Showing posts with label පරිවර්තන ( විද්්‍යා ප්‍රබන්ධ). Show all posts
Showing posts with label පරිවර්තන ( විද්්‍යා ප්‍රබන්ධ). Show all posts

Wednesday, March 18, 2015

අදිසි සතුරා
















ප්‍රොෆෙසර් මිල්වර්ඩ් දුන්නක් සේ ගැස්සී ඇඳේ ඉන්දවුන අතර ඔහු ගත වෙලුණ ඝන උනුසුම් පොරෝනාව, තඩ් හඬක් නගමින්, බිම පතිත විය.මෙවර නම් එය සිහිනයක් නොවූ බව ඔහුට විස්වාස ය. 

             රැයේ නිසලතාව සුනු විසුනු කරමින්,ආ ඒ හඬ, ඇඟ හිරිගඩු පිපෙන තරම් වූ සීතල වාතය ඔහුගේ පෙනහළු වල දුවන රිද්මයට අනුකූලව දෝණ්කාර දෙන්නා සේ ඔහුට දැණින. ඔහු පොරෝනා ගත දවටමින්,යලිත් ඇහුම්කන් දුන්නේය.පරිසරය නිසල විය.උස් ගොඩනැගිල්ලේ,බටහිර බිත්තියේ පටු ජනේලය තුලින් නිමක් නොදැකිය හැකි පොත් රාක්ක වසා ගත් සඳ රැස්,පහල පාලු, නිහඬ නගරයේ ද තැවරී තිබිණි.මෙයට බොහෝ කලකට පෙර පවා, මෙවන් දිනක, නගරය මෙසේම පාළුවට යන්නට ඇතත්, දැන් එය, දෙගුණ තෙගුණ වී ගොසිණි.
                                           මහාචාර්යවරයා, ආයාසයෙන්     නැගිට,හිමිහිට, ගිනි උදුන කරා, පියවර මැන, අඟුරු කැබලි දෙක තුනක්,ඉතාමත අරපිරිමැස්මෙන්,උදුනට එකතු කළේය.ඉනික්බිති,වසර ගණනාවක් පුරා, ඉතාමත් ලබැඳියාවෙන්,තම ප්‍රාණය දෙවෙනි කොට රැකගත් ග්‍රන්ථයන් දිගේ ඇඟිලි දිවවමින්, ආසන්නයේම පිහිටි කවුළුව කරා පියවර එසවීය.


 දීප්තිමත් සඳ කිරණින් ඇස් අහකට ගත් ඔහු කවුළුවෙන් එබී මෑත බැලීය.අහස වළකුලින් තොර ය.තමා කලින් ශ්‍රවණය කළේ කුමක් වුවත්, එය සාමාන්‍ය ගෙරවිලි හඬක් නම් නොවූ බැව් ඔහුට ප්‍රත්‍යක්ශ ය. එය පැමිණියේ උතුරු දිශාවෙනි. ඔහු එම හඬ, වඩාත් පැහැදිලිව ඇසීමට අපේක්ෂාවෙන්  සිටියදී, එම හඬ නැවතත් මතු විය.ගිගුරුම් හඬකට එය සමාන කළ නොහැකි වූයේ ප්‍රදේශයක් වටා පැතිර නොගොස්, එක් නිශ්චිත ස්ථානයකින් හඬ නිකුත් වූ බැවිණි. 
මේ තාක් අසා ඇති, කිසිම ස්වාභාවික හඬකට එය සම කිරීමට ඔහු අපොහොසත් විය.එවන්, බලසම්පන්න හඬක් උත්පාදනය කළ හැක්කේ මිනිසා ටම පමණි.සමහර විටක, වසර විස්සකට වැඩි කළක්, මිනිස් ප්‍රජාවේ, සෑම අයිතිහාසික සාධකයක් ම ගැබ්වුන , නිධානයක් වන්, පුස්තකයන් අතර තමා බැඳ තබන්නට සමත් වූ ඒ සොඳුරු සිහිනය, තව දුරටත්, හුදු සිහිනයක්ම නොවනු ඇති. 



 ධූලි වලාවේ, ආගමනය ට පෙර, අත්පත් කරගත්, ඟාණ  සම්භාරය පිහිටෙන් නිර්මාණය කළ අවි බලයෙන්, අයිස් කඳු හා යෝධ හිම තට්ටු පුපුරවා හරිමින් මිනිසුන් නැවතත් තම මව් රටට, එන්ගලන්තයට  පැමිනෙනවා විය හැක. වෙනත්, වඩා සුදුසු විකල්ප අතැර දමා, උතුර හරහා,ගොඩබිමින් පැමිනීම, තරමක් ප්‍රහේලිකාත්මක වුවත්, තම  චිත්ත සන්තානයේ මල්පල ගැන්වුන නව අපේක්ශාවන්, සුනු විසුනු කරවන එවන් සිතුවිලි, ඔහු වහා සිතෙන් බැහැර කිරීමට යත්න දැරුවේය.


 අඩි 300 කට පමණ පහලින්, තැන තැන අයිස් බිඳී ගිය, දිය මිදුන  සයුරක් සේ දිස්වන,අතොරක් නැතිව කඩා හැලෙන හිම තට්ටු හේතුවෙන් කඩා හැලෙන්නට ඔන්න මෙන්න කියා ඇති නිවස්නයන් සඳ එළියේ බැබලිණ. ශාන්ත පාවුලු දෙව් මැදුරු පියස අධික හිම බරින් කඩා වැටුන පසු, ඔහුට  අභි‍යෝග කිරීමට ඉතුරුව ඇති එකම ගොඩනැගිල්ල වන  Battersea  තාප  බලාගාරයේ උස් කණු භූත රූප මෙන් උසට උසේ නැගී සිටියෝය. ඔහු නැවතත්, තම සිත් ගත් පොත් දිගේ ඇඟිලි රූටා යවමින් කුටිය තුලට පැමිණියේය.

                 විසි වසරකට පමණ පෙර, අනෝරා වැස්සක් සේ කඩා හැලෙන, ධවල හිම පියලි මත කරකැවෙමින්, අවසාන භාණ්ඩ තොගය හා මගීන් පුරවා ගත් හෙලිකොප්ටරය,රීජන්ට් උද්‍යානයෙන් ඉහලට නැගෙනු තවමත් ඔහුට මතකය.සියල්ලෝම  අත්හැර ගිය නගරයේ  ඔහු තනිවූ විට පවා, මිනිසා සදහටම උතුර හැර ගිය බැව් පිලිගැනීමට ඔහු සිත මැලි කළේය.එය එසේ වුවත්, දැනටමත්, තම ආයු කාලයෙන් දිගු කොටසක්, ඔහු පණ සේ සුරකින මේ පුස්තකයන් අතර   හුදකළාව ගෙවී ගොස්ය.

                                ඒ කාලය අතරතුර, තවදුරටත් උනුසුම් නොවූ සමකය හා තදාසන්න පෙදෙස් හි ජනයා පදිංචි  කරවීමට අරගලයට, දකුණ හා ඔහු යා කළ එකම පුරුක වු ගුවන් විදුලිය හරහා ඔහු සවන් දුනි.නමුත්, ඒ වනවිටත්,  හිමපතනයේ ආගමනයෙන් මියදෙමින් තිබූ සිහිලැල් වන ගහනයන් හා සිසිල් වෙමින් තිබූ කාන්තාරයන් හි නව මිනිස් ජනපද ස්ථාපිත කිරීමෙහි ලා මිනිසා තුල ගැබ්වුන දැඩි අදිටන සාර්ථක වූවාද නැද්ද යන්න  ඔහු දැන  නොසිටියේය.බොහෝ දුරට ඒ සියලු ප්‍රයත්නයන් හිරු හමුවේ ඇකිලෙන වෙඬරු පිඩක් මෙන් අසාර්ථක වන්නට ඇත.දැනට වසර පහලවකට පමණ පෙරාතුව, ගුවන් විදුලිය ක්‍රියා විරහිත විම නිසා, ඒ පිළිබඳව නිසැකවම දැනගැනීමට ක්‍රමයක් ඔහුට නොතිබිණි.
              මහදුරුතුමා, සරසවි ගොඩනැගිල්ලෙන් බැහැර වූයේ උපරිම වශයෙන් දහ දොලොස් වතාවක් පමණි. එයත්, ඉතාමත්අත්‍යවශ්‍ය  කරුණකට පමණකි.පසුගිය දශක දෙක තුල,ප්‍රවාහනය අපහසු වූ නිසා, දකුනට පලාගිය ඇත්තන්, අතැර දමා ගොස් ඇති බඩු බාහිරාදියෙන්  එක්තරා ලෙසක, සුඛෝපභෝගී දිවි පෙවෙතක්  ගත කිරීමේ වාසනාව ඔහුට හිමි විය.දැනටත්, ඔහු ඇඳ සිටින කලිසම් කබා, මෙතෙක්, කිසිම මහාචාර්යවරයෙකුට වැය නොකල හැකි තරම් ,මිල අධික ඒවා විය. 
                වසර ගණනාවක් පුරා,සෞර ග්‍රහ මණ්ඩලය වසා ගනිමින් ගමනේ යෙදෙන, යෝධ ධූලි වලාව, හිරු ගේ ආලෝකය පමණක් ඉතිරි කරමින්, එහි සියලු ශක්තිය උරා ගැනීමට සමත් වූ බැවින්, උදැසන හිරු රැස්, නෙතට පීඩාකාරී වුවත්,උනුසුම් විරහිත බවක් පෑය. ඒ සා දෑවැන්ත දූලි පටලයෙන්, මිදීමට පෘතුවියට අවකාශ ලැබෙන්නේ තවත් දශක දෙකකට පසුවද, නැතහොත් ශතකයකට පසුවද, එසේත් නැතහොත්  තවත් වසර  දහසකට පසුවද කියා කිසිවකු ට අනුමාන වශයෙන්වත් කිව නොහැකි විය. ගිම්හානය හුදෙක් බොල් අරුතක්  නොවූ දකුනු දිශාවේ උනුසුම සොයා, ඔවුන්, දකුනට පලා ගියහ.
   ගෙවුන දින  කීපයේ පතිත වුන හිම දැන් ඝන  විම හේතුවෙන් ඔහු වීදියේ  පහසුවෙන් ඇවිද්දේය.පසුගිය කාලවල, සමහර දිනක, ඔහුට ඒ දුර යාමට පැය ගණනාවක් ගතවූ අවස්ථා එමටය. වරක්, අධික හිමපතනය නිසා, නව මසක්, කොන්ක්‍රීට් ටවරයේ කොටුවීමට ඔහුට සිදුවිය.
                             ඔහු දැන් අසීමිත හිම තට්ටුවල බරින්, කඩා වැටීමට ඔන්න මෙන්න කියා ඇති  පියස්නයන්ගෙන් හෙබි නිවෙස් හා ඒවායෙන් පහලට එල්ලෙමින් තිබූ ස්ඵටික මග හරිමින්, තම ගමනාන්තය කරා පා නැගීය. සාප්පුවේ, බිඳුන වීදුරු  කවුලුවට ඉහලින්,  යන්තමට කියවා ගැනීමට හැකි නාම පුවරුව දිස්විය.
  
               "ජෙන්කින්ස් හා පුත්‍රයෝ. ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රික් බඩු වෙලෙන්දෝ"

               වහලයේ බිඳුන තැනකින් කඩා වැටුන හිම,සාප්පුවම වසා ගත්තත්,ඉහල මහලේ කුඩා කුටිය,අවසාන වරට, දස වසරකට කලින්, ඔහු පැමිනි දින සේම, නොවෙනස් ව පැවතිණ.තරංග රේඩියෝව, මේසය මත එලෙසම තිබූ අතර, බිම වැටී තිබුන හිස් ටින්, ඔහුගේ සියලු අපේක්ෂා බිඳ වැටීමට පෙර,මොනයම් ආකාරයක හෝ මිනිස් ජීවියෙක් සමග සම්බන්ධ විමට  ඔහු ගතකළ ගිණිය නොහැකි හෝරා ගණන ගොළු බසින්, කියා පෑය. නැවතත්, ඒ ඉච්චා බංගත්වයට පත්වීමට සිදු වේදෝ යි ඔහු සැක පහළ කළේය.

               ගුවන් විදුලි තරංග ගැන ඔහු දන්නා සියලු දෑ ඔහුට කියා දුන්, ' ආධුනිකයන් සඳහා ගුවන් විදුලි අත්පොත-1965'  අතට ගත් ඔහු, එහි මතුපිට තැන්පත්ව තිබූ සිහින් හිම පටලය පිස දැමීය.විවිධ බැටරි හා මීටර ඒවා දැමූ දැමූ තැන්වලම තිබූ අතර, සමහර බැටරි තවමත් ක්‍රියාකළ හැකි තත්වයක තිබීම, ඔහුගේ සිතට අස්වැසිල්ලක් විය.ගුවන් විදුලි යන්ත්‍රයට ඇවැසි බලය, තැන තැන විසිරී තිබූ බැටරිවලින් සපයා ගත් ඔහු, චකිතයෙන් සිත ගැස්සෙද්දී, යන්ත්‍රය තවමත් ක්‍රියාත්මක කළ හැකි දැයි පිරික්සීය. රේඩියෝවෙන් නැගෙන සිහින් ස්...ස්...ස්..ස්ස්..ස්... හඬ,බී. බී. සී. නාලිකාවේ, 9 කනිසමේ ප්‍රවෘත්ති හා වාද්‍ය වෘන්ද ද, කෙනෙකුට නැතිවම බැරි අංග  සේ සැලකූ අනෙක් සියලුම දෙයින් පිරිපුන්, නමුත්, වර්තමානයේ පුහු සිහින පමනක් ම වූ ලොවක් ඔහු මතකයට නැංවීය.
               ඉතාමත් සීරුවෙන් නමුත් නොඉවසිල්ලෙන්,ඔහු සියලුම තරංග කරකවා  බැලූ නමුත්, සෑම චැනලයකින් ම ඇසුනේ, සුපුරුදු ස්......ස්ස්ස්ස්ස්... හඬ පමනක්මය.  එහෙත්, රාත්‍රිය තවම තරුණ ය.  එතෙක්, වටපිටාවේ ඇති කඩ සාප්පු පීරා, සුපුරුදු ලෙස, ප්‍රයෝජනවත් යමක් සොයා ගැනීමට ඔහු තීරණය කළේය.
                මහාචාර්ය මිල්වර්ඩ්, නැවතත්, කෙටි තරංග ග්‍රහණය කර ගැනීමට, සියුම් ස්විචය කරකැවීය.නමුත්, වරක් මිනිසුන්ගෙන් පිරී තිබුණ, ඊතර සගර මෙන්ම, නගරයද මුනිවත රැක්කේය.ලොව, අනිත් කොනින්, ආවා සේ සිතිය හැකි, වැසි කුණාටුවක ගිගුරුම් හඬක්, දැරිය නොහෙන නිහඬතාව  බිඳ දමමින් ඔහුට ඇසිණ.මිනිසා, තම නවතම සොයාගැනීම අතැර ගියා සේය.

               පසුදා තම නවාතැනට යන විට, ඇල් මැරුන හිරු රස්, හුදකලා වීදියේ විසිරී තිබිණ.ඔහු ඉතාමත් තෙහෙට්ටු ගතියෙන් පා තැබිය.පසුගිය රැයේ ඔහුට හරිහැටි නින්ද නොගිය අතර,නින්ද ඔහු වෙතට ආ සැමවිටම,තම සුපුරුදු සිහිනය, තමා ගලවාගැනීමේ ප්‍රයත්නය ඔහු දිටීය.

                            දැඩි  නිහැඬියාව  බිඳ දමමින්, වහලවල ගොඩ ගැසුන හිම, මහා හඬක් නගමින් බිම වැටෙනු ඔහු ශ්‍රවණය කළේය. ඔහු, නැවතී ඒ හඬට හොඳින් කන් දුන්නේය.සාමාන්‍ය ගිගුරුමකට වඩා එය සම කළ හැකි වූයේ, හිම ටොන් මිලියන ගන්නක්  වුවත් එක්වර පුපුරවා හැකි තරම් ප්‍රබල  වූ පරමානු බෝම්බයකට පමණි.  කලින් දා රැයේ සිදුවිම පසෙකට ලා, නව  බලාපොරොත්තුවක් මෝදු වනු ඔහුට දැනිණ.

               අතුරක් මත ගමන් කරන්නෙකු, නිරතුරු අවධානයෙන්  සිටිය යුතුවාක් මෙන්,තම අවධානය වෙනතකට යොමුකළ ඒ සිදුවීම, තව  සුලු මොහොතක් පමා වූවා නම්, ඔහුගේ දිවි තොර කරනු ඇත.එක්වරම, කුඩා අතුරු පාරකින්, විශාල යමක් ඔහු වෙතට එනු, ඔහුගේ දෘශ්ඨි පථයට ගෝචර විය. තමා දුටු දේ තහවුරු කර නොහී, ඔහුගේ මනස ගල් ගැසුනේය. ඊලඟ මොහොතේ, තම කබා සාක්කුවට අත යැවූ ඔහු, කලබලයෙන් වෙව්ලන ඇඟිලිවලින් රිවෝල්වරය එලියට ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදිණි.සර්පයෙකු සේ, හිස දෙපසට වනමින්, පුලුන් කොට්ට වන් පා සැහැල්ලු ලෙස හිම මත තබමින්, ඔහු අබිමුවට පැමිනියේ, ධ්‍රව වලසෙකි.
                 ඔහු කොපමණ බියට පත්වූවාද කිවහොත්,තමා රැගෙන ආ සියලු බඩු බාහිරාදිය එතැනම අතැර, හිම මත පය පැකිලි පැකිලී, තමා නුදුරේ තිබූ, භූගත සෝපානය දෙසට දිවීය.සතුරා තමාට කොපමණ නුදුරෙන් සිටින්නේ දැයි ආපසු හැරී බැලීමට, සිත තුල ජනිත වූ දැඩි පෙළඹවීම මධ්‍යයේ, ඔහු යකඩ දැළට ළඟා වී, එය වේගයෙන් සෙළවූයේය.බියෙන් හිරිවැටුන ඇඟිලිවලින් කිහිපවරක් දැළ   වේගයෙන් සෙළවූවද කිසිවක් සිදු නොවීය.අවසන, ක්‍රීක් හඬක් නගමින් විවර වූ දොර තුලින්, ඔහු දනි පනි ගා ඇතුලට රිඟා ගත්තේය.
                  ඔහු තරම්  දෙගුණයක් තරම් වූ වලසා, කෝපාවිශ්ඨ ව,  උල් නියෙන්, තමා හා තම ප්‍රතිවාදියා අතර  එකම බාධකය වූ  දැල ගලවා දැමීමට යත්න දැරීය.උගේ සවිමත් බාහු යුගලයට මැදි වූ යකඩ දැල සෙලවුනත්, එය ගැලවීමට තරම් ඌ ශක්තිමත් නොවීය. මහාචාර්යවරයා අතින් ගිලිහුන මල්ල, වරක් දෙවරක් නිය පහුරුවලින් එහා මෙහා විසික්කළ ඌ, ඉදිරිපස ගාත් ඔසවා, අසතුටින් ගෙරවූයේ, සතර අතට විසිව තිබූ ටින් අතරින් දෙපා මුදුව තබමින් අතුරුදන් විය.

                  ජීවිතයේ කිසිම දිනක නොදැනුන ලෙස, ඉමහත් කම්පනයට ලක් වූ මහාචාර්ය මිල්වර්ඩ්, එක් ආරක්ෂිත ස්ථානයකින් තවත් ආරක්ෂිත ස්ථානයක ට  මාරු වෙමින්, තම නවාතැනට ලඟා වූයේ තෙපැයකට පමණ පසුවය.


මේ සා කලකට පසු, නගරයේ  සිටින එකම  ජීවියා තමා නොවන බැව් ඔහුට පසක් විය.ධ්‍රව වලසා හැරෙන්නට , වෙනත් සතුන් නගරයට ආගමනය වී ඇත්දෝයි සිතේ නැගුන පැණයට පිළිතුරක් ලෙස, පසුදින අළුයම,නගර උද්‍යානය දෙසින්,වෘකයකු ගේ උඩු බිරීමක් ඔහු සවන් වැකිණ.

 තවත් සතියක් පමණ ගෙවෙන විට, උතුරේ සිටින සතුන්, එය හැරදමා යන බැව් ඔහුට පැහැදිලි විය.වරක්, දකුනු දිශාව බලා ගමනේ යෙදෙන පිනි මුවන් රැළක්, ඔහු තම ටවරයේ සිට නිරීක්ෂණය කළේය. සමහර රැයක, එකිනෙකා කා කොටා ගන්නා, ගොරවන, බුරන විවිධ සිව් පා ශබ්ද ඔහු  සවන් පතිත විය. මෙපමන කළකට පසුවත්, මෙවන් විසල් ජීවි ගහනයක්,  උත්තර ධ්‍රවය හා ලන්ඩනය, එකම භූමියක් සේ යා කළ මේ, ධවල හිම තැන්නේ, වසනු දැනගැනීම  විමතිය දනවන්නක් වීය. 


                          නමුත්, දැන් යමක්, ඔවුන් සියල්ල දකුණට පලවා හරිමින් සිටී.මිනිසා හැරෙන්නට, මේ සා සතුන් සන්ඛ්‍යාවක් භීතියෙන් මුසපත් කරවන්නට සමත් ජගතෙක් මේ පොළොවේ නැති බැව් ඔහු සිහිපත් කළේ  චිත්ත සන්තානයේ දලු ලන ඉමහත් ප්‍රීතියෙනි.



                   සමහර දිනක, තම උනුසුම් ලොම් කබාය, ගතට හිරකර ගනිමින්,සීතල ඉරු රැසින් නෑවෙමින්, තමා ගලවා ගැනිමට, තම මිතුරන් නැවත එන අයුරු සිහින දකිමින්, ඔහු එලිමහනේ නිනව්වක් නැතිව පැය ගනන් ගත කළේය. සමහර විට, උතුරු ඇමෙරිකාවේ සිට, මිදුන අත්ලාන්තික් සයුර,  තරණය කොට ඔවුන් පැමිනෙනු ඇත.එසේම, මේ වනවිටත්, ඔවුන් තමා බේරගැනීමේ මෙහෙයුමක් අරඹා වසර ගනනාවක් ගතවී ඇති වන්නටද පුලුවන.



 එසේ වුවද, මෙතෙක්, තමා ගලවාගැනීමට, එකදු ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක නොවිම, ඔහුගේ කුකුස දනවන්නක් වීය. මෙපමණ කඩිනමින්, මිනිසාට පියෑඹීමේ කළාව අමතක වී ඇතැයි සිතීම උගහටය.

                   පාලුව දරාගත නොහුන විටක,  මතකයෙන්, කවි ගායනා කිරීමට ඔහු පෙලඹී සිටි මුත්,  ඒවා බොහෝ විට අතීත තුවාල පාරවන්නක් විය. නමුත්, දිවා කල දිගු වී, පරිසරයේ, දීප්තිය වැඩි වත්ම, ඔහු, බොහෝ විටක, ජනෙල් කවුලුවකින්, හිස එලියට දමා, මහ හඬින්  ඒවා ගැයුවේ,  එමගින් වත්, තමා වට වී ඇති, මේ මායාකාරී පරිසරය වෙනස් කිරීමට යත්න දරන්නාක් මෙණි.
                ගිම්හානය, එය නිමාවේ අද්දරට ලඟා වී සිටියේය.පැයෙන් පැය, දිනෙන් දින, ඒ නුහුරු ඝෝෂාව,වැඩිවත්ම, ඔහුගේ මනස, බලාපොරොත්තුව හා භීතිය අතර දෝලනය වෙමින්, වික්ශිප්ත විය.ඔහු තවදුරටත්, කිසිම සත්වයෙක් දුටුවේ නැත්තේ ඔවුන්  පලා ගිය නිසාවෙනැයි ඔහු අනුමාන කලත්, තම,ආරක්ෂිත බළකොටුවෙන් පිටතට පැමින, පලා යාමට තරම් දිරියක් ඔහුට නොවීය.
                  එය එසේ වුවත්, සෑම හිමිදිරියකම,කුළුණේ, උස් කවුලුවක් අසලට වී දුරදක්නයෙන් වටපිටාව නිරීක්ෂණය  කළ් සැම විටකම ඔහු දුටුවේ,හිරුට බියේ පසු බසින හමුදා බළ ඇණියක් සේ දියවෙමින් යන හිමෙන්, වැසි කඳු ශිකර ය.


    ඔහුගේ පෙර මග බලාසිටීම, කෙටි ගිම්හානයේ, අවසාන දින කිහිපයේ නිමා වීමට යෙදිණ.පොළොව දෙදරුම් කවමින්,කෙමෙන් වැඩිවෙමින් ඇසෙන ඒ ගර්ජනාව, තමාට වඩ වඩා සමීප බව දෑනුනත්,තවමත්, ඒ කුමක්දෑයි නිසැකවම පැවසීමට හෝ එය, තමාට කොපමණ සමීප දැයි අනුමාන කිරීමට හෝ හැකියාවක් නොවීය.



  මහාචාර්ය මිල්වර්ඩ් තම දුරදක්නය, උතුරු දෙසට යොමු කරන විටවත්, ඔහුට ඒ ගැන කිසිම අමුතු හැඟීමක් නොතිබුණේය.නුදුරේ එන හමුදාවක, හිරු එලිය වැටී දිලිසෙන පළිහ, ප්‍රථම වරට දර්ශණය කරණ මුර සෙබලෙකු සේ අවසන, ඔහු ඒ අමිහිරි සත්‍යය පසක් කර ගත්තේය.පැහැදිලි නුබ ගැබ පසුබිම් කර ගනිමින්,හිමෙන් වැසුන උස් වූ කඳු ශිඛර,  දැන්,සූර්යාලෝකයේ, බබලමින්  තිබිණි.වසර, මිලියන ගනනක් පුරා, ඒවා වසා සිටි හිම තට්ටු,දැන් නැත්තටම නැතිවී ගියා සේය.ඔහු, ඒ ගැන ප්‍රීති විය යුතු නමුත්, එවන් හැඟීමක් ඔහුට දැනුනේ නැත. 
       එක් රැයකින්, ඔහුට කිසිදා, කෙලෙසක වත් අනුමාන කළ නොහැකි වූ සතුරා,අවසාන මුර කඩුල්ලත්, පසු කරමින්,සමූල  ඝාතනයට සැරසී, ඉදිරියට එමින් සිටියේය.

     පරාජිත වූ කඳු මුදුන් වසාගෙන,කෙමෙන් තමා අබිමුවට ගලා එන, ඒ අතිශය බියකරු දිස්නය, මහචාර්යවරයාට, පර්වත මුහුදට ගමන් කරන්නා සේ දැනුන  හැඟීම, හෙළිදරව් කලේය.
        ඔවුන්ගේ  සදාකාළික නවාතැන වූ උතුරු දිශාවේ සිට,මිනිසාගේ ආගමනයට කල්පාන්තයකට පෙර, තම නිජබිම වූ, දකුණු දිශාව, අත්පත් කර ගන්නා ඒකායණ අදිටනින්, ග්ලැසියර, නැවතත්, ගමන් අරඹා තිබිණ. 

( A translation of the short story, "The forgotten enemy" by Arthur.C. Clarke.) 




            







   



   


   






              


























Sunday, September 1, 2013

දිවි පැවැත්මේ යානය නොහොත් Survival Ship









 
 මිලියන භාගයක පමණ ජනතාව යානාවේ ගුවන් ගත වීම සියැසින් දැක ගැනීමට අභ්‍යවකාශ නැවතුම් පලට රොක්වූහ. පෘථිවියේ ද මිනිසුන්,  මිලියන සියයක පමණ වීඩියෝ තිරවලින් කපිතාන් මෙල්නික් ගේ හිස් වැසුම් ලු අතක් මිනිසුන්ට සමුදුන් අතර අනෙක් අත, යානාව කෘතිම චන්ද්‍රිකාවේ කක්ශයෙන් එපිට චන්ද්‍රයා හා සෞර ග්‍රහ මන්ඩලයේ අනෙක් ග්‍රහයන් පසු කරමින්, ඉමක් නැති, නාඳුනන,  හුදකලා අවකාශයට තල්ලු කිරීමට ඇවැසි බලය උත්පාදනය කිරීම සඳහා ලිවරය තද කරනු නැරඹූහ.



          අහස් නැවතුම් පලේත්, පෘථිවියේත්, සඳේත් සුබ පැතුම් සිය මිලියනයක් ජෙට් යානයේ උඩු තෙරපුම් බලයට  මුසු විය.‍රැඳවුම් අට්ටාලයේ ඉහලට නැගෙනා ගිනි දලු තෙවරක් ආසිරි ගැන්වූ  Survival  යානයේ පිටත්විම සනි‍ටුහන් කළේය. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය  දක්වා දෙව් මැදුරුවල යෝධ යානාවට හා එහි සිට යානාව මෙහෙයවන  විසි දෙනා හා සිව් දෙනා හට වේගවත් ගමනක් පතමින් යාඥා මෙහෙයන් පැවැත්විණි.කඳු මුදුන්වල ඇටවූ දුර දක්නවල සවි කර තිබූ කැමරා කිහිපයකින් යානය චායාරූප ගත කරන ලදී.

          නිවෙසවල තිබූ කැමරා හා  යෝධ තිර අහසට හැරී සිටියේ, ගිනි ගනිමින් පහලට වැ‍ටුන,  මිනිස් දෑතින් නිමවූ තාරකාවේ   කෙමෙන් අඳුරු වන රූපය සටහන් කර ගැනීමටය.
               යානාව තුල කපිතාන් මෙල්නික් ගේ හස්තය ලීවරයෙන් මෑත් වී ත්වරණ කවිච්චියේ ඇති නිකට රඳවනය හා කන් ඇබ හරි ගැස්සීය.ඇස් මට්ටමට සවි කර තිබූ දර්ශක පැනලය එක්වරම සජීවී විය.තමාට හුරු පුරුදු ලෙස කවිච්චියේ හාන්සි වී පටි තද කර ගනිමින් කපිතාන් ගුවන් ගත වීමට යන කාලය සටහන් කරන යන්ත්‍රයේ ලොකු ක‍ටුව විමසිලිමත්ව කියවන අතර පැනලය කෙලවර ඇති ආලෝක  ධාරා දැල්වෙන්නට පටන් ගත් බව නිරීක්ශණය කළේය.දර්ශකය පලමු රතු ලකුණට  ලඟා විය.

                      " හරි. ෂෝ එක ඉවරයි. දැන් ඉතින් වැඩ පටන් ගනිමු." නිකට රඳවනයට සවිකර තිබූ මයික්‍රඵෝනයෙන් කපිතාන් ගේ ගැඹුරු කට හඬ යානාව පුරා සිසරා ගියේය.



" සියලුම අංශ වාර්තා කරන්න."

" අංක එක. සේරම හරි."

                               මෙල්නික්, කපිතන් ගේ යානය මෙහෙයවීමේ අසුන, නිසි පරිදි ක්‍රියා කරන බැව් අඟවමින්, දැල්වෙන පලමු කොල පැහැ බල්බය හිතින් ටික් කලේය

                     "නොම්මර දෙක. සේරම හරි."

                  "නොම්මර තුන........... හතර.... පහ............"
          රිද්මයානුකූලව සියලුම අංශ එකම වැකිය පුනරුච්චාරණය කලේය. සෑම අංශයක්ම නිවැරදිව ක්‍රියා කරන බව අඟවමින් එකින් එක දැල්වුන කොල පැහැ ආලෝක කදම්භය , කාල හෝරාව  'සියල්ලම නිවැරදිව ක්‍රියාත්මකය'  යනුවෙන් දෙනු ලැබූ සංඥාවට පසුව නිවී ගියේය. 

                   "සිහි විසඥ  භාවයට පත් වෙනු ලැබීමට තව ඇත්තේ තත්පර අටක් පමණයි."    කපිතාන් ගේ අවවාදාත්මක ස්වරය කාර්ය මංඩලය  දැනුවත් කළේය. " හත ..... හය... "stand by " තවරණ කම්පනයේ පලමු ඉඟිය හිස් ආවරණ පැලඳ සිටි හිස් විසි හතර පුරා සිහින් විද්්‍යුත් කදම්බයක් සේ ගලා ගියේය.
          "පහ... එය නිවැරදිව ක්‍රියා කළ යුතුයි." මෙල්නික් කෙමෙන් ලඟා වන සිහි මුර්චාව පරයා සිතීය.   "හතර. වැඩ කළ යුතුයි........වැඩ කළ යුතුයි.  ..... තුන.   වැඩ කළ......   .. දෙක.......... වැඩ කළ....."


අහස් නැවතුම්පලේ සිටි මිලියන අඩක නරඹන්නන් එලියට පැමිණ, තමන් පෘතිවිය කරා ගෙනයන රොකට්‍ටු ලඟා වන තෙක් බලා උන්හ.


                ඔවුන්ගේ දහසකුත් එකක් බලාපොරොත්තු කඩ වූයේ රොකට් අංගනයේ සුපුරුදු දේට වැඩි යමක් එදාද ඔවුන් නොදු‍ටු නිසාය.    අංගනය  වැටක් ගසා මුලුමනින් වෙන්කර තිබූ අතර ආරක්ශක නිලධාරී    පවුරු දෙකකින්ද එය සවිමත්ව තිබුනේ වඩාත් කුතුහලයක් ඇත්තවුන් අධර්්‍යයට පත් කරනු සඳහාය.  නිළ මට්ටමේ පැහැදිලි කිරීම් ලෙස,  නව එන්ජිම, යානයට යොදනු ලබන නවතම ඉන්දන වර්ගය,හා ගෑස් වලින් සිදුවිය හැකි අනතුරු  ගැන සඳහන් කෙරුනත්, නියම රහස කුමක්ද කියා සැවොම දැන සිටියහ.

                                            එය අන් කිසිවක් නොව යානාවේ කාර්ය මන්ඩලයයි.  වේදිකාවේ තිබූ දෑවැන්ත තිර වලින්,නිවෙස්වල සිට වුව නැරඹිය හැකි, යානාවේ සමීප රූප හා වෙනත් විස්තර සැපයුණේය.අවසන, ඔවුන් කපිතන් ගේ ග්ලවුසයක් පැලඳි අත පමනක් දුටහ.බලාපොරොත්තු කඩවූ ලක්ෂ සංඛ්‍යාත  ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ තොල් මැතිරීම් හා මැසිවිලි ඇසිණි.   නමුත්,එක් අතකින්, එම අවස්ථාව  නැර්ඹූ හැම ගැහැනියක, පිරිමියෙකු හා කුඩා වූවෙකුටම  එය ඓතිහාසික අවස්ථාවක් විය.

                     " Survival  ගුවන් ගත වෙන කොට මම එතන හිටියා" හෝ එච්චර විශාල යානයක් මම මගෙ ජීවීතේටම දැකල  තිබුණෙ නෑ." කියා හෝ පසු කලෙක ඔවුනට කිව හැකි විය.       එසේ ඔවුනට කිව හැකිව තිබුණේ මෙම චාරිකාව , හුදෙක්, වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගිය ගමනක්ම නොවූ නිසාය. එය "Survival"  නොහොත් "දිවි පැවැත්මේ" යානාවය. මෙතෙක් කලකට මානව ඉතිහාසයේ නිම කළ  විශිෂ්ටතම , ශ්‍රේෂ්ටතම හා අති දෑවැන්තම අභ්‍යවකාශ යානාවය. එය වෙනම විශ්වයක් සේ සැලකුවත් වැ‍රැද්දක් නැති තරමට  එහි අංගෝපාංග නිමවී තිබුණි.


   ජනයා ඒ  චාරිකාව ගැන සිතුවේ   තත්පරයට සැතපුම් ලෙස නොවේ. "සිරියස් තාරකාවට වසර පහලවකින් " ලෙසය.

                 රිවි දින පුවත් පත් අතිරේකයන් ගේ සිට සම්මානනීය දෙසති සඟරා දක්වා මෙහි තතු පළ කෙරිණි.වර්ණවත් හා දීප්තිමත් ප්‍රස්තාරවලින් යානයේ, ස්වභාවික ජීවි සමතුලිතතාව, පරිසර පද්ධති පෙරනයන්, ආහාර ගබඩා කෙරෙන අයුරු පෙන්වූ අතර දේශන හා වීඩියෝ පට මගින් යානය තුල කේන්ද්‍ර අපසාරී බලය, ගුරුත්වාකර්ශණ බලයට හරවා ගන්නා ආකාරය පැහැදිලි කෙරිණි.

                  යානය ගුවන් ගත වීමට මාස කිහිපයකට පෙරම ඒ සඳහා කාර්ය මන්ඩලය, සතුන් හා අනෙකුත් ජීවීන් වන සූදානම ඉතාම සියුම් විස්තරය දක්වා එලිදරව් කෙරුණේය. යානාවේ ඇති කිරීමට නියමිත ඌරන්, වසු පැටවුන් හා කුකුලන් ගේ අන්වර්ත නාමයන් පවා ලොව පුරා දනන් මුවග ‍රැව් දුනි. එපමණක් නොව මෙම ව්‍යාපෘතියට සම්බන්ධව ක්‍රියා කළ ජීව රසායනඥයින් ගේ අමන්දානන්දයට හේතු වූ, සෑම කොටසක්ම ආහාරයට ගත හැකි, පෝශ්‍යදායී,ඉතාමත් ප්‍රනීත රසැති, මෙතෙක් සොයා ගනු ලැබූ පිපාසිතම කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා ලෙස නම් කෙරුනු, මේතාක් දුරට  රහසක් ව තබා ගත් දෙමුහුන් ශාකයේ නම පවා එලිදරව් විය. 

       නමුත් පෘතුවියේ ජනයා හෝ යානාව ගුවන් ගතවනු සියැසින්ම නැරඹීමට ගිය මිලියන අඩක ජනතාව හෝ කාර්ය මන්ඩලයේ විසි දෙනාගේ හා සිව් දෙනාගේ නියම නම් හෝ ඔවුන් ගැන වෙනත් කිසිම තොරතුරක් හෝ දැන ගැනීමට අපොහොසත් වූහ.දහස් ගනනින් ඒ සඳහා ඉල්ලුම් කළ බවත්, පරීක්ශණ මාලාවක මූලික අදියරට ලඟාවීමට නම් අඩුම තරමේ වයස විසි පහට නොවැඩි, අවිවාහක, ඉන්ජිනේරුවකු විය යුතු බවත් නොරහසකි.


             කාර්ය මන්ඩලය ගැහැනු හා පිරිමි සංයුතියක්  වූයේ බලාපොරොත්තු වූ ලෙස, සිරියස් හි  දිගුකාලීනව  නැවතීමේ සම්භාව්‍යතාවක් ඇත්නම්  ආපසු පැමිනෙන චාරිකාව සඳහා දෙවන පරම්පරාවක් බිහි කිරීමේ බලපොරොත්තුවෙන් හුදෙක්ම සැකසූ ලදරු කාමරය භාවිතයට ඉඩ ප්‍රස්තාවක් ලබා දෙමිනි.

                    දිගු කාලීන ව පොලොවේ නෑසිය හිත මිතුරන්ගෙන් වෙන්ව, හුදකලා ලොවක තනිවන මේ කිහිප දෙනගේ හැසිරීම් රටාව හඳුනා ගැනීමට රුකුලක් ලෙසින් ඔවුන්ගේ සියලුම ගති ලක්ෂණ හා පුද්ගලයාගෙන් පුද්ගලයට වෙන් වූ තමන්ටම ආවේනික, සුවිශේෂී හැසිරීම් නිරීක්ෂණය කෙරිණි. උදාහරණයක් ලෙස, ඔවුන් කන, බොන, අඳින, පලඳින දෑ, ඔවුන් ගේ ජනප්‍රිය ක්‍රීඩා,චිත්‍රපට, සංගීතය, පොත් පත්, පූජකවරුන් හා දේශපාලන පක්ෂ විචාරයට ලක් කෙරිණි.    සියල්ලන්ම නොදත්, කිසිවෙකුටත් සොයා ගත නොහැකි වූ දේ නම් කාර්ය මන්ඩලයේ නම් හා ඔවුන් ගේ නම් රහසක් ව තබා ගැනීමේ හේතුවයි.
  පුවත් පත් හා ගුවන් විදුලි වාර්තා කරුවන් ගනනටම වගේ ඒ ගැන ඕපාදූප ද පැතිර ගියේය.

   එම කරුණු එසේ රහසිගතව තබා ගැනීම අරබයා දහසකුත් එකක් පැහැදිලි කිරිම් ද ඉදිරිපත් විය. නමුත්, ව්‍යාපෘතිය සැළසුම් කළ පනසක් පමණ වූ ඉහලම මට්ටමේ නිලධාරින්ද කාර්ය මන්ඩලය ද ඇරෙන්නට තවමත් වෙනත් කිසිවකු ඒ ගැන නොදත්හ.

   කුඩා තිතක් සේ පෙනුන යානය ක්‍රමයෙන් රූප වාහිනී තිරවලින් මැකී ගිය පසු යෝධ යානයේ ත්වරණය මිනිස් සිරුරට ගැලපෙන සේ හැඩ ගැසීමට පටන් ගති. කාර්ය මන්ඩල පරිහරණය සඳහා වෙන් වූ කුටිවල ගුරුත්වය, පොලොවේ පරිසරයට අනුව වෙනස් විය. යානය ගුවන් ගතවන විට නිපදවෙන කේන්ද්‍ර අපසාරී බලයෙන් සිරුරු අභ්‍යන්තරයට  වන දරුනු හානිය වලක්වා ගැනීමට සවිකල ත්වරණ කවිච්චිවල පටි අතරට තද වුන, තැලුන පොඩි වුන සිරුරුවලට සැහැල්ලුවක් දැනිණ.මෙතෙක් වේලා විසඥව, ගල් ගැසී තිබුන මොලයේ ස්නායු, අනතුරු සංඥා කිසිවක් සෛලවලින් නිකුත් නොකරණ බව සැක හැර දැන ගත් පසු නිසි පරිදි ක්‍රියා කිරීම ඇරඹුවේය.

                   මෙල්නික් පලමුව අවදි විය.පැනලයේ කොල පැහැති ආලෝක තීරු තවමත් දැල්වෙමින් තිබිණි. ත්වරණ කවිච්චියේ පටි ගැලවූ කපිතාන්, පැනලයේ අලෝක ධාරා නිවැරදිව ක්‍රියාත්මක වේදැයි තරමක තැතිගැන්මකි න් බලා සිටියේ, එක් කොල පැහැ ආලෝක තීරුවක් නිවී යන විටම සැනසුම් සුසුමක් හෙලීය.     
                   කපිතාන් පලමුවෙන්ම අවදි වීම අත්‍යවශ්‍ය කරුණක් වූ අතර එසේම එය සියල්ලම යහපත් ව සිදුවෙනවා යැයි ඇඟවෙන සුබ ලකුණක් ද විය. මිනිසුන්ගෙන් යමෙක්  මුලින්ම පියවි සිහිය ලැබුවේ නම් එය නරකට හැරීමට ඉඩ තිබිණි.පෘතිවියේ අනාදිමත් කලක් තිස්සේ  හුරු පුරුදු වුන හැඩ ගැසීම් වලට විරුදුව යමින් යානය තුල මෙසේ බලෙන් ආරෝපණය කරගත් තත්වයක්  මත කොපමණ කාලයක් ගෙවිය හැකි හැයි කපිතාන් කල්පනා කලේය.නමුත්, තවත් අතකට , එය එතරම් අපහසු කාර්යයක් ද නොවනු ඇත.

      අසාමාන්‍ය  හා අහඹු අවස්ථාවන්ට  සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඇති අතලොස්සක් පමණක් ‍තෝරා ගැනුණ අතර ඔවුන් සැම, සමීප පවුල් සබඳතා නැති, ප‍ටු මානසිකත්වයකින් තොර වූ අයවලුන් වූහ.යානය තුල, තම තමාට අයත් වගකීම් ඔවුන් පසුව වටහා ගනු ඇත. වඩාත් තීරණාත්මක සාධකය වනුයේ ඇරඹුමය.Survival චාරිකාව හුදෙක්, යානය තුල ශාක හා සත්ව සමබරතාවය ‍රැක ගැනීම හෝ කෘතිම ගුරුත්වයට එහා ගිය දෙයකි.

                      කපිතාන් බලා සිටියදී, තවත් කොල පැහැ ආලෝක පුලිඟුවක් නිවී ගියේය.- තවත් එකක්. දෙදෙනාම නිලධාරින්ය.සුබ ලකුණකි.තවත් අලෝක ධාරා තුනක් නිමිණ. ඉන්පසු පිරිමින් අවදි වීමට පටන් ගත් අතර, තම කවිච්චි පැනල වලින්, නිලදරුවන් මුලින්ම අවදි වූ බව ඔවුනට දකින්නට ලැබීම, කපිතාන් ගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නේය.කෙසේ වුවත්, සිත සිතා සිටීමට දැන් ඉඩක් නැත.කළ යුතු දෑ බොහෝය.

                   සතුන්, ඔවුන් ගේ ගුරුත්ව කුටිවලින් මුදා, ඔවුනට සිදු වී ඇති හානි ගැන තක්සේරු කරන සේ, වහාම අණක් නිකුත් කෙරිණ.වසර ගනනාවක් පුරා මේ හුදකලා ජනාවාසය, සාර්තකවත්, උපරිම සැප පහසුවකිනුත් පවත්වා ගෙන යෑම සඳහා  මිනිස්, සත්ව හා ශාක අනුපාතය නිසි පරිදි පවත්වා ගනිමින්, තමා සුරක්ෂිතව හසුරුවා ගත යුතුව හෝ නැතහොත් මිය යා යුතුව තිබේ!


                කාර්ය මන්ඩල සාමාජිකයින් සියල්ලන්ම පාහේ අවදි වූ විට, තෙවන නිලධාරී, ලුතිනන් ජොන්සන් තවත් අට දෙනෙකුත් කැ‍ටුව හයිඩ්‍රොඵෝනික් තටාක පිරික්සීමට ගියේය.
                       සුවිසල් යානය ඇතුලත, එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා, යානයේ ඇතුල් පරිධියේ මේ විශාල හයිඩ්‍රඵෝනික් තටාක පිහිටා තිබූ නිසා,ඔවුනට විශාල පෙදෙසක් නිරීක්ශණය කිරීමට සිදුවිය.ලුතිනන් අට දෙනා, කන්ඩායම් හතරකට බෙදා වෙන් කලේ, සැම කන්ඩායමකටම ජීව රසායනඥයෙක් ඇතුලත් වන පරිදිය.ඔහුගේ වගකීම වූයේ පැලවලට වූ හානිය පිලිබඳ දත්ත එකතු කිරීමයි. අනෙකා සුවිශේෂ කාරය භාරයක් නැති, අත් උදව් කරුවකු විය.ඔහුගේ  කාරිය වූයේ විසල් ටැන්කි අතරින් රිංගා ගොස් කැඩුන හැම දන්ඩක් ම අලුත්වැඩියා කිරීමයි. 

           අනෙක් කාංඩ,  එන්ජිම හා පාලන යන්ත්‍රනයේ අඩු පාඩු හා දෝෂ පිරික්සීමට යෙදවුන අතර, අවසනයටම අවදි වූ ගැහැනුන් දෙදෙනාට ගැලියේ පලමු මුර සේවාව පැවරී ගියේය. මෙල්නික්, ඔවුන්ගේ විරුද්ධත්වය උපන් තැනම ලොප් කර දැම්මේ, ඔවුනට ඊට විරුද්ධ වීමට කිසිත් අයිතියක් නැති බව පවසමිනි.යානාවේ මෙතෙක් දුරට වැඩ කටයුතු කෙරුන ආකාරය ගැන සිතින් තෘප්තිමත් වුන කපිතාන්, පලමු ආහාර වේල, කිසියම් සුවිශේෂත්වයක් ඉසිලිය යුතු බැව් නිගමණය කළේය.අන් සියල්ලටම වඩා  යානය තුල පුද්ගල සබඳතා හා සාමාජීය වටපිටාව වහාම තහවුරු කල යුතුය.
           කතාවක්- සියලුම සාමාජිකයන් ඉදිරියේ නොපැවැත්විය යුතු-  කිරීමට නියමිතව තිබිණ.කරුනු යෙදුන ආකරයට, ඒ සිව් දෙනා, අනෙක් සාමාජිකයන්ට වඩා වැඩි වේලාවක් රාජකරිවල නිරත වීමට සලස්වා ඔවුන්ගේ පැමිනීම ප්‍රමාද කෙරෙනු ඇති.
          අභ්‍යන්තර සංනිවේදන පද්ධතිය කපිතාන් ගේ සිතිවිලි වලට බාධා කලේය. 

               "ලුතිනන් ජොන්සන් වාර්තා කරනවා සර්."   සන්සුන් ස්වරයක් ඇඟවීමට ප්‍රයත්න දැරුවත්, එහි බියක් මුසු වී තිබිණි.තෙවන අණ දෙන නිලධාරියා වූ ජොන්සන් තටාක පිරික්සීමේ කටයුතු පාලනය කලේය.

                "මොකද? ඔතන ගැටලුවක්ද?"
 මෙල්නික්, හිතා මතාම අධිකාරි ස්වරයකින් විචාලේ ඔහුගේ හඬ යානය සිසාරා ‍රැව් දෙන බැව් දන්නා නිසාය.

                "එක පිරිමියෙක් පැමිණිළි කරනවා සර්." තරුන ලුතිනන් පිලි වදන් දුනි. "වැඩ බෙදීම ගැන විරෝධයක් මතු වෙලා. "තව දුරටත් හැමෝටම ඇසෙන සේ කතා කිරීම නුසුදුසු බව මෙල්නික් සිතීය. 

                 "ඔහොම ඉන්න. මම ඔතෙන්ට එනවා. " මෙල්නික් වහ වහා පඩි බසිමින්, ගැටලුව පැවති කලාපයට ඇතුලු විය.

             "කව්ද කරච්ච්ල් කාරය?"   "කෙනඩි.පැල නඩත්තු කරන්නෙ ගියොගියෝ  එක්ක. "

                "මොකද, කෙනඩි?    පැමිනිල්ලක්ද"?


       "ඔව්." එලිමහනේ වැඩ කරන කම්කරුවන් අඳිනා ආකරයේ, ලිහිල් ඇඳුමක් පැලඳි මිනිසාගේ මුහුනේ අසතුටක් හා කලකිරුනු බවක් පිලිබිඹු විය.හිතාමතාම ආරෝපණය  කරගත් උඩඟු බවක් හා අපහාසාත්මක ස්වරයක් ඒ වදනෙන් එලියට පැන්නේය.ඔහු, මින්පෙර එසේ කතා කරනවා අනෙක් අය අසා තිබුනේ නැත. ඔවුන්ගේ පුදුමය, කෙනඩි හට අමතර දිරියක් සැපයූවා සේය.
                         "මම හිතන් හිටියෙ, මේ ගමනෙදි මට විශේෂ සැලකිලි ලැබෙයි කියල. එහෙම තියෙද්දි, මේ සුද්ද බුද්ද කරන වැඩ මට විතරක් පවරල ජෝජි කොහොමද ක්ලීන් සූට් ගහල ඉන්නෙ?" 

    ඔහුගේ විහිලුව, අනෙක් අය සිනා ගැස්සීමට සමත් වූයේ නැත.

     "ඒ කපිතාන් ගෙ අණ."    මෙල්නික් ගේ ස්වරය දැඩි විය.

                   "හැමෝම යානාවෙ කටයුතු යථා තත්වයට පත් වෙන තෙක් දෙගුනයක් මහන්සි වී වැඩ කල යුතුයි. ඔබ මෙතන රාජකාරියට අකමැති නම් බ්‍රිජ් එකේ ඩියුටිය පවරන්න පුලුවන්. සැප පහසුව ගැන දැන්ම හිතන්න එපා.ඒවා පස්සෙ, ඇති තරම් ලැබේවි. ඒ වගේම මතක කරන්න එපා, මේ ඉතාමත් දීර්ඝ චාරිකාවක් බව. "
                         කපිතාන් overhead  එකේ සවිකර ඇති හෝරා යන්ත්‍රයට ඉඟි කළේය. "කෑමට වැඩි වෙලාවක් නෑ. උනුවෙන් කෑම ඕනෙ නම් ඔබට පැවරුන රාජකරිය ඉක්මනට ඉවර කරල එන්න. තව විනාඩි තිහකින් ආහාර සූදානම් බව ඇඟවෙන සීනුව නාද වේවි."

                             මෙල්නික්, තරමක චකිතයකින් වුවත් වහාම ආපසු හැරුනේ. කෙනඩිට යමක් කීමට ඉඩ නොතබාය.එය සාර්ථක විය.මුරන්ඩු බැල්මකින් නමුත් පරාජිතව,කෙනඩි නැවත ජෝර්ජි පෙන්වූ දිශාව ඔස්සේ පැල දෙසට බඩ ගෑම  ඇරඹීය. සිතට නැගුන සැහැල්ලුව පිටතට නොපෙන්වමින්, කපිතාන් හා ලුතිනන් ජොන්සන් ක්ෂණික ජයග්‍රාහී බැලුම් හුවමාරු කර ගත්හ.

                         ඉදිරි වසර පහලොව පුරාමත්,සිරියස් තුල ජනාවාස පිහිටවිය නොහැකි නම්,  එමෙන් දෙගුනයක කාලයක් පුරාවටමත්,ඔවුන්ගේ කෑම කාමරය, පොදු කාමරය හා ‍රැස්වීම් ශාලාව ලෙස යොදා ගැනීමට නියමිත  ඒ විසල් පාලන මැදිරියේ,කපිතාන්, තම අනෙක් සාමාජිකයන්  ඔවුන්ගේ රාජකාරි නිමකර එන තෙක්  බලා සිටියේය.

             මඳ වේලාවකින්, ඔවුන් සැම, සුව පහසු, කුශන් කරන ලද,කවිච්චි හා මැද මේසය මග හැර, නුහුරු ලෙස, තැන් තැන්වල කීපදෙනා බැගින් රංචු ගැසුනහ.

                   වරෙක පමනට වඩා උස් හඬින් කල දෙබසුත්,වරෙක ඇති වූ තද නිහඬතාවත්, තමන් නොකැලඹී ඇති බව ඇඟවිමට සැවොම ගත් උත්සාහය නිස්ඵල කළේය.

                      දුඹුරුවන් පැහැ ගත් මුහුනින්ද, මනාව පිහිටි සිරුරින්ද යුත් ඔවුන් සැම, කපිතාන් ගේ පලමු කතාව කුමක් විය හැකිද කියා දැන සිටියහ. නැතහොත් අනුමාන කළහ.ඒ ගැන ඔවුනට කුතුහලයක්, තරමක බියක් හා තිගැස්මක් ද තිබිණි.

  විසි දෙනාම පාලන කුටියට ආ පසු කපිතාන් සැමගේ අව්ධානය තමා වෙතට ඇද ගනු වස් මේසයට අතින් තට්‍ටු කළේය.

     "මං හිතනවා........." ඔහු කතාව ඇරඹීය.      "ඔබ සැමට යානාවෙ දැන් පිහිටීම හා නවතම ක්‍රියාකාරිත්වය ගැන දැන ගන්න ඕනෙ ඇති කියල."
                  හිස් දහ නවයක් බලාපොරොත්තු කඩ වීමෙන් දෙපසට සෙලවිණි.  "කොහොම වුනත්..."      එම වචන යුගලයෙන් ඔවුන් ගේ මුහුනු මත ඇති වූ වෙනස, ඔහුගේ මුවට සිනාවක් නැංවීය.


                     "මම හිතනවා, මම වගේම ඔබත්, කුසගින්නෙන් හා නොඉවසිල්ලෙන් ඇති කියා. ඒ නිසා මගේ වාර්තාවෙ, අවශේෂ කරුණු, අනෙක් සාමාජිකයනුත් පැමිනි විට දැනුම් දීමට තීරණය කළා.නමුත්.... වහාම සාකච්ඡා කර ගත යුතු, වැදගත් කරුණක් අපට  තියෙනවා.



   කුටියේ සිටි සැවොම, සිව් දෙනා ගැන සිහිපත් කළහ. එය කෙසේ සිදුවිය යුතුද  ගැන දළ අදහසක් ඔවුන් තුල තිබුනත්, පොලොවේ සිටි අනෙක් පිරිමින් නිසා, ඒ ගැන ඔවුනට එතරම් අමුත්තක් දැනුනේ නැත.ඒ අදහස ගැන එතරම් උනන්දුවක් නැති බව පෙන්වා සිටීමේ ව්‍යාජ උත්සාහය ඔවුන් අතැර දැමුවේ කපිතාන් කෙලින්ම මාතෘකාවට බට හෙයිනි.

" අපේ යානය නම් කර ඇත්තේ 'Survival' නොහොත්  'දිවි පැවැත්මේ යානය' ලෙසයි. ඒ ඇයි කියා ඔබ සැම දන්නවා ඇති".

   "පෘතිවියේ සිටින අපේ අවශේෂ මිතුරන්, නෑ සියන් හා අනෙක් අයත් සිතන්නේ ඔවුන් එය දන්නා බවයි.ඔවුන් සිතන්නේ,යානය එසේ නම් කර ඇත්තේඑහි ඇති කෘතිම ගුරුත්වය ඇතුලු  දහසකුත් එකක් ඉන්ජිනේරු විස්කම් නිසා බව. ඒ වගේම ඔවුන් දන්නවා කාන්තා හා පිරිමි දෙපාර්ශවයම  ඉන්නා   නිසා, යානා කාර්ය මන්ඩලය සැමදා නියත අගයක් නොගන්නා බව."

     කුටිය පුරා විසිරී ගිය කුටිය පුරා විසිරී ගිය සිනා  හඬ මැද කපිතාන් නොනවත්වා තම කතාව කරගෙන ගියේය.

               " නමුත්.... ඔවුන් නිසැකවවම නොදන්නේ කාර්ය මන්ඩලයේ සිටින ගැහැනුන් හා පිරිමින් සංඛ්‍යාවයි."

                        "ඒ රහසට හේතුව ඔබ නම්  දන්නවා ඇති. ඒ නම් IV වන ලෝක යුද්ධයෙන් පසුව ඇති කර ගත්තාවූ සාම ගිවිසුම් වලට අනුව, පෘතුවියේ ස්ථාපනය කළ සදාචාරාත්මක ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් ක්‍රම වේදයක්, මේ ඓතිහාසික ගවේශණය සඳහා, අපගේ මව් සංවිධානය විසින්, අනුගමනය කරනු ලැබීමයි.ඒ වගේම ඔබ දන්නවා ඇති, මේ දෑවැන්ත ව්‍යාපෘතියේ නිර්මාතෘවරු, කොපමණ අරගලයක් කළාද කියා මෙම ව්‍යාපෘතිය ඉහල නිලධාරින් ලවා අනුමත කරවා ගැනීමට".

            "අවසානයේ, එය අනුමත වුනේ,ඉහලම මට්ටමේ ආගමික නායකයින් අපේ මේ කුඩා විශ්වය, පොලොවේ තත්වයන්ට වඩා හාත්පසින් වෙනස් බවත්,ගැහැනු හා පිරිමි ලිංගිකයන් ගේ යෝජනා කළ බෙදීම, යානාවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බවත් වටහා ගත් නිසයි."

                          කපිතාන්, තමාගේ අවසන් වදන් කිහිපය, අසන්නන්ගේ සිත්වල තැන්පත් වීමට සලස්වා  ඔවුන්ගේ මුහුනුවල ඉරියව් අධ්‍යයනය කළේය.පෘතුවියේ සාමාජීය හා ආකල්පමය තත්වයන්ට වෙනස් ලෙස හැසිරීමට පුහුනු කල වසරක කාලයකින්  පසු පවා, කපිතාන් ගේ මෙම පෞද්ගලික හා රහස්‍ය කරුණු ගැන   විවුර්ත සාකච්චාවට ඇහුම් කන් දුන් සමහරකුගේ මුහුනු රතු වී, ලැජ්ජා සහගත හිනාවන් තැවරී තිබිණ.

   "ඔබ දැන ගත යුතුයි. මේ එකඟ වීමට පදනම් වූයේ අපේ ලොව ප්‍රධාන ම හා ඉතාමත් වැදගත් සේ සැලකෙන මූල ධර්මය මතයි.


         "සෑම සදාචාරාත්මක ගැහැනියක ගේ හා පිරිමියෙකු ගේ පරම යුතුකම, තම වර්ගයා ගේ පැවැත්මට උපකාරී වීම වේ."

 කපිතාන්, ඔලිව් අත්තක සළකුණ තමා ඉදිරි පිට හිස් අවකාශයේ ලකුණු කළේය.ඒ හා සමගම, රතු වූ මුහුනු වල තිබූ සබකෝලය අතුරුදහන් විය.

     "අප සැම අනුගමනය කිරීමට සැලසෙන මේ නව ජීවන රටාවට, අපේ රාජ්‍ය තන්ත්‍රයෙන් පූර්ණ අනුමැතිය ලැබී ඇති බව අප කිසි දා අමතක නොකළ යුතුයි.   

  පොලොවේ දී අප වර්ගයා ගේ පැවැත්ම රඳා පැවතුණේ ශක්තිමත් පවුල් සබඳතා නිසයි.   Survival තුල ක්‍රියාත්මක වීමට නියමිත, අසාමාන්‍ය ජීවන රටාව, මහජනයාට දැන ගැනීමට සැලැස්වීමෙන්,ඒ පවුල් සබඳතා වලට හානි වීමට සැලැස්වීම  ඥාණවන්ත ක්‍රියාවක් ලෙස ඔවුන් සිතුවේ නෑ.  'විසි දෙනා හා සිව් දෙනා' යන යෙදුමේ සැබෑ අරුත පොලෝ  වැසියන් දන්නවා නම්, එය , බොහෝ ගැටලු සහගත සාකච්ඡා  හා තර්ක විතර්කවලට බඳුන් වන මාතෘකාවක් වනු පමනක්  නොව,අවසන, එය පොලොවේ හා අපේ පැවැත්මට ද එක සේ බාධාවක් වනු ඇත. 



                       "මෙම යානයේ විසි දෙනෙක් එක් වර්ගයක ලිංගිකයනුත්, සිව් දෙනෙක්, විරුද්ධ ලිංගිකයනුත් සිටින අතර,සාමාන්‍ය පවුල් පද්ධතියකට පරිබාහිරව අසම්මත යැයි සැලකෙන, සමාජ චාරිත්‍රවලට අනුකූලව දරුවන් ඉපදීමත්, ඔවුන් හවුලේ හදා වඩා ගැනීමත් සිදුවන බව ඔවුන් දන්නවා නම් එය මෙතෙක් ඔවුන් තරයේ ඇදහූ සමාජ සම්මතයන්ට කොතරම් හානිකර වේවිද"?

               මෙල්නික් අතක් ඔසවා, කාමරය පුරා විහිද යන මූනු මුනුව නැවතීමට සන් කළේය.

                         " සිව් දෙනා මෙහි පැමිනීමට පෙර, ඔබට මෙය පැහැදිලි කල යුතුයි".

        "ගැටලු ඇති විය හැකි යැයි සිතෙන මුල් කාල වකවානු තුල ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි හැ‍ඟෙන දළ සැකැස්මක් මා පිලියෙල කර තිබෙනවා."

                " පසුව හයදෙනා බැගින්- ඔවුන්ගෙන් කෙනෙකුත්, අපෙන් පස්දෙනෙකුත්- කාංඩ කර ඔවුන්ට ස්ථීර වාසස්තාන සැපයෙන සැපයෙන අතර ඒවා තුල සැහෙන දුරකට තම තමන්ට රුචි පරිදි ක්‍රියා කිරීමට එක් එක් කන්ඩායමට ඉඩ ලැබෙනවා ඇති.නමුත් එතෙක්,ඔබ එකිනෙකා වඩාත් හොඳින් හඳුනා ගැනීමට ක්‍රමයක් සකස් කර තිබෙනවා.

 ම්ම්ම්.... මම ඒකට dating schedule එකක් කියල කියන්නද "?

 පාලන කුටිය තුල තිබූ තිගැස්ම, සිනාවෙන් පිට කිරීමට ඉඩ දෙමින්, කපිතාන් නැවතත් මඳක් නිහඬ විය.

 " ඊලඟ මස තුල ඔබට විවේක ඇති වෙලාවට , පහසු ලෙස, ඔබ එකිනෙකාට, ඔවුන් එකිනෙකා සමග නිදහසේ කාලය ගත කිරීමට ඉඩ ප්‍රස්තා ලැබේවි. ඒ කාලයෙන් පසුව සමහර විට අපිට නිශ්චිත කන්ඩායම් ‍තෝරන්න හැකි වෙයි. එහෙම නැත්නම් ඒ සඳහා අපට තව වැඩිපුර කාලයක් ඕනෑ වේවි".


        " ඇත්තෙන්ම, කන්ඩායමේ අනුගතය ගැන හුඟක්ම තෘප්තිමත් වන තෙක්, මාතෲ කාල සටහන් ක්‍රියාත්මක කිරීමට මගේ කිසිම අදහසක් නෑ.දැනට, මා පවසන දේ, තරයේ මතක තබා ගන්න".

                 "අපි, ඔවුනට වඩා සංක්‍යාවෙන් වැඩි වා පමනක් නොව,අප වඩා ශක්තිමත් හා සාමාජීයව වඩා වාසනාවන්තයි.ඔවුන් සිව් දෙනා අප සැමගේ පරම වගකීම බව අප සැම විටම සිහි තබා ගත යුතුයි.එසේ වනුයේ, අප වඩා ශක්තිමත්, වැඩි ආයු කාලයක් ඇති, වේදනා හා ලෙඩ දුක් හොඳින් දරා ගත හැකි, හුදකලා දිවියක මතුවන ගැටලු මානසිකව වඩාත් හොඳින් අත් විඳිය හැකි අය නිසයි. නැතහොත් හුදෙක් අප දරුවන් බිහි කරන්නියන් නිසාම නොවේ".

බැරෑරුම් නිහඬතාවක් මැද කපිතාන් ගේ කට හඬ පාලන කුටිය පුරා ‍රැව් දිණ.

"ලුතිනන් ජොන්සන්." කපිතාන්, දොර අසල සිටි, රන්වන් පැහැ හිසකේ හා හිරු ‍රැසින් දුඹුරු වුන සමක් ඇති කාන්තාව ඇමතීය.


   "තාමත් වැඩ කරන පිරිමි හතර දෙනාට එන්න කියන්න.කෑමෙන් පසුව ඔවුනට ඉතිරි වැඩ ටික ඉවර කල හැකි  වේවි". 





A translation of the short story "Survival Ship" by Judith Merril.

















Friday, July 26, 2013

කාලයේ හුටපටය - Trouble with Time






















 මේ මගේ පලමු හා එකම රහස් පරීක්ෂක කතාවයි. මෙම කෙටි කතාවට අදාල ගැටලුව අඟහරු ලොවේ ඇති ප්‍රධානම ගැටලුවලින් එකක් නොවුනත් මෙයට විසඳුමක් ලෙස මෙරිඩියන් නගරයෙන් ඉඩම් මිලදී ගැනීමෙන් වැලකී සිටිනවා ඇරෙන්නට වෙන කළ හැකි කිසිවක් නැත.
                " අඟහරු ලෝකෙ වැඩිය අපරාධ නෑ. " රහස් පරීක්ශක රෝලිංස් කීවේ තරමක දුකිනි.  "ඇත්තෙන්ම මම අපහුස්කොට්ලන්ඩ් යාඩ් එකට යන හේතුවත් ඒක තමා.මෙහෙ හිටියොත් දන්න දේත් අමතක වෙලා යනවා."

 අපි, Phobes අභ්‍යවකාශ තො‍ටුපලේ ප්‍රධාන නිරික්ශන කුටියේ සිට, ,කුඩා චන්ද්‍රයාගේ, හිරු ‍රැසින් නෑවුන කඩතොලු කඳු ශිඛර දෙස බලමින් අසුන්වල ගිමන් හරිමින් සිටියෙමු.

අපව අඟහරු ලොවෙන් Phobes වෙත ගෙන ආ මගී රොකට්‍ටුව විනඩි දහයකට පෙර නැවත අඟහරු බලා පිටත් වූ අතර තව පැය භාගයකින් මෙහි සිටින මගීන් බොහෝ දෙනෙක්  දැක නැති නමුත්, තවමත් තම නිජබිම ලෙස සලකන පෘථිවියට යාම සඳහා ,අප සැම යානාවකට ගොඩ වදිනු ඇත.

" වෙනසකටත් එක්ක ඉඳ හිට ගැටලු ඇති වෙනවා. මේ  මැකා  මහත්මයා, කලා කෘති එකතු කරන්නෙක් නේද?මම හිතනවා දැනට මාස කිහිපයකට කලින්  මෙරිඩියන් වල වුන කළබගෑනිය ඔබ දන්නව ඇති කියල."

" නෑ. මම දන්නෙ නෑ." තරබාරු, දුඹුරු සමක් ඇති, මා නගරයට පැමිනුන තවත් සංචාරකයෙකු යැයි සිතූ කුඩා මිනිසා පිලිතුරු දුන්නේය.රහස් පරික්ශක රෝලිංස් දැනටමත් මගී ලැයිස්තුව පිරික්සා ඇති. ඔහු මා ගැන කොපමණ දන්නවා ඇතිදැයි මම කල්පනා කළෙමි.මගේ  හෘද සාක්ෂිය  පිරිසිදු යයි සිතා සිත සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළෙමි.කෙසේ නමුත් අඟහරු ලොවට පැමිනෙන හැමෝම අඟහරු රේගුවෙන් කුමක් හෝ දෙයක් හොරෙන් ගෙන යති.
                                                                 
                   " දැනට කේස් එක යට ගහලා තියෙන්නෙ.නමුත් ඕවා හැමදාම  හංගල තියන්න බෑනෙ.     පෘථිවියේ ඉඳන් ආපු මැනික් හොරෙක්, මෙරිඩියන් කෞතුකාගාරයෙ තියෙන අගනාම වස්තුව, සිරියන් දෙවඟන " හොරකම් කරන්න හැදුවා." රහස් පරීක්ශක කීය.

" ඒක නම් මහ විකාරයක්. මිල කළ නොහැකියි කිව්වට ඒක නිකම නිකං ගල් කෑල්ලක් විතරයි.කිසි කෙනෙකුට විකුනන්න බෑ. අන්න මොනාලීස වගේ දෙයක්  හොරකම් කලා නම්  තව කමක් නෑ. "

             රෝලිංස් විරිත්තීය. " නමුත් සමහර කලා කෘති එකතු කරන්නන් ඉන්නවා ඒ වගේ දේකට තමන්ගෙ මුලු වස්තු සම්භාරයම වුනත් දෙන.ඒගොල්ලන්ට ඒකෙ ප්‍රයෝජනය ගැන තැකීමක් නෑ.ඕනෙ දුර්ලභ දේ එකතු කරන්න විතරයි. ඔබ මොකද ඒ ගැන කියන්නෙ මැකා මහත්මයා?

 " ඒක නම් සම්පූර්ණ ඇත්ත. මමත් එකඟ වෙනවා ඔබේ කතාවට. මේ බිස්නස් එකේදි මට අමුතුම ජාතියෙ මිනිස්සු මුණ ගැහිල තියෙනවා."
           " මේ ඩැනී වීවර් කියන හාදයට හොරකම කරන්න හොඳට ගෙවල තියෙනවා.එයා කොහෙත්ම නොසිතුව ඉතාමත් අවසනාවන්ත, පොඩි අත් වැ‍රැද්දක් නිසා මිසක් නැත්නම් මෙලහකටත් ඒක ඩැනී අතේ."
                          
                     අභ්‍යවකාශ  තො‍ටුපලේ ශබ්ද  විකාශන  පද්ධතියෙන්       අවසාන ඉන්ධන පිරික්සීමක්  නිසා වුන පමාවට කගාටුව ප්‍රකාශ කරන අතරතුරේදී මම සිරියන් දෙවඟන ගැන මම දත් දේ සිහි කලෙමි.මුල් කෘතිය දැක නොතිබුනත්, අනෙක් හැම සාමාජිකයෙකු මෙන්ම මගේ ගමන් මල්ලේත්, ක්‍රි. ව.2012 දී තෙවන ගවේශණ කන්ඩායම Mare Sireniyum පෙදෙසේදී සොයා ගත්, සිරියන් දෙවඟන ගේ අනුරුවේ නිවැරදි කොපියක් බවට සනාථ කරමින්, අඟහරු ලොව පුරා විද්‍යා කාර්යාංශයේ මුද්‍රාව සහිතව ලබාගත් පිලිරුවක් තිබිණ.

               එපමණ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුවත් එය අඟල් 8ක් හෝ 9 ක්පමන උස, පෘථිවියෙදී දු‍ටුවොත් කිසිවෙක් දෙවරක් නොබලන ඉතා කුඩා වස්තුවකි.දිගු, තරමක් එල්ලෙන කන්, හිස් කබල කිට්‍ටුවෙන් මුදු මෙන් කැරලි ගැසී ඇති හිසකේ,සතුටෙන්ද විශ්මයෙන්ද යයි විස්තර කල නොහැකි හැඟීමකින් මඳක් විවර වුන දෙතොල් සහිත පෙරදිග කාන්තා ස්වරූපයක් ගත් ගැහැනු හිසකි.

                      නමුත් එය කොපමණ ආන්දෝලනයකට තුඩු දුන්නාද කිවහොත් ඒ මත පිහිටා ආගමික නිකායයන් සිය ගනනක් බිහි වූ අතර පුරා විද්‍යාඥයින් කිහිප දෙනෙක් පිස්සු වැට්ටීමට තරම් සමත් විය.එයට හේතුව ලෙස දැක්විය හැක්කේ අඟහරු ලොවේ සන්ධි පාදකයින් හැරෙන්නට වෙනත් බුද්ධිමත් ජීවින් නොසිටි නිසාය. එබැවින් අඟහරු ලොව කැනීම්වලින් අංග සම්පූර්ණ මිනිස් හිසක් හමුවීම කෙසේවත් විද්‍යානුකූලව සාධනය කළ නොහැකි විය.

                           ආදි අඟහරුවන්ට අභ්‍යවකාශ තරණය කිරීමේ හැකියාව නොතිබිනි.එසේම මීනිසා පෘථිවිය මතුපිට බිහි වීමටත් ප්‍රථම මුල් අඟහරු ජීවීන් එලොවින් තුරන් විය.සිරියන් දෙව්දුව සූර්ය ග්‍රහ මන්ඩලයේ ග්‍රහ ලෝක අතර ප්‍රධානම අභිරහස වුනේ ඒ නිසයි. මේ අභිරහස කවදාක හෝ විසඳනු ලැබීමට ඉඩ තිබුනත්, එය මගේ ජීවිත කාලයේ දී නම් නොවන බව දනිමි.

                  " ඩැනීගේ සැලැස්ම බොහොම සරලයි." රහස් පරීක්ශක රෝලිංස් දිගටම කතා කරගෙන ගියේය."ඕගොල්ලො දන්නවා ඇතිනෙ අඟහරු ලෝකෙ හැම නගරයක්ම ඉරිදට කොච්චර නිශ්ශබ්ද ද  කියලා.හැම සාප්පුවක්ම වහලා ජනපදිකයින් ගෙවල්වලට වෙලා ඉන්නවා පෘතුවියෙන් එවන රූපවාහිනී විකාශය නරඹන්න. ඩැනී තමන්ගේ හොරකම ප්ලෑන් කලේ මේක හිතේ තියා ගෙනයි.ඔහු බටහිර මෙරිඩියන් නගරයේ හෝටලයක කාමරයක් බුක් කරගෙන සිකුරාදා හවස නැවතුනා. ඔහු හිතා ගත්තේ සෙනසුරාදාට ගිහින් කෞතුකාගරය හොඳින් නිරීක්ශණය කරන්න.ඉරිදට සේරම මිනිස්සු තම තමන්ගෙ ගෙවල්වල නිසා කරදරයක් නැතුව වැඩේ කෙරුවහැකි.සඳුදට එයා නගරයෙන් පිටවන තවත් එක සංචාරකයෙක් විතරයි."

                   ප්ලෑන් කරපු විදියට, එයා සෙනසුරාදා උදේ පාක් එකේ පොඩි රවුමක් දාල ඒ ලඟම තියෙන නැගෙනහිර මෙරිඩියන් නගරයට ගියා ක‍ටු ගේ බලන්න.මෙරිඩියන් ඊස්ට් එකට ඒ නම ලැබුනෙ ඒක හරියටම දේශාංශ  180 පිහිටල තියෙන නිසා.පාක් එක මැද ලොකු  පැතලි ගල් ලෑල්ලක් තියෙනවා prime meridiyan කියා  කොටල  තියෙන. නගරයට එන සංචාරකයින්ට එකවර අර්ධ ගෝල දෙකක පය තියාගෙන තමන්ගෙ පොටෝ එකක් ගත්තෑකි.පුදුමයි නේද, මිනිස්සු ආස කරන දේවල්?"

              " ඩැනී, තමන් ගෙවූ මුදලට උපරිම දෙයක් දැන ගන්න උත්සාහ කරන අනෙක් හැම සංචාරකයෙක් වගේම, මුලු දවසම ක‍ටු ගේ නරඹමින් ගත කලා. නමුත්, ක‍ටු ගේ වහන වෙලාවට ඔහු එයින් පිටවුනේ නෑ. මුදල් නැතිකම නිසා බාගෙට වැඩ නවත්තල තිබුනු, මිනිස්සුන්ට විවෘත නොවුන ගැලරියක හැංගිලා හිටියා ගොඩක් රෑ වෙනකල්.එහෙම හිටියෙ කෞතුක වස්තු ගැන පර්යේශණ කරන කෙනෙක් බාගදා රෑ වෙනකල් ක‍ටු ගෙයි වැඩ කරන්න ඉඩකඩක් තිබුන නිසා.කවුරුවත් ක‍ටු ගෙයි නෑ කියල සැක හැර දැනගත්තට පස්සෙ ඩැනී ඉන් එලියට ආවා.

"පොඩ්ඩක් ඉන්න." මම ඔහුට බාධා කලෙමි. 

 " කෝ එතකොට ක‍ටු ගෙයි මුරකාරයො?"

රහස් පරීක්ශක සිනාසුනේය.
                        "උඹට තේරුනේ  නැද්ද කොල්ලො?  අඟහරු වල ඒ පහසුකම් නෑ. අඩුම ගානෙ ක‍ටු ගෙට එලාම් එකක්වත් නෑ. මේ නිකම්ම නිකං ගල් කුට්ටියක් හොරකම් කරන්නෙ කවුද? "දෙවඟන" ව සීල් කරපු ලෝහ හා වීදුරු කුටියක දාල තියෙනව  තමයි.එහෙම තියෙන්නෙ බැරි වෙලාවත් අඟහරුවලට එන සංචාරකයෙක් ඒකට බැල්ම දාවි කියල.එහෙම ගත්තත් හොරාට හැංගෙන්න තැනක් නෑ.පිලිරුව නැතිවුනා කියල දැන ගත්ත ගමන් නගරයෙන් පිටවන හැමෝවම පරීක්ශා කරාවි."

                           එය සත්‍යයකි. අඟහරු නගරවල ස්වභාවය,පෘථිවියේ ඒවාට වඩා හාත්පසින්ම වෙනස් බව මට අමතක විය.අඟහරු මත ඉදිවී ඇති හැම නගරයක්ම, ගල් වෙන තරමේ සීතලක් ඇති රික්තකයකින් ආරක්ෂා වනු වස් යෙදූ විදුලි ක්ශේත්‍රයකින් වෙන් වෙන්ව ආවරනය  වූ ඒවාය.මේ මිනිසා තැනූ විදුලි ක්ශෙත්‍රයන්ට එහා, ආරක්ශක උපකරණ හා ඇඳුම් නොමැති යමෙක් තත්පර කිහිපයකින් මැරී වැටෙන තරමේ,දරුනු,  මිනිසාට පසමිතුරු, කුරිරු,අඟහරු ලොව  ශූන්‍ය අවකාශය පැතිර ගියේය.

         

              එබැවින් මෙහි අපරාධ අඩු වීම ගැන පුදුම විය යුතු නැත.

                         " ඔරලෝසු හදන මිනිස්සු ලඟ තියෙනවා වගේ, මේ වැඩේටම හදා ගත්තු සුපිරි ආයුද ටිකක් මිනිහ ලඟ තිබුනා.වැදගත්ම ආයුදේ තමයි ක්ශුද්‍ර  කියත (micro saw).පවර් පැක් එකකින් වැඩ කරන, තත්පරයට රවුම් මිලියනයක් විතර කැරකෙන, ගොඩක් තුනී, ඒ වගේම ඉතාම තියුනු තලයක් තියෙන ඒ ආයුදේ ලෝහ වේවා, වීදුරු වේවා කපාගෙන යන්නෙ හරියට බටර් වගේ.කැපුමෙ ගනකම කෙස් ගහකට වඩා වැඩි වෙන්නෙ නෑ.
කැපුමේ ගනකම ඉතාමත් සියුම් වූ තරමට එය එලිවිය හැකි  අවස්ථාද අඩු නිසා ඩැනීට තම හොරකම අන්‍යයන්ගෙන් වසන් කිරීමට ඇති තරම් කාලය ඇත.

                                "මම හිතන්නේ දැන් ඔබ දන්නවා ඇති ඩැනී කොහොමද වැඩේ කලේ කියල.  මුලින්ම ප්‍රතිමාව තියෙන කැබිනට් එකේ  පතුල කපලා හිමින් සීරුවෙ නියම දෙවඟන රූපය එලියට අරගෙන ඒ වෙනුවට හොර කොපිය ඇතුලෙන් තිබීම ඩැනී ගෙ අරමුණ වුනා.කවුරු හරි පුරා විද්‍යාඥයෙක් කලෙකට පස්සෙ හොයා ගත්තොත් මිසක් කිසි කෙනෙකුට නියම රූපයේත්, කොපියේත් වෙනස හොයන්න බෑ.එතකොට ඉතින් නියම පිලිරුව, ඒක නිවැරදි කොපියක් කියල අඟහරු ලෝකෙන් දුන්න සහතිකේකුත් එක්ක පෘථිවියට ඇවිල්ල ඉවරයි. නියමයි නේද ප්ලෑන?


                    මේ ක‍ටු ගෙයි දෙවඟන ඉන්න ගැලරිය හරිම හිත කීරි ගස්සන සුලුයි.විශේශයෙන්ම එතන කට්ට කලුවරේ, වසර දහස් ගනනාවක් පැරනි කලා කෘති,කැටයම් හා මූර්ති අතර ඉඳිමින් අඳුරු ගැලරියේ වැඩ කරන එක නම් ඩැනීට මහ අමුතු අත්දැකීමක් වෙන්නැති.පෘථිවියේ වුනත් ක‍ටු ගෙයක් රෑට අද්භූතයි.නමුත් අඩුම ගානෙ ඒකෙ තියෙන්නෙ මිනිස් රූප. නමුත් අඟහරු ලෝකෙ ක‍ටු ගෙයි දෙවඟන ඉන්න ගැලරිය ඒකෙ තියෙන අද්භූත පෙනුමක් ඇති, අඬු ගොඩක් තියෙන යෝධ කුරුමිනි සතුන් කා කොටා ගන්න කැටයම් නිසා ඒලියන්ස් ල ඉන්න තැනක් වගේ.

                      අඟහරු ලොවේ කෘමි විශේසඥයො කියන්නෙ එහෙම ජාතියෙ සතුන් නම් කවදවත් හිටියෙ නෑ කියල.මනකල්පිත වුනත් නැතත්, ඒ සතුන් සියල්ලම ඩැනී හා දෙවඟන  ජීවත් වූ මේ අපූරු ලෝකයට අයත් වූ දේවල්.ඩැනීට ඒවා පෙනුනේ හරියට කාලයේ වැලිතලවෙන් මතුව ආ දිය උල්පහක් සේ දෙවඟන ඔහුට අභියෝග කරමින් සිටින ලෙසයි.ඔහුගේ ඇ‍ඟේ හිරිගඩු  පිපුනා දෙවඟන රුව දෙස බලන විට!


                                   ඉතින්   දියමන්ති කපන්නෙක් අගනා මැනිකක් ඔපමට්ටම් කිරීමට සැරසෙන සේ ඩැනී සීරු මාරුවට වැඩයට අවතීර්ණ වුනා.‍රැයෙන් වැඩි කාලයක් ගත වුනේගැලරියට ඇතුලු වීමට තිබූ  දොර කපා ඉවත් කිරීමටයි.

                                ඒ වැඩේ නිමවන විට උදේ පාන්දර වෙලා.තවත් ගොඩක් දේ කිරීමට තිබුනත්, අමාරුම හරිය නිමකල නිසා ඩැනීගේ සිතට සතුටක් හා සැහැල්ලුවක් දැනුනා.දෙවඟන ආරක්ශාකාරී විදුරු කුටියෙන් පිටතට ගෙන තමන් ගෙන ආ බොරු දෙවඟන රූපය වීදුරු කුටියට දමා නියම ආනතියකින් හා වීදුරු කුටියේ සිට නියම දුරකින් පිහිටවන්නටත් ඔහු උත්සුක වුණා.තමන් තැබූ සලකුණු සියල්ලම මකා දැමීමට ඉරිදා දවසින් වැඩි කාලයක් ගතවිය හැකි වුනතේ ගැන ඔහු කලබල නොවුනේ වැඩය නිම කිරීමට තවත් දවසක් ඔහුට තිබුන නිසයි.සඳුදා දවස වන විට ඔහුට ක‍ටුගෙය නැරඹීමට එන සංචාරකයින් සමග  මිශ්‍ර වී කාටත් හොරා ඉන් පිටවිය හැකියි.   ඉඳින්,ක‍ටු ගෙයි දොරවල් හරියටම 8.30 ට විවෘත වෙලා කාර්ය මංඩලයෙ හයදෙනාම දවසේ කාර්යයන් සඳහා වාර්තා කිරීමට ඇතුලු වීම දැනීට දරාගත නොහැකි කම්පනයක් නොවන්නේද? ඩෑනී  දඩිබිඩි ගාලා හදිසි දොර‍ටුවෙන් එලියට  පැනගත්තේ  දෙවඟන රූපය, ආයුධ හා ඉතිරි හැමදේම ක‍ටු ගෙයි දමා යමින්.

  ඔහු මහ මගට ආවිට දැක්කේ තවත් ඇස් නිලංකාර වන දෙයක්.


                         ඉරිදා දවසේ  තම නිවෙස්වලට වී පුවත්පත් කියවමින් කාලය ගතකරන මිනිසුන් නිසා පාලුවට යායුතු මං මාවත්,සාමාන්‍ය දිනයක ලෙස ජනයාගෙන් පිරී පැවතුණා.

                   අසරන ඩැනි හෝටලයට එන විට අපි එයාව පිලිගන්න ලෑස්ති වෙලා හිටියෙ.නමුත් ඔහුව අල්ලාගැනීම ගැන අපිට එතරම් පුරසාරම් කිව නොහැක්කෙ, පෘථිවියෙන් අඟහරු ලොවට ලඟදි පැමිනුන සංචාරකයෙකුට හැරෙන්නට වෙන කිසිවෙකුට ඒ තරම් ප්‍රසිද්ධ දෙයක් අමතක නොවෙන නිසයි.ඔබ එය දන්නවා නේද"?

                ඇත්තෙන්ම මම දන්නෙ නෑ." මම පිලිතුරු දුනිමි."සති හයකින් අඟහරු ලෝකෙ හැම තැනම නරඹන්න බෑනෙ."

                  " සිද්ද වුනු දේ බොහොම සරලයි.අපි අහිංසක ඩැනීට අනුකම්පා කරන්න ඕනැ.මොකද ඉඳල හිටල ස්වදේශිකයොත් මේ උගුලට අහුවෙනවා" .





      


                           " ඩැනි හොරකම සැලසුම් කලේ බටහිර මෙරිඩියන් වල ඉඳලා.ඩැනී ක‍ටු ගෙයි හොරකම කරද්දි එහි ඉරිදා තමයි.එයා හොරකම කරලා හෝටලේට යනකොටත් එහෙ ඉරිදා දිනේ ගෙවිලා ඉවර නෑ.
 නමුත්, හැතැම්ම බාගෙකට එහා තියෙන නැගෙනහිර මෙරිඩියන් වල එතකොට දිනේ සෙනසුරාදා".

              " ඩැනී පාක් එක හරහා හැතැම්ම බාගයක් ඇවිදලා ක‍ටු ගෙට යනකොට එයා එක අර්ධ ගෝලෙකින්  තව අර්ධ ගෝලෙකට මාරු වෙලා ඉවරයි.ඒක නම් බොහොම අවාසනවන්ත සිදුවීමක්".

                ඩැනී වෙනුවෙන් ඇතිවුන අනුකම්පාසහගත සිතිවිලිවල කිමිදෙමින් සිටි නිසාදෝ, බොහෝ වේලාවක් යනතුරු කිසිවකු කතා නොකලහ.

 "මොකද්ද එයාට ලැබුන දඬුවම"?
                මම මඳ වේලාවකින් විචාලෙමි.

         "අවුරුදු තුනක්. " රහස් පරික්ශක පැවසීය. 

 "ඒක නම් එච්චර බරපතල නෑනෙ."

  "අඟහරු ලෝකෙ අවුරුදුතුනක්කියන්නෙ පෘථිවියෙ නම් අවුරුදු හයක් විතර. 
   ඒවගේම අහඹුවක්වගේ  එයාගෙ රිටර්න් ටිකට් එකට  සමාන වුන  ලොකු දඩයක්ගෙවන්නත්වුණා. හැබැයි  එයා ඉන්නෙ හිරේ නෙමේ. මම ඔයාලට කිව්වනෙ මෙරිඩියන් වල ක‍ටුගෙට රාත්‍රි මුරකාරයෙක් නෑ කියල. දැන් එක්කෙනෙක් ඉන්නවා.හිතාගන්න පුලුවන් නෙ කවුද කියල.එයා අඟහරු ලෝකෙ ජීවත් වෙන්න නම් ‍රැකියාවක් කල යුතුයි. අධීක්ශණයක් යටතෙ ඩැනී තමන්ගෙ හිර දඬුවම   ගෙවනවා. 


                    "සියලුම මගීන් තමන්ගේ ගමන් මලු අරගෙන විනාඩි දහයකින් යානයට නැගීමට සූදානම් වන්න. "ශබ්ද විකාශන යන්ත්‍රය හඬ තැලීය.

               අප සැම ගමන් මලු අතැතිව air lock එක දෙසට ඇවිද යනවිට මට තවත් ප්‍රස්නයක් නො අසා බැරිවිය.

             "ඩැනීව හොරකමට යොදවපු මහ මොල කාරයව හමු වුනාද?"

 "තවම නෑ. එයාල සේරම සළකුණු මකලා.ඩැනී කිව්වා හොරකමට කොන්තාතෘව ලැබුනට එයා ගැන මුකුත් දන්නෙ නෑ කියා. මමත් විශ්වාස කරනවා ඩැනි කිව්වෙ ඇත්ත කියල."

 " මේ මගෙ කේස් එකක් නෙවෙයි. මම ආපහු පෘතුවියට යනවා. නමුත් පොලිස්කාරයෙක් නිතරම ඉන්නෙ තමන්ගෙ වටපිටාව ගැන විමසිල්ලෙන්, හරියට ඕනෑම මොහොතක ඩැහැ ගන්න පුලුවන් කලා කෘතියක් ගැන ගිජු ලිහිණියෙක් වගේ විමසිල්ලෙන් ඉන්න කළා කෘති එකතු කරන්නෙක් වගේ.එහෙම නේද මැකා මහත්මයා"?  

 " ආ, මොකද, ඔබ නිකම් අසනීපෙකින් වගේ? මං ගාව තියෙන space sickness පෙත්තක් දෙන්නද"?

"එපා. බොහොම ස්තූතියි. මම හොඳින්. " මැකා මහතා පිලිතුරු දුන්නේය. 
   ඔහුගේ ස්වරයේ ලා නොරිස්සුම් බවක් තැවරී තිබිනි.

               ගෙවී ගිය මිනිත්තු කිහිපය තුල එකිනෙකා හා දොඩමළු වූ මගීන් ගේ සුහදශීලීත්වය නැත්තටම නැතිව ගියා සේය. මම මැකා මහතා දෙසත් රහස් පරීක්ශක දෙසත් මාරුවෙන් මාරුවට බැලීමි.

 එක්වරම, මේ සියළු දෙනා එක්ව පෘථිවිය බලා යන චාරිකාව ඉතාමත් සිත් ගන්නා සුලු, කුතුහලයෙන් පිරුන එකක් වන බව වටහා ගතිමි. 


                       ( Phobos  යනු අඟහරු ලොවේ ඇති ප්‍රධාන හඳවල් දෙකෙන් එකකි. Phobes  යනු  කතාවේ ලෙස   ඒ චන්ද්‍රයා මතුපිට ඉදි වී  ඇති    අභ්‍යවකාශ  තො‍ටුපලකි.)



පසු වදන

ආතර්.සී. ක්ලාක් ගේ " Trouble with Time"  යන කෙටි කතාවේ පරිවර්තනයකි. 

 අනාගතයේ මිනිසා අඟහරු ලොව ජනාවාස සෑදිම අළලා මෙම කතාව ගෙතී ඇත.මෙම කෙටි කතාව ඔහු ලියා ඇත්තේ 1960 ය. පලමු සඳ තරණය 1969 දි වුනත් ඒ වනවිට මිනිසා අභ්‍යවකාශය ජය ගෙන තිබූ නිසා තවත් වසර පනහක කාලයක් ඇතුලත මිනිසුන් සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක තරණය කරාවි යන්න උපකල්පණය කරමින් කතාව ලියවී ඇත.  





                  සුපුරුදු ලෙස ඔබේ යෝජනා, අදහස්, වෙනස් විය යුතු තැන්  ගැන දැන ගන්න කැමතියි. Dude, come on. Do your best!


 

Wednesday, June 26, 2013

හරිත දෑත්




 සුරොව් හඳුනා ගැනීමට නොහැකි වීම ගැන මට කනගා‍ටුවක් දැනෙනුයේ ඔහු හා ඇසුරක් ඇති කර ගැනීමට මින්පසු කෙදිනක හෝ ඉඩක් නොලැබෙන නිසාය.මට මතක හැටියට ඔහු අවබෝධ කර ගත හැකි වුවත්      සංවාදයේ යෙදීමට තරම්  ඉංගිරිසි දැනුමක් නොතිබුනු  කුඩා නිහඬ මිනිසෙකි.ඔහුගේම මිතුරන්ට වුවද ඔහු තරමක ප්‍රහේලිකාවක් විය. මම සියොල්කොව්ස්කි  යානාවට ගොඩ බට හැමවිටමකිසිවෙකුට තම පෞද්ගලිකත්වය ‍රැක ගැනීමට අපහසු  අභ්‍යවකාශ   යානයක් තුල පවා තම සටහන් පිරික්සමින් හෝ අන්වීක්ෂයකට එබෙමින් තමාගේම ලෝකයක ගොනු වී සිටින ඔහු දැකගත හැකි විය.    

                                   ඔහු සමග වැඩ කල සෙස්සෝ එය එතරම් අරුමයක් ලෙස නොසැලකූහ.නමුත් ඔවුන් ඔහු සමගකතා කල ස්වරයේ එක්තරා ලබැඳියාවක් හා ගරුත්වයක් තිබිණි.
     එය එතරම් පුදුමයට  කරුණක් නොවූයේ, උත්තර ධ්‍රැවයේ ඉවසිය නොහැකි, ක‍ටුක, සීතල පරිසරයකට පවා ඔරොත්තු දිය හැකි පැලෑටි හා ශාක වගා කිරීමෙන්,රුසියාවේ ඉතාමත් පරසිඳු ශාක  විද්‍යාඥයා වීමේ භාග්‍යය ඔහුට ලැබීමයි. රුසියානු ගවේශණ කන්ඩායම හඳට  ශාක  විද්‍යාඥකු ගෙනයාම අවශේෂ    විද්‍යාඥයින්ගේ සිනහවට කරුනක් වී තිබුනත් එය ඇමෙරිකන් හා  බ්‍රිතාන්‍ය යානාවල ජීව  විද්‍යාඥයින් සිටිනවාට වඩා වෙනසක් නොවීය.   ප්‍රථම සඳ තරණයට වසර ගනනාවකට පෙර සිටම ගොනු කර ගත් සාධක අනුව (ජලය හා වාතය රහිත වුවත්, සඳේ යම් අන්දමක ශාකමය ජීවයක් ඇති බවට බොහෝ සාධක විය.) ඇමෙරිකා එක්සත් ජනපද විද්යා ඇකඩමියේ සභාපති මේ බව තරයේ විශ්වාස කල කෙනෙකි.ඔහුගේ වයස සඳ තරණයට  බාධාවක් වූ නිසා ඔහු ඊලඟට කල හැකි හොඳම දේ කලේය.ඒ අනුව රුසියන් ගවේශණයට සුරොව් ගේ නමද එක් කෙරිනි.


                  අපේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජීවී හෝ අඩුම වශයෙන් පොසිල වශයෙන් වත් කිසිම ශාක ප්‍රභේදයක් සඳ තලයේ සැතපුම් දහස් ගනනක් පීරා කළ ගවේශණ වලින් වත් අපට සොයා ගත නොහැකි විය. සඳේ කිසිම  අන්දමක ජීවයක් නොමැති බවට තරයේ ඇදහූ අය පවා ඔවුන් වැරදි යයි ඔප්පු කරනු ලැබීමට සතුටින් සිටියහ.  පස් වසරකට පසුමහා එරටොස්තීනස් තැන්නේ දී  රිචර්ඩ්ස් හා ෂැනොන් කල පුදුමාකාර සොයාගැනීම නිසා පසුව ඒ සියල්ල වෙනස් වුවත්, ප්‍රථම චන්ද්‍ර ගවේශණයේදී සුරොව් ගේ සඳට පැමිනීම නිශ්පල එකක් ලෙස හැමෝම සැලකූහ.

                                               සුරොව් බලාපොරොත්තු කඩ වූ බවක් පෙන්වූයේ නැත.තමාගේ අනෙක් සගයින් විවිධාකාර කටයුතු වල යෙදෙන අතරවාරයේ ඔහු පස් සාම්පල් පිරික්සමින්ද පීඩනයට බඳුන් කල විනිවිද පෙනෙන වීදුරු නල වූ ශාක ගොවිපල ‍රැක බලා ගැනීමටද තම කාලය යෙදවීය.( එම වීදුරු නල පෙනුනේ සියොල්කොව්ස්කි යානය පුරා විහිදි ජාල පද්ධතියක් සේය.) 
       අප හෝ ඇමෙරිකානුවන් අපේ ආහාර අපම වගා කිරීමේ කාර්යයට අත නොගැසුවේ පෘතුවියෙන් ආහාර ගෙන්වා ගැනීම මෙහි වගා කිරීමට වඩා වාසිදායක බැව් අප සිතූ නිසාය. අඩුම තරමේ සඳේ ස්ථීර වාසස්ථාන  ඉදිකිරීමේ අවස්ථාව  එලඹෙන තුරුවත් ඉවසීම සුදුසු බව අපේ විශ්වාසය විය.ආර්ථික වශයෙන් ඒ තීරණය නිවැරදි වුනත් එහි වරදක් මම දැක්කෙමි.නෙත් පොවන මානයේ දිස්වන අනන්ත අප්‍රමාණ හුදකලාවෙන් හෙම්බත් වූ අපේ නෙතට, වාතහාර පුංචි හරිතාගාර  තුල මැවූ සුරොව් ගේ කුරුමිටි එලවලු පැල හා පලතුරු ගස් රසඳුනක් බඳු විය.
                                      යානාවේ අණදෙන නිලධාරියා වශයෙන් මට වූ වඩාත්ම අවාසිය නම් පුලුල් චන්ද්‍ර ගවේශණයේ ලා මා ලද ඉඩකඩ ඉතාමත් සීමිත වීමයි.
         
මගේ කාලය, පෘථිවිය වෙත එවිය යුතු වාර්ථා සකසමින්ද, දිනපතා කඩිනමින් අවැසි දේ පිරික්සමින්ද, වැඩ මුර හා වැඩ සටහන් සකසමින්ද, ඇමෙරිකානු හා රුසියනු යානාවල සිටි අය සමග අදහස් බෙදා හදා ගනිමින්ද, බොහෝ විට සාර්ථක වුවද ඕනෑම  මොහොතක පැමිණිය හැකි කුමන හෝ අකරතැබ්බයකට මුහුන දීමට සූදානමින් ද ගෙවුන නිසා සමහර අවස්ථාවක මට දෙතුන් දිනකින් පවා කඳවුරෙන් බැහැරව සිටීමට අවස්ථාවක් ලබාගත නොහැකි විය.එබැවින් අප කඳවුරේ සැම සිනහවට පත් කරමින් මගේ ගගන ගාමී ඇඳුම් කට්ටලය ‍තෝතැන්නක් වී තිබුනේ කාවන්ටය. 
                              
                                  මේ හේතුව නිසාම මා කඳවුරෙන් බැහැර වූ සෑම අවස්ථාවක් ම ඉතාමත්ම විචිත්‍ර ලෙස මගේ මතකයේ ‍රැඳී තියේ.එවැනි එක් අවස්ථාවකයි මට ප්‍රථම හා අවසන් වරට  සුරොව් මුණ ගැසුණේ.එය දකුනු දිග කඳු වැටියට ඉහලින් හිරු ‍රැස් වැ‍ටුන දවාළක් විය. නව පොළොව ළා පැහැ රිදී ඉරක් ලෙස ඊට අංශක කීපයක් එහායින් දර්ශනය වෙමින් තිබුණි. හෙන්ඩර්සන් හට චුම්බක දත්ත ලබා ගැනීම සඳහා අපේ කඳවුරෙන් සැතපුම් කීපයක් නැගෙනහිරට යාමට ඇවැසි විය.හැමෝම තම රාජකාරිවල නිරතව සිටි බැවින්ද, ඒ මොහොතේ මට වෙනත් විශේෂ කටයුත්තක් නොතිබූ බැවින් ද මම ඔහුගේ සහයට ගියෙමි.ඒ චාරිකාව ස්කූටරයක නැග යායුතු තරමේ දුරක පිහිටා නොතිබූ නිසා අප ගියේ පයින්ය. (ඇරත් ස්කූටරයේ බැටරි බලය  අඩු වෙමින් තිබූ නිසා ඉන්ධන පිරිමසා ගැනීම අවශ්්‍ය  විය.)

            කෙසේ වෙතත් සඳ මතුපිට ඇවිදීම සෑම විටම මා ඉතාමත් ප්‍රියකළ දෙයක් විය.එසේ වූයේ ඉතාමත් දර්ශනීය වුවත්, සමහර විට බොහෝ වරක් දැකිමෙන් ඇසට හුරු වන පරිසරය නිසා නොව, අභ්‍යවකාශ තරණයට පෙර මිනිසා සිහිනෙන් පමනක් දැන සිටි , මගේ දෙපා සඳ තලය මතින් මා ගෙනගිය විඩා රහිත මන්දගාමී, පියාසර කරන්නාක් බඳු ඇවිදීමේ රටාව නිසාය. 

                                                               
                             කෙසේ වෙතත් අප ආ කටයුතු නිමකර ආපසු කඳවුර බලා යමින් සිටියදී සැතපුමක් පමණ දකුනින්, රුසියන් කඳවූරට නුදුරින් මිනිස් රුවක් චලනය වනු දු‍ටුමි.ක්ෂේත්‍ර කන්නඩි මගේ හිස් පළඳනාවට සවි කරගෙන  ඔහු නිරීක්ශණය කළෙමි.
 ඇත්තෙන්ම, ඔබට, ලඟ සිටියත් ගගනගාමියෙකු ඔහුගේ ඇඳුමෙන් හඳුනා ගත නොහැක. නමුත් එය ගැටලුවක් නොවූයේ සැමට නියමිත වර්ණයක් හා අංකයක් තිබූ නිසාය.

     කවුද ඒ ? ”
  හෙන්ඩර්සන් ඔහුගේ කෙටි දුර රේඩියෝ යන්ත්‍රයෙන් මා ඇමතීය.

    " නිල්  ඇඳුම, නොම්මර තුන, ඒ සුරොව්. ඒත් මොකද එයා තනියම. "

    අපගේ චන්ද්‍ර ගවේශණයේ මූලික නීති රීති වලට අනුකූලව කිසිවෙකුට තනිව සඳ මතුපිට ඇවිදීම තහනම්ය.යමෙකුට, සගයෙකු සමග සිටියදී  ගනන් නොගන්නා තරම් සුලු වුනත්, තනිව සිටියදී මාරක  විය හැකි   විවිධ අන්දමේ අනතුරු වලට මුහුණ පැමට සිදුවිය හැක. 

 උදාහරණයක් ලෙස ඔබේ අභ්‍යවකාශ ඇඳුමේ පි‍ටුපස කාන්දුවීමක් සිදුවිය හොත් ඔබ තනිව එය අලුත් වැඩියා කර ගන්නේ කෙසේද ? මෙය විහිලුවක් සේ පෙනුනත් එවන් දෑ  සිදු වී තිබේ.

                  " සමහර විට ඔහුගේ සගයාට අනතුරක් ද දන්නෙ නෑ. අපි ගිහින් බලමුද ? "
      
 ඒ හෙන්ඩර්සන් ගේ කට හඬයි. මම හිස සොලවා එය ප්‍රතික්ශේප කළෙමි. සුරොව් ගේ කිසිම ඉක්මන්කමක් තිබුනේ නැත.

 ඔහු සඳ තලයේ සවාරියක් ගසා හිමින් සීරුවේ සියොල්කොව්ස්කි වෙත යන ගමනක් වගේ.ඔහුගේ අණ දෙන නිලධාරි, ක්‍රාස්නින්, තම මිනිසුන් සඳ මතුපිට තනියම ඇවිදීමට යවනවා නම් එය ඔහුට අයිති වැඩකි.

                            ඊලඟ මාස දෙක අතරතුර  මගේ සගයින් බොහොමයක් සුරොව්ගේ හුදකලා ගවේශණ දැක තිබිණ.නමුත් ඒ සැම අවස්ථාවකම ඔහු ඔවුන් මග ඇරීමට සමත් විය.

                              කාර්ය මණ්ඩලය අඩුකම නිසා රුසියන් අණ දෙන නිලධාරියාට ඔහුගේ සමහර නීති රීති ලිහිල් කිරීමට සිදු වී ඇතිබව  දැන ගතිමි.නමුත් මා මෙන්ම ඔහුගේ අණ දෙන නිලධාරියාද  සුරොව් ගේ හුදකලා ගමන් වල අරමුණ  හාන්කවිසියක් වත් නොදැන සිටි බව නොසිතුවෙමි.
                                         ක්‍රාස්නින් ගේ හදිසි උදව් ඉල්ලීමේ සංඥාව ලැබෙන විට මට ඒ සියල්ල සිහිපත් විය. කලින් අවස්ථාවලද  මෙසේ සමහරු විවිධ අනතුරු වලට මුහුණ පා තිබුනත් යමෙකු නැති වූ ප්‍රථම අවස්ථාව මෙයවිය.කඩිනම් ගුවන් විදුලි පණිවුඩ  හුවමාරුවකින් පසු සැම යානාවකින්ම සෙවීම් කණ්ඩායම් දියත් කෙරිණි.


                       නැවත වරක් මා වැ‍ටුනේ හෙන්ඩර්සන් සමගය. එබැවින් අපේ දෙපා පලමු වරට සුරොව් දු‍ටු ඉසව්වට ලඟා වීම නිරායාසයෙන්ම සිදුවිය.දුශ්කර වුවද, කඳු ගැට සහිත බිම් කඩ නගිමින්ද බසිමින්ද  ඔහු සොයන අතරතුරේ, මේ රුසියානුවා අප සැමට හොරා යමක නියැලෙමින් සිටි බව මට හැඟී ගියේය.එහෙත්, ඒ කුමක්ද කියා නිශ්චය කිරීමේ හෝඩුවාවක්  නැතිය.

           අවසානයේ, හෙන්ඩර්සන්ට ඔහු හමුවිය.හෙන්ඩර්සන් උදව් ඉල්ලා කෑ ගැසුවත්, ඒ වන විටත් ප්‍රමාද වැඩිය.

 සුරොව්, ඔහුගේ වායු විරහිත, පොඩිවුන ඇඳුමත් සමග, මුහුණ බිමට තද කරගෙන වැතිරී සිටියේය.

          ඔහු දණ ගසාගෙන යමක නියැලෙමින් සිටින විට වේගවත් යමක් ඔහුගේ හිස් ආවරණයේ  ප්ලාස්ටික් වැස්ම කුඩු පට්ටම් කර තිබිණ.ඔහුට අත්වී තිබුනේ ක්ෂණික මරණයකි! 

                   අණ දෙන නිලධාරී ක්‍රාස්නින් අප වෙත් ලඟා වන විටත්, සුරොව් මරුමුව දකින විට  ඔහු පිරික්සමින් සිටි දේ වෙත අප නෙත් හෙලමින්  සිටියෙමු. 

        එය අඩි තුනක් පමණ උස් වූ,  කොල පැහැති, මැලවුන,පුලුල්ව විහිදුන  සිහින් පහුරු ජාලකයකින්  පාශාණ පෘශ්ඨය තදින් අල්ලාගත්, ඔව්- අල්ලාගත්: මක්නිසාද එය පැලෑටියකි. 
         ඊට යාර කීපයක් එහායින් නිසැකවම ඒ හා සමාන මැලවුන කුඩා පැල දෙකක් විය. ඒවා කලු ගැසී, පරවී තිබිණ.මවිතයෙන් මගේ මුව විවර විය. 

                " එහෙනම් සඳේ ජීවය තියෙනවා." 


            ක්‍රාස්නින් ගේ කටහඬ මා සවන් පතිත වන තෙක්ම සත්්‍යය ඊටත් වඩා කොපමණ විශ්මයජනක දැයි මට නොහැඟිණි. 



                     " පව්. ව්ලැඩිමීර්.  අප දැනගෙන හිටියා ඔහු දක්ෂයෙකු බව. නමුත්, අප ඔහුට හිනා වුනා ඔහුගේ අරමුණ අප සමග කී විට. අනේ පව්. දුප්පතා. ඒ නිසා ඔහු තමාගේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම රහසක්ව තියා ගත්තා.ඔහු උත්තර ධ්‍රැවයේ තිරිඟු වැවීමට සමත් වුනත් එය ආරම්බය පමණයි.ඔහු තමයි මුලින්ම  සඳට ජීවය ගෙනාවේ. ඒ වගේම මරණයත්."

     ඔහුගේ සටහන් සියලු දේ එලිදරව් කර තිබිණි.වසර ගනනාවක් කළ පර්යේශණ දාමයක ප්‍රථිපලයක් ලෙස රික්තකයක විසිය හැකි සේ සැකසුණ පිට පොත්තක් සහිත ශාකයක් අභිජනනය කිරිමට ඔහු සමත් වූ අතර එහි දුරට විහිදෙන, අම්ල ශ්‍රාවයික මුල්, ලයිකන පවා වැඩීමට අපහසු පාෂාණ මත  ජීවත් වීමේ හැකියාවක් ලබා දුන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස අප දු‍ටු ශාකය- එනම් සුරොව් ගේ සිහිනය උපත ලැබීය. 
                  ඔහුගේ නම දැරූ පතොකය දැනට චන්ද්‍ර පාශාණ ස්ථරයේ සෑහෙන ව්‍යාප්තියක්  සඳහා තැබූ මූලික පියවරක් විය.ක්‍රාස්නින් නැඹුරුව ඔහුගේ සගයාගේ නිසල දේහය ආයාසයකින් තොරවම දෑතට ගත්තේය.කුඩා කැබිලිති වලට කැඩුන ප්ලාස්ටික් හිස් වැසුම අත ගෑ ඔහු අවුල් සහගතව හිස සැලීය.

        " එයාට මොකද වුනේ ? ඒක හරියට පැලෑටිය එයාව මැරුවා වගෙයි. නමුත් එහෙම හිතන එකත් විහිලුවක්. "    


                                  කොල පැහැති විශ්මයජනක ප්‍රහේළිකාව, තව දුරටත්
 මුඩුබිමක් නොවුන තැනිතලාවේ අභිරහස්‍යමය බලාපොරොත්තුවලින් අප උමතුවට පත්කරමින් නැගී සිටියේය.මඳ වේලාවකින් පසුව තමාටම කියා ගන්නාක් බඳු හඬකින් හෙන්ඩර්සන් දොඩමලු විය.

                                " මට හිතෙන්නෙ මට උත්තරේ ලැබුනා කියල. මම ඉස්සර ඉගෙනගත්තු බොට්නි පාඩමක් මතක් වුනා.සුරොව් මේ පැලෑටිය නිර්මාණය කලේ සඳේ පරිසරයට අනුකූළව නම් පැලෑටියේ බෝවීම කුමන ආකාරයට වනවාද කියා ඔහු දැන සිටිය යුතුයි.පැලෑටිය සාර්ථකව වැඩීමට නම් එහි ඇට මව් ශාකයේ සිට සෑහෙන දුරකට විහිදී නව ශාකයක් බිහි කිරීමට සුදුසු පරිසරයක් සොයා ගත් යුතුයි." 

        "මෙහි, පොළොවේ සිදුවන ලෙස  බීජ වාහකයින් ලෙස ක්‍රියා කිරීමට සතුන් හෝ කුරුල්ලන් නෑ. මට හිතාගන්න පුලුවන් එක් ක්‍රමයක් පමනයි.දැනටමත් අපේ පොලොවේ වැඩෙන සමහර පැලෑටි ඒ ක්‍රමය භාවිතා  කරනවා. "

                        ඔහුගේ පැහැදිලි කිරීම මගේ බෙරිහන් දීම නිසා යටපත් විය. ඉතා වේගයෙන් ආ යමක් මගේ ලෝහමය ඉණ පටියේ ගැටී පරිසරය දෙදරවන හඬක් නිකුත් කළේය. මට හානියක් නොවුනත්, බලාපොරොතු නොවූ අවස්ථාවක වූ ඒ සිදුවීම, මා ගල් ගැස්සවීමට සමත් විය.මගේ පා මුල මිදි ඇටයක හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කුඩා ඇටයක් වැටී තිබිණ.ඊට යාර කීපයක් එහායින් සුරොව් ගේ හිස් වැස්ම සිදුරු කල ඒ හා සමාන වූ අනෙක් බීජයද අපි සොයා ගතිමු.  පැළෑටියේ බීජ පරිණත වී ඇති බව ඔහු දැන සිටි නමුත්, ප්‍රීතියෙන් කුල්මත් වී සිටි ඔහු ඉන් අදහස් වන්නේ කුමක්ද කියා සිතුවේ නැත. පතොක් ශාකයක්, සඳේ අඩු ගුරුත්ව බලය යටතේ එහි බීජ සැතපුම් කාලක් පමණ දුරට විදිනවා මම දැක ඇත්තෙමි. 





            සුරොව්ටද සිදු වී තිබුනේ එයයි. ඔහුගේම විස්මයජනක නිපයුම වෙඩිල්ලක් සේ වේගවත් බීජයකින් එහි මැවුම්කරු විනාශ මුඛයට යැවීමට සමත්ව තිබිණ. 
   ...................................................................................................


                  Arthur.C.Clarke ගේ Green Fingers නම් කෙටිකතාවේ පරිවර්තනයකි.


  පසු වදන :
     මම මේ කෙටිකතාව කියෙව්වේ දැනට වසර විස්සකට පමණ පෙර.එහි තිබූ රසවත් බව නිසාම මට මෙය සිංහලට පෙරලන්න ඕන වුනා. පරිවර්තනය කර මගේ ලඟම මිතුරියන් කීපදෙනෙකුට කියවීමට දුන්නා. හොඳයි කියා කීවත් ඔවුනට එය වැටහුනු   බවක් පෙනෙන්නට තිබුනේ නැ.  


 ඉන්පසු මා කාටවත් මෙය කියවීමට දුන්නේ නෑ. ඔබ සැම තමා මගේ මුල් පාඨකයො. ඔබේ අදහස් කියවීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔබට  ඇත්තටම දැනෙන දේ තමා  මට කෝටියක් තරම් වටින්නෙ.ඕනෑම අඩුපාඩුවක් ඇසීමට කැමතියි.