Friday, February 14, 2014

අඳුරෙන් මතුව ආ එලිය








              අපට යමක්  තේරුම් ගත හැකිවන්නේ, එය අපට  මනාව දිස්වන්නේ නම් පමනකැයි සමහරු පවසති. නමුත්, සරත් ඉර්තුවේ, එක් අඳුරු සැඳෑවක ඒ අදහස සාවද්‍ය බැව් මම පසක් කර ගතිමි. මගේ සුනඛ ‍රැළ ද එසේම සිතුවා නො අනුමානය.

                 අපි මුළු උදය  වරුවම පුහුණු වෙමින් සිටියෙමු.සමහර  නවක සුනඛයින්ට  බොහෝ වේලා දිවීම අපහසු වූයෙන් ඒ සීතල සැඳෑවේ විවේකයක් ගැනීම පිනිස නතරවීමට අපට සිදුවිය.
                   මම හුදකලා බිමේ ගිනි මැලයක්  ගසා ඒ අසල කුඩා කූඩාරමක් අටවාගෙන  නිදාගත්තෙමි.
  තවමත් හිමපතනය තදින්  නොවීම නිසා දිවිම සඳහා මා  සකසා ගත්තේ රෝද තුනක් සහිත කුඩා කරත්තයකි.ඒ හේතුව නිසා කැළය මැදින්, කොට  ඇදිමට යොදා ගත් පුලුල් මාවත් හා  පිට්ටනි වැනි විවුර්ථ ස්ථාන පමනක්  මේ කාර්යයට යොදා ගැනීමට මට සිදුවිය. නවකයින් අලස වීම වලක්වනු සඳහා උන් නොකඩවා පුහුනුවීම් වල යෙදවීමට මම අමතක නොකලෙමි. එබැවින්  අද අප ලඟා වී තිබුනේ මින් පෙර නොදිවූ මාවතකටය. 

                      කරත්තයේ මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඇලීම නිසා ගමන ඉතා දුශ්කර විය.  ගිනි  මැළයේ උනුසුමට ගුලි වී සැප නින්දේ ගතවුන කලයෙන් පසු අවදිවුන මා කරත්තයේ රෝදවලට ඇලී ගමන බාල කළ අපද්‍රව්‍ය සියල්ල ඉමහත්  ආයාසයෙන් ඉවත් කලෙමි.ඒ රාජකාරිය නිමා වන විට රෑ මැදියමද ඉකුත් වී හමාරය.නැවතත් පුහුනුව සඳහා මම සුනඛයින් කරත්තයට ඈඳුවෙමි. එක්වරම මා හිස් පලඳනාවේ සවිකර තිබූ  පහන නිවී ගියේය. බල්බය මාරු කලත් හරි නොගිය තැන, මම අලුත් බැටරියක් දමා පහන දැල්වීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වූයේ වයර්වල  දෝශයක්  ඊට වගකිය යුතු නිසාය.

                                   වෙනත් විකල්පයක් නොවූ තැන, නැවත නින්දට යාමට සිතුවත්, කරත්තයට ඈඳූ සුනඛයින් නොඉවසිල්ලෙන් කෙඳිරි ගාමින්, කරපටි කඩාගෙන ඉදිරියට ඇදෙන්නට යත්න දරමින් සිටියහ. ඕන දෙයක් වෙච්චාවේ යි සිතා  මම බල්ලන් කරත්තයට සවි කර තිබූ ‍රැහැන් බුරුල් කලෙමි. බල්ලෝ හැල්මේ ඉගිලුණහ. මහ ‍රැ කලුවරේ බලු ‍රැළක්  දුවවනවාට වඩා දුෂ්කර දෑ මින් පෙර මා කර ඇත.
                   නිවී යන ගිනි මැලයේ ගිනි පුලිඟු එලියෙන් මෑත් වූ සැනින්ම අපි ඝන අඳුරේ කිමිදුනෙමු.මග පෙන්විමට ඉමහත් උපකාරී වන හිස් පලඳනා පහන නොමැතිම කලුවරේ බලු ‍රැළක් දිවවීම උමතුවක් බැව් මට වහා පසක් විය. කිසිම මග සලකුණක්  මෙතෙක්, දෘශ්‍යමාන  නොවීම නිසා අප මග ඇහිරූ බාධක හෝ කලින් දා ‍රැ වැස්සෙන්  පිරුන දිය කඩිති ගැන මට කිසිම හැඟීමක් නොමැති විය.  වලාකුලින් බරවූ අහසත්, සෙල්සියස් අංශක පහක පමණ වූ පහල උෂ්ණත්වයත් ගැටළුව වඩාත් නරක අතට හැරවීය. 

         සඳ එලියක් හෝ තාරකා  නොමැතිව, දිය කඩිති කොහේදැයි සොයා ගත හැකි වූයේ ඒවායින් මා නෑවුන පසුවය.මගේ නාසය, මුව, දෙනෙත්  හා මුහුන මඩ දියෙන්  පිරී  ගියේය. 
                  ඝන කලුවරේ, බලු රෑනක් අදින කරත්තයක පසුපසින් නැගී යන මා හට ගස්වල අතු ඉතිවලින් වූ හිරිහැරය කෙසේ නම් විස්තර කරන්නද? ඒවා බොහෝවිට මා කරත්තයෙන් පිටට විසිවන තරම් වේගයකින් මා ගතේ ගැටිණි. ගමන අරඹා හෝරාවක් ඇතුලත, මා ගමන් කරන්නේ උතුරටද, දකුනටද කියා සොයාගත නොහැකි තරමට මා අන්දුන් කුන්දුන් වී සිටියෙමි.

                    අඳුර කපාගෙන හැල්මේ දුවන ආකාරයෙන්, උන්ට කිසිසේත් තෙහෙට්‍ටු බවක් නොපෙන්වූවත්, බල්ලෝ එක්වරම ගල් ගැසී නැවතුණහ.   
                                   ඒ මොහොතේම මගේ මග ඇහිරූ අතු කැබැල්ලක් වේගයෙන් මගේ මුහුණේ වැදී තාවකාලිකව මා අන්ධ කළේය.වේදනාව නිසා පියවුන දෙනෙතින්, මුහුණ අතගාන අතරතුරේ, මට දැනුනේ, උන් හදිසියේම අතරමග නතර වී ඇති බවත්, කරත්තය උන් යටකරගෙන යාම  වැලැක්වීමට නම් තිරිංග තදකල යුතු බවත්ය.අතු කැබැල්ල හැපීමෙන් නිලංකාර වුන මගේ දෙනෙත්, පරිසරයට අනුගත වීමට තත්පර කිහිපයක් ගතවූ අතර දෑස් විවර කළ සැනින් මම ඒ අපූර්ව ආලෝකය දිටිමි.
                           ඒ එලිය කොළට හුරු කහ පැහැ දීප්තියක් විහිදුවමින්, අප ඉදිරියේ ඇති  කැලෑ රොද හා අප යා යුතු මග, තම දීප්තිමත් ආලෝකයෙන් පුරවමින් සිටියේය.  පලමු තත්පර කිහිපය ඇතුලත එය මා දෙසට ඇවිද එන යමෙකුගේ ආලෝකය දැයි සැක සිතීමි.  මා හැරෙන්නට සුනඛයින් පුහුනු කිරීමක් සිදු නොවූ නිසා, වන රොදක් තුල, මේ මහ රෑ මිනිසකු කුමක් කරන්නේ දැයි මට සිතා ගත නොහැකි වුවත්, ප්‍රථමයෙන් එය දු‍ටු විට මම  ප්‍රීතියෙන් පිනා ගියෙමි.      ක්‍රමයෙන් එය සෙලවෙන්නා සේ දැනිණි.
                         නමුත්, එය විදුලි පන්දම් එලියක් හෝ වාහනයක ඉදිරිපස පහන්වලින් නිකුත් වූ ආලෝකයක්  නොවිය හැකි බැව් මට වැටහුනේ,  බිම් මට්ටමට  කිට්‍ටුව පුලුල් පරාසයක සිට,  වරෙක අඩුවෙමින්ද වරෙක  වැඩි වෙමින් ද ඒ අපූරු කොල පැහැ දීප්තිය එල්ල වූ හෙයිණි.
                                       මෙතෙක්, බිය වීමට මට කිසිම හේතුවක් තිබුනේ නැත.එමෙන්ම, මගේ සුනඛ ‍රැළ,එකාවන්ව, ඔවුන්ටම ආවේණික හඬක් නිකුත් කිරීමට පටන් නොගත්තා නම් මා බිය  වන්නේද නැත.
                                   උනුන්ටම හුරුවූ විවිධ නාද රට අසා මට හොඳ හැටි පුරුදුය.වැසි වැටෙන විට, මුල්ම හිම පතනයේදී, ම ඔවුන් දමා  ගමන් යන විට, තම පැටවුන් පුහුනු කිරීමේදී හා වෙනත් බොහෝ අවස්ථාවල මම ඒවා අසා ඇත්තෙමි. එසේ වුවත්, මේ විශේෂිත  හඬ මීට කලින් මා අසා ඇත්තේ එකම එක් වරක් පමණි. ඒ උන්ගෙන් එකෙක් කූඩූවේම මැරී සිටි දිනකය. 

                    එසේ නම් ඔවුන් මේ ගයන්නේ මරණයේ ගීතයයි.එකාවන්ව, මගේ සුනඛයින් ‍රැළ, පිටකළ ඒ ගත කිලි පොළන, මූසල හඬ අසා, මම බියෙන් මුසපත් වුනෙමි.මුදු පළා පැහැයෙන් යුත් අද්භූත දීප්තිය තුලින්,අනතුරක සේයාවක්  ඉඟි කරමින්  මොර ගෑ සුනඛයින් ගේ රූ දිටිමි. කිසිත් නොසිතාම,  මගේ මනස, එම ආලෝකය, අද්භූත යැයි තීරණය කර හමාරය.
                           කුඩා   කළ මා කියවූ පොත්වළ, හා නැරඹි සිනමා සිත්තම් වල සිටි පිසාචයින්, භූතයින්, කුම්භාන්ඩයින් හා හඳ එලියේ වවුලන් සේ ත‍ටු ගසා යමින්, විසල් මන්දිරවල  සිටි සුරූපිනියන්ගේ රුහිරු උරන වැම්පයරයින්, මැදියම් රෑ කනත්තේ සොහොන්  කුටි  තුලින් අවදි වන මලවුන් ආදී සිත් කීරි ගස්සන  දසුන් සියල්ලක් මගේ මතකයට නැගෙන්නට වන.
                              සුනඛයින් නොකඩවාම අමුතු හඬකින් බිරුහ.ඒ හඬ, හුදකළා ‍රැයේ, පරිසරයේ සීතල දෙගුන තෙගුන කරමින්, ඇට මිදුලු මිදෙන තරම් වූ බියක් මහද ජනිත කළේය.   මම, මොහොතක්, කරත්තය පසුපස හිඳිමින්,ඒ දෙස තැතිගැන්මෙන්  නෙත් හෙලීමි.

                                                  එසේ වුවද, කුතුහලය යනු මානවයාට  ලෝකාරම්භයේ  සිට උරුම වූ මහා පුදුමාකාර දෙයකි. මගේ අනුමැතියක් නොමැතිවම, මගේ දෙපා ඇවිදීමට පටන් ගත් අතර, මගේ සිරුර, ඒ පසුපස ගියේය.අඳුරේ සිටගෙන සිටින බල්ලන් අට දෙනාගෙන්, එකෙකුගෙන් තවෙකෙකුට මාරු වෙමින්, පලිහක් සේ උන් යොදා ගනිමින්,  තවත් වාරුවීමට  එකෙකු නැති වනතෙක්ම මම පෙරට ඇවිද ගියෙමි.  
                                          ඒ අතරතුර, මේ අදිසි ආලෝකය,  විවිධ රටා මවන තොරණක් සේ අඩු වැඩි වෙමින්, දිලි, දිලී  මගේ මනස අවුල් කළේය. මම බල්ලන්ගෙන් මෑත් ව තවත් පියවරක් ඉදිරියට දිගු කලෙමි. හාත්පස පිරික්සමින්, මගේ ‍රැකවලුන් හා මා අතර දුර ඇසින් මනිමින් තවත් පියවරක්  ගත්විට  ආලෝක ප්‍රභවය මනා සේ දිස්වන්නට විය.

  එය කොහෙත්ම මිනිස් චායාවක් නම් නොවීය.උසට නැගුන  විසල් හා අක්‍රමවත් හැඩ තලයකි.ආලෝකය පැතිරුනේ එය තුලින්ය.කොල පැහැයෙන් පටන් ගෙන විවිධ දිසාවන්ට එලිය විහිදුවමින්, අගට යත්ම කහ  පැහැයක් ගත් එය මගේ නෙත් අබිමුව එහි හැඩය විටින් විට වෙනස් කළේය.

          මගේ හදවත, පපු කුහරයෙන් ඉල්පී, දෙපා අබිමුව  වැටෙන්නා සේ දැනිණි.අසීමිත බිය, මා පොලොවට මුල් ඇද්දවීය.ඒ නම් මලවුන් ගෙන් නැගිට ආ අවතාරයක් මිස වෙන  යමක් විය නොහැක.   

මේ අතරතුර මා පි‍ටුපසින් යම් සෙලවීමක් දැනිණි. බලු ‍රැල, කරත්තය ඇදගෙනම හිමිහිට මගේ දෙපා අසලටම පැමිණ ඇත.හරිතවර්ණ ආලෝකයේ කිමිදෙමින්, උන් මගේ දෙපා මුල සිටගත්හ. කන් උඩට ඔසවමින්, හිස් සොලවමින් උන් සැම  මඳ වේලාවක් එය නිරීක්ෂණය කළහ.

          උන්ගේ ආගමනයෙන් ලත් දිරියෙන්, මම එයට ඉතාමත් සමීප වීමි. ඌ හුද මා පසුපස ආහ.අවසානයේ බලු ‍රැළ හා මම,  ලේ මුදවන තරම් භීතියක් උපැද්දූ ආගන්තුක දීප්තියට නෙත් හෙලීමු. ඉදින්, මා දු‍ටුවේ කුමක්ද?
                                                                          එය, හුදෙක් ගස් කොටයකි.අඩි හයක් පමන උසැති, දිරාපත් කොටය කොල පැහැයෙන්, අඳුරු ‍රැයේ බැබලුණේය. බල්ලන් මා වට කරගෙන, තම සංවේදී නාස්වලින්, ගස් කොටය ඉව කළහ.

                                  කොටය, පොලොවෙන් පොස්පරස් උරාගෙන, කොල පැහැය විහිද වූ බැව් මම පසුව දැනගතිමි. නමුත් ඒ පසුවය.

                                එදා රෑ, මම එය නොදැන සිටියෙමි.කොටය අල්ලා බලා, සීතල ආලෝකය දෑතට දැනුන පසුව වත්, මගේ බිය පහ නොවීය.නමුත් අවසන, මගේ ‍රැලේ සිටි  පැටී නම් කලු පුල්ලි බල්ලා, මා වෙනුවෙන් ඒ රාජකාරිය ඉ‍ටු        කළේය ඌ, හොඳින් එය  කිහිප වරක්  ඉවකර ' මොන කෙහෙල්මලක්ද මේ' කියන්නා සේ, පස්ස ගාතය උස්සා කොටයට මුත්‍රා කළේය.මම සැහැල්ලුවෙන් සිනාසුනෙමි.



                        ඔන්න මා දු‍ටු භූතයා. එතනින් සියල්ල නිමාවිය.



Translated from the short story, "A Walk  in the Dark" by Gary Paulson.