකීමටත් ඔහු ඉටා ගති.
 නමුත්, අහම්බෙන්, ඔහුගේ හිස වැදී,රියේ තිර රෙදි ඉහලට එසවුණ විට, දරුවා ගේ සියලු අධිෂ්ඨානයන්  සුළ‍ඟේ පාවී ගියේය.රථය ඒ වනවිටත්, සඳ කිරණෙන් නැහැවුණ,කඳු ගැටය   මුදුනටම ළඟා වී තිබූ අතර, තමා කළින් දිනක දු‍ටු ප්‍රපාතය,එහි පතුල සදාහරිත ගංගාවේ ස්පර්ශ කරමින්, ස්වප්නයක් සේ, නැගී සිටියේය.
  දරුවා නොඉවසිල්ලෙන් කෑගැසීය.

"අර බලන්න, කන්ද. ඔබට ඇසෙනවාද දිය පහරේ නවතම රිද්මය.බලන්න අර තැනිතලාවේ ගිනි මැල!"

 බොන්ස් මහතා වහා එදෙස බෑල්මක් හෙළා මෙසේ පිළිතුරු දිණි. "දිය පහර? ගිනි මැළ? මොනවද මේ උමතු කථා?කට පියා ගන්න. එහෙ කිසිත් දකින්නට නෑ."
            දරුවා බලා සිටියදීම හිරු එලියෙන් නොව, සඳ කිරණින් හා ගංගාවේ විසිරුණ දිය බිඳුවලින්, දේදුන්නක් නිර්මාණය වීම ඇරඹීය.

අසුන් තිදෙනා,තම පාද , දේදුන්න මත තැබූහ.දරුවා මෙතෙක් දු‍ටු, ඉතාමත්  චිත්තාකර්ෂනීය හා  ආනන්දජනක, දේදුන්න ඒ වුවත්  ඔහු එය ප්‍රකාශ කිරිමට මැලි වූයේ, බොන්ස් මහතා එවැනි දෙයක්  දු‍ටු බව නොපිළිගත් නිසාය.
       දරුවා, විවර වූ ජනෙල් කවුලුවෙන්, පිටතට නැමී, නිද්‍රාජනක දියෙන් නැගුන සංගීතය මිමිණීය.

 "The Prelude of Rhinegold!"     කවුද ඔබට එය උගැන්වූයේ?"

 බොන්ස් වහා ඇසීය. ඒ සමගම ඔහුද පහළට නැමුනේය.එසේ නැවෙනවාත් සමගම, ඉහලට ඇදගත් හුස්මෙන්, උගුරෙන් ව්‍යක්ත හඬක් නගමින් නැවත රිය තුළම ඇදගෙන වැ‍ටුණේය.සුදුමැලි මුහුනින්, ඔහු වෙව්ලීය.
"පාළම දු‍ටු විට ඔබේ හිස කරකැවෙනවාද?"
 "හිස කරකැවෙනවාද? මට මෙහි, තවත් ඉන්න බෑ.දැන්මම රියදුරුට පවසන්න මට ආපසු යා යුතු බැව්."
 නමුත්, රියදුරා හිස දෙපසට සැළීය.
 "අපි දැන් ආසන්නයටම පැමිණිලා.ඔවුන් සැම නිද්‍රාවේ. මා ඔවුනට අඬ ගසන්නද?ඔබ ගැන කලින් මා පවසා ඇති නිසා, ඔවුන් සැම, ඔබ දැකීමට තු‍ටු වේවි."

   
 "මා එනවා." කලින් ගත් සියලු තීරණයන් අමතක කරමින් දරුවා හඬ නැගීය. "මම ................ අර පෙර දිනක ආ දරුවා!"
දරුව නැවත එනවා."  හඬක් පැතිර ගියේය.   "දරුවා නැවත එනවා."බොහෝ හඬකින් එය ප්‍රතිඋච්චාරණය විය.
 "මා එන්නේ බොන්ස් මහතා සමගයි."
 සියල්ල නිහඬ විය.

 "හරි නම්  මා පැවසිය යුත්තේ බොන්ස් මහතා මා ද කැ‍ටුව එන බවයි." 
 නිහඬතාව තවත් ගැඹුරු විය.
 "අද ‍රැකවලා කව්ද?"
 "ඇචිලීස්."
 කඳු ගැටය අතරින් දිවෙන මාවතේ,දේදුනු පාලම නිමාව දකින තැන, කදිම පළිහක් දරමින් සිටින තරුණයෙකු ඔහු දිටීය. 
 "බොන්ස් මහත්මයා, හඳුනා ගන්න. පලිහක් අතැතිව මේ සිටින්නේ ශ්‍රේෂ්ඨ ඇචිලීස්."
 "මට ආපසු යන්න ඕනෑ." ඔහු කෙඳිරීය.
 දේදුන්නේ අවසාන කොටසත් දියව යත්ම,රථයේ රෝද, කඳු මුදුනේ නතර විය.විවරවුන දොරෙන් දරුවා එලියට පනිත්ම, රණකාමී ඇචිලීස් නැඹුරුව, දරුවා තම පළිහ මතින් ඔසවා තබා ගත්තේය.
 "ඇචිලීස්, අනේ " දරුවා ආයාචනා කලේය. "මා බොන්ස් මහතා තරම් උගත් හෝ බුද්ධිමත් නෑ.ඔහු එනතෙක් මදක් ඉවසන්න."
  නමුත් ඇචිලීස් ඔහුගේ වදන් නොතකා, දරුවා ත් සමග පළිහ ඉහලටම එසවීය.
  දරුවා,වීරයන් හා ගිනි ගන්නා නගරයන්, රනින් කැටයම් කළ මිදි වතු,තමා ගවේශණය කළ කඳු ගැටය හා එය වටකරමින් ගලා බසින් සදාතනික දිය දහර මූර්තිමත් කළ ඒ තේජානුසම්පන්න පළිහ මත වකු‍ටු වී විරෝධතා හඬක් පෑය.
 "නෑ, නෑ, මා නම් කොහෙත්ම මේ ගෞරවයට සුදුසු නෑ.මීට නියම සුදුස්සා බොන්ස් මහත්මයා."

නමුත් බොන්ස් මහතා කලේ නොකඩවා කෙඳිරි ගෑම පමණි.
 ඇචිලීස් තම හොරණෑව නාද කර,මහා හඬින්,"මගේ පළිහ මත කෙළින් සිටගන්න.", යැයි දරුවාට අණ කළේය.
 "බොන්ස් මහත්මයා, උරණ වන්න එපා.මා සිතාමතා සිටගත්තේ නෑ. එය ඉබේ වුණා.ඔබ ප්‍රමාද ඇයි? පිටතට විත්, ඔබ හොඳින් දන්නා, උතුම් ඇචිලීස් මුණගැසෙන්න."
 බොන්ස් මහතා වියරුවෙන් හඬ තැලීය.
"මට ඔය කියන කිසිවෙක් හෝ කිසිවක් පෙනෙන්නේ නෑ. මට ආපසු  යන්න ඕනේ." ඉනික්බිති, ඔහු රියදුරාට බැගෑපත් විය. "අනේ, මා බේරාගන්න.මට ඔබේ රියේ ‍රැ‍ඳෙන්නට ඉඩ දෙන්න.මා ඔබේ කවි පොත් වෙළුම් කර තිබෙනවා.ඔබේ කවි, සභාවල ගයා, ඔබට ගෞරව කර තිබෙනවා.මාව බේරා ගන්න කරුනාකර."
  රියදුරා මෙසේ උත්තර දිනි.
    "මම මාර්ගය පමණයි. අවසානය නොවේ. මම ආහාරය පමණයි. ජීවිතය නොවේ. දරුවා සේ තමා ගැන විස්වාස කර, නොබියව නැගී සිටින්න. මට ඔබ ගළවා ගත නොහැකියි.කාව්‍යය වනාහී ආත්මිකයි. ඊට ගරු කරන්නා ආත්මයට හා සත්‍යයට  ගරු බුහුමන් කළ යුතුයි."
                               බොන්ස් මහතාව ඉබේම අලංකාර රථයෙන් පිටතට බඩ ගෑවී ආයේය. මුලින්ම, මර බියෙන් විකුර්ත වුන, ඇරුන මුවෙන් යුත් ඔහුගේ මුහුණ ද, අනතුරුව, රියේ ඇන්දක්  තදින් මීරිකා ගත් අතක් හා වාතයට ගසමින් අනෙක් අතද එලියට ඇදිණ.ඉන්පසු, උරපතු එලියට ගෑටීය."මට ලන්ඩනය පේනවා" යයි මොරහඬ දෙමින්, ඔහු සඳ එලියෙන් පිරුන කන්ද මත වැටී,හරියකට වතුරකට වැ‍ටුනාක් මෙන්, ඒ අතරින් අතුරුදන් වී දරුවා ගේ දෘෂ්ඨි පථයෙන් ඈත් විය.  

 "බොන්ස් මහත්මයා! ඔබ වැ‍ටුනේ කොහාටද? මෙන්න, ඔබ පිළිගැනීමට සංගීතමය, ආලෝකවත් පෙරහැරක් පැමිනෙමින් සිටිනවා.එහි ඉන්නේ ඔබ හොඳින් කියවා ඇති ගැහැනුන් හා පිරිමින්. කන්ද හා ගංගාව අවදියෙන්. සාගරය ඔබ වෙනුවෙන් ඩොල්පින් අවදි කරවනවා. ඒ සියල්ල ඔබ නිසාමයි, බොන්ස් මහත්මයා."

    නැවුම් පත්වල පහස දරුවා ගේ ලලාටයට දැනිණ. කිසිවෙක් විසින් ඔහුට ඔ‍ටුන්නක් පලඳවන ලදී.

        kingston Gazette,  Surbiton  Times, හා     Raynes Park Observer  යන පුවත්පත්වළ පළවූ පුවතකි.

       අදහා ගත නොහැකි තරමට තැලී, පොඩි වී විකුර්ත  වුණ සෙප්ටිමස් බොන්ස් මහතා ගේ සිරුර, බර්මොන්ඩ්සි ගෑස් ආයතනය  ආසන්නයේ තිබී සොයා ගන්නා ලදී.මළ තැනැත්තා ගේ සාක්කුවල, රන් ආලේපිත පසුම්බියක් ද, රිදී සුරුට්‍ටු කවරයක් ද , ශබ්ද කෝෂයක් හා බස් ටිකට් දෙකක් ද විය.මේ අවාසනාවන්ත පුද්ගලයා ඉතා උස්  තැනක සිට බිමට වැටී ඇති අතර, මෙය අභිරහස් මරණයක් බවට සැක කෙරෙන නිසා, මේ පිළිබඳව පුළුල් පරීක්ශණයක් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
                                     

                         නිමි.



( translated from the short story "The Celestial Omnibus" by E.M.Forster. )

   

 (මෙහි ව්‍යාකරණ දෝශ ඇත්නම් (විශේෂයෙන් න,ණ, ල, ළ) ඒවා පෙන්වා දෙන්නේ නම් ඔබට තුති.ඉන්, අනෙක් අඩුපාඩු පෙන්වා නොදිය යුතු බැව් කිසිසේත් අදහස් නොකෙරේ.)


(image is from Google.)
                  
The Prelude of Rhinegold -  ඔපෙරාවකි
               

               
                           

Saturday, September 21, 2013

බඩජාරියා







            


  අපේ දිරිය හුළ‍ඟේ ගියේය. හැම ‍රැයකම අපේ හැලි වළං හොරා කන කැදර පූසා අල්ලන ක්‍රමයක් ගැන අප දැන සිටියේ නැත. ඌ කොපමණ කපටි හා වේගවත් ද කිවහොත් අප දු‍ටු විගසම ගසකට මුවා වීම උගේ සිරිත වු   නිසා  අපට  උගේ හෙවනැල්ලක් වත් දැකීමේ අවස්තාවක් නැතිව ගියේය. නමුත් පසුව උගේ කනක කෑල්ලක් අඩු බවත්, වලිගය පොරෝ පහරක් වැදීමෙන් කෙටි වී ඇති බවත් දැනගත හැකි විය.

      කිසිම හිතක් පපුවක් නැතිව දු‍ටු තැන හොරා කෑ බැවිනුත්, නිදැල්ලේ හැසිරෙමින් අපට වදයක් වූ බැවිනුත් අපි ඌට නරකයා කියා  පට බැන්දෙමු. 
       
                   උගේ ඇස් මානයේ ඇති සෑම දෙයක්ම ඌ හොරා කෑවේය. මාලු, මස්, ඇඹුල් කිරි හා පාන්. හැම දේම. වරක් ඌ අප මාලු බෑමට සූදානම් කර තිබූ පනුවන් ටින් එකක්ද ගබඩා කාමරයෙන් හොරා ගත්තේය. ඌ පනුවන් නම් කෑවේ නැත. නමුත් කුකුළෝ එහි රස වින්දහ. මොන ක්‍රමයකින් හරි මුළු පනු තොගයම අපට අහිමි විය.

       පමණටත් වඩා පනුවන් කෑ කුකුළෝ, බඩ උස්සා ගත නොහැකිව, කෙඳිරි ගාමින්, අව්වේ වැතිර සිටියහ. අපි, ඉමහත් හිත් වේදනාවෙන් කෑ ගසමින්, වියරුවෙන් අඩි හප්පමින් 'නරකයා' කෙසේ හෝ අල්ලා ගන්නා බවට සපථ කළෙමු. 

                      කෙසේ නමුත් ඌ අල්ලා ගැනීමට අපට තවත් මසක් පමණ ගත විය. ඌ ගැන ගමේ කොලු ගැටයෙක් ඔත්තුවක් දුන්නේය. 'නරකයා' පර්ච් මාලු වැලක් ඩැහැගෙන කුස්සියේ ජනේලයෙන් පැන යනු ඔහු දැක තිබිණි. 
           එය ඇසූ විගසම, අපි හිස ගිනි ගත්තවුන් සේ කුස්සියට දිව්වෙමු. මොනවා බලන්නද? මාලු වැලේ උඳු කුඩුවත් ඉතිරි වී තිබුනේ නැත. මේ නම් කොහෙත්ම සමාව නොදිය හැකි වරදකි. මේ වදකාර පූසා, වෙනදාට කරන සුලු සුලු හොරකම් නොසලක හැරියත්,මහ දවාලේ කළ මේ අහස පොලව නුහුලන අපරාධයට නම් නිසි දඬුවමක් නොදී බැරිය.

                     මාළු වැලේ රහ වැ‍ටුන පූසා,  නැවත එදා හවසම තවත් හොරකමකට අවේය.කෑම මේසයෙන් ලිවර් සොසේජයක් පන්නා ගත් ඌ බර්ච් ගසේ නැග සිටියේය. අපි ආවේස වූවන් මෙන් ගස සෙලෙව්වෙමු. බය වුන පූසා අත ඇරි සොසේජය වැ‍ටුනේ රුවිම් ගේ හිස මතටය.ඇස් ලොකු කරගෙන, තරහින් හා නපුරෙන් අප දෙස බලමින් කෑ ගැසූ පූසා අපෙන් බේරෙන ක්‍රමයක් ගැන හිතා බැලීය. එක්වරම විදුලියක් මෙන්, අප සැම අතරින් බිමට පැන, රෝල් වී ගොස්, කුමක් සිදුවිනි දැයි සිතා ගන්නටත් පෙර, ගෙයි මුල්ලක ආරක්ශාව පැතීය.අපි, මෝඩයන් මෙන් කට ඇරගෙන,ඌ යන දෙස අසරණව බලා සිටියෙමු.


        අපේ ගම්බද නිවස, පිහිටියේ, දිනපතා අතුගෑම් නොකල නිසා, ගස් යටම කොළ ගොඩ ගැසුණ විශාල වත්තක් මැදය.සෑම ‍රැයකම, වහලයට වැටෙන කුඩා ඇඹුල් ඇපල් ගෙඩිවල  හඬින් අපි ගැස්සී ඇහැරුනෙමු.ගෙයි කාමර, බිලිපිති, දඩයම් උපකරණ, ඇපල් හා වියලි කොළවලින් හැඩි වී තිබිණි. 

                  දිවා කලයේ මාලු බාමින්ද, ගං ඉවුරක හෝ විලක් අයිනේ ගිනි තපිමින්ද කාලය ගත කළ නිසා,අපේ නිවස දිවා කල පාලුවට ගියේය. නෑමට හෝ මාලු බෑමට යන හැම විටකම නැවුම් සුවඳ හැමූ කුඩා කැලෑ රොදවල් තලමින් අලුත් අඩි පාරවල් සාදා ගැනිමට අපට සිදු විය. අප යන මග තිබූ පැළෑටි හා තණ කොළ සුළ‍ඟෙන් සෙල වී ඒවායේ පරාග අපේ උර මත විසිරීය.
              
        හවස් ජාමයේ,දිගට අමුනා ගත්,  රිදී පැහැයෙන් දිලිසෙන  මාලු වැල් අතින් එල්ලාගෙන, ක‍ටු පඳුරුවලින් සීරී රත් පැහැවුන සිරුරෙන්, අව්වේතැම්බී දාඩිය පෙරාගත් මුහුනින් නිවසට පය ගැසූ විට අපට අසන්නට ලැබුනේ ජින්ජර් පූසාගේ අලුත්ම වික්‍රමයන් ගැනය.

             ඕනෑම ජගතෙකුට නරක කාලයක් ලබයි. පූසාද දිනක් කො‍ටු විය. හොර පූසා එක් පැත්තක් වසා ඇති කුඩා පැසේජයක් තුලට රිංගුවේය. ඇර තිබූ පැත්තෙන් දැලක් සවි කර අපි නොඉවසිලිමත්ව බලා සිටියෙමු. 

                                 නොනවත්වාම තර්ජනාත්මක හඬකින් කෑ ගැසුවත්, ඌ එලියට ඒම ප්‍රතික්ශේප කළේය. අපි, පැයක්, දෙකක්, තුනක් බලා සිටියෙමු. කිසිම ප්‍රගතියක් නැත. අපේ නිදන වෙලාවත් පහු විය. නමුත්, පූසා වරෙක කෑ ගසමින්ද, වරෙක ගොරවමින්ද අපේ ඉවසීමේ සීමාව නැති කළේය.

             කළ හැකි වෙන කිසිවක් නොවූ තැන, චණ්ඩිකමට හා හුරුබුහුටි කමට නම් දැරූ ගමේ සපත්තු මහන්නා ගේ පුතා, ලෙන්කාට,  පූසාව ගුලෙන් එලියට ගැනීමේ කාර්යය පංගාර්තු කෙරිණි. ලෙන්කා සිල්ක් නූලක් ඇති බිලි පිත්තකට, එදිනම ඇල්ලූ මාලුවෙකු අමුණා එය පූසා සිටි බිම් තීරුවට අත ඇරියේය.

                   පූසාගේ කෑගැසිල්ල  නැවතුණේය. එක්වරම චරස් ගා හපන සද්දයක් ඇසිණි. ඌ, මාලුවාගේ ඔලුව උගේ තියුනු දත්වලින් හැපුවා විය හැකිය. දැන් හරි. ලෙන්කා හිමීට බිලි පිත්තේ නූල ඇදීමට පටන් ගත්තේය. පූසා තදින් අල්ලාගෙන සිටියත්, ලෙන්කාට පූසාට වඩා හයිය තියෙන නිසාත්, කටින් හපාගෙන ඉන්න මාලුවා අත ඇරීමට මොන සම්මජ්ජාතියකටවත් ඌ අකමැති වූ නිසාත් බිලි පිත්තේ නූල සමග පූසාද එලියට ඇදී ඒමට පටන් ගත්තේය.

                         අවුරුද්දක් සේ දැනුන විනාඩියකට පමණ පසු, විලිස්සුණ දත් වලින් මාළුවා අල්ලා ගත් පූසාගේ හිස, අපට පෙනිණ. ලෙන්කා හනිකට පැන පූසාගේ බෙල්ලෙන් අල්ලා, ඌ ඉහලට ඉස්සුවේය. චුදිතයා ව සමීපව බලා ගැනීමේ මොහොත උදාවිය.

         ජින්ජර් පූසා, උගේ ඇස් වසාගෙන, කන් ඔලුව දෙපැත්තට නමාගෙන, බූල් හැලුන වල්ගය කකුල් අස්සේ  ගසාගෙන, ඇඟ අප්‍රාණික කරගෙන ලෙන්කා ගේ අතේ එල්ලී සිටියේය. 
         
                කොපමණ හොරා කෑවත්, ඌට තිබුණේ, කැහැ‍ටු පෙනුමකි. හැමවිටම හොරා ගත් යමක් සමග දුවමින් හෝ හැංගී එය ගිල දමමින් සිටි නිසා දූවිලි තැවරුන සිරුරේ, අකරතැබ්බවලට මුහුන දිමේ ප්‍රතිඵලයක් ලෙස තැන් තැන්වල ලොම් ගැලවී තිබිණි. ඌ බඩවත පුරා සුදු පුල්ලි විසුරුණ, කෘශ වූ සිරු‍රැති, නාසයෙන් හා ඇස්වලින් ගැලූ කබ සහිත, නා‍ටු පූස් නාම්බෙකි.

     ටික වෙලාවක් ඌ දෙස තරහින් හා අප්පිරියාවෙන් බලා සිටි රවිම් මෙසේ ඇසුවේය.

   "මූට දැන් මොකද කරන්නෙ"?   


              "මොනවා කරන්නද? දෙමු මුගෙ ඇටක‍ටු කුඩු වෙන්න."

                "වැඩක් නෑ" . ලෙන්කා කීයේය.  "ඕකා පොඩි කාලෙ ඉඳල ඔහොමමයි.ගම පුරා හොරා කාල ඇති පදම් ගුටි කාල ඇති" .

            පූසා, දෙන ඕනෑම දඬුවමකට යටත් වෙමියි කියන්නා සේ ඇස් වසාගෙන සිටියේය. එක්වරම රුවිම් මෙසේ කීය.

                               "එහෙනම් අපි ඌට කන්න මොනව හරි දෙමු."

      අපි, එකිනෙකා දෙස බලා, හිස වනා, එයට එකඟ විමු.

 අපි ඌට බැදපු ඌරු මස්, ජෙලි දැමූ මාලු, ඇඹුල් කිරි හා  චීස් කේක්වලින් සමන්විත ඉතාමත් ප්‍රනීත දවල් කෑමක් දුනිමු. ඒවා සියල්ලම ගිල දැමීමට ඌට පැයකටත් වඩා ගත විය. 

                  අවසානයේ, කෑම මත නිසා බඩ උස්සාගෙන ඇවිද ගැනීමට බැරුව, අපහසුවෙන් කුස්සියෙන් එලියට ආ පූසා, බිම දිගාවී මුහුන සේදීමට ගත්තේ, ඉඳ හිට අප දෙසද හොරෙන් බැලුවේය. කොළ පාට තෘප්තිමත් ඇස් වලින්, කාන්තිමත්, දඟකාර බැලුම් විහිදිණි.

               ඊට පසු ඌ හැරී, උගේ නැට්ට අල්ලා ගෙන, එය හපා, එලියට දැම්මේය. 

                   අවසානයේ, ඌ එතනම දිග ඇදී, සැප නින්දකට වැටී, ගොරොද්දේ ඇදීමට පටන් ගත්තේය. 

     අපි, ඌ දෙස ටික වෙලාවක් බලා සිට, ඌට නින්දේ මාලුන් ගැන සිහින දැකීමට ඉඩ දෙමින්, එලියට ආවෙමු.






 A translation of the short story "Ginger the Snitcher" by Konstantin Pauvstovsky.  (1892-1968)