ප්‍රොෆෙසර්
මිල්වර්ඩ් දුන්නක් සේ ගැස්සී ඇඳේ ඉන්දවුන අතර ඔහු ගත වෙලුණ ඝන උනුසුම් පොරෝනාව,
තඩ් හඬක් නගමින්, බිම පතිත විය.මෙවර නම් එය සිහිනයක් නොවූ බව ඔහුට විස්වාස
ය.
රැයේ නිසලතාව සුනු විසුනු කරමින්,ආ ඒ හඬ, ඇඟ හිරිගඩු පිපෙන තරම් වූ සීතල වාතය ඔහුගේ පෙනහළු වල දුවන රිද්මයට අනුකූලව දෝණ්කාර දෙන්නා සේ ඔහුට දැණින. ඔහු පොරෝනා ගත දවටමින්,යලිත් ඇහුම්කන් දුන්නේය.පරිසරය නිසල විය.උස් ගොඩනැගිල්ලේ,බටහිර බිත්තියේ පටු ජනේලය තුලින් නිමක් නොදැකිය හැකි පොත් රාක්ක වසා ගත් සඳ රැස්,පහල පාලු, නිහඬ නගරයේ ද තැවරී තිබිණි.මෙයට බොහෝ කලකට පෙර පවා, මෙවන් දිනක, නගරය මෙසේම පාළුවට යන්නට ඇතත්, දැන් එය, දෙගුණ තෙගුණ වී ගොසිණි.
මහාචාර්යවරයා, ආයාසයෙන් නැගිට,හිමිහිට, ගිනි උදුන කරා, පියවර මැන, අඟුරු කැබලි දෙක තුනක්,ඉතාමත අරපිරිමැස්මෙන්,උදුනට එකතු කළේය.ඉනික්බිති,වසර ගණනාවක් පුරා, ඉතාමත් ලබැඳියාවෙන්,තම ප්‍රාණය දෙවෙනි කොට රැකගත් ග්‍රන්ථයන් දිගේ ඇඟිලි දිවවමින්, ආසන්නයේම පිහිටි කවුළුව කරා පියවර එසවීය.
දීප්තිමත් සඳ කිරණින් ඇස් අහකට ගත් ඔහු කවුළුවෙන් එබී මෑත බැලීය.අහස වළකුලින් තොර ය.තමා කලින් ශ්‍රවණය කළේ කුමක් වුවත්, එය සාමාන්‍ය ගෙරවිලි හඬක් නම් නොවූ බැව් ඔහුට ප්‍රත්‍යක්ශ ය. එය පැමිණියේ උතුරු දිශාවෙනි. ඔහු එම හඬ, වඩාත් පැහැදිලිව ඇසීමට අපේක්ෂාවෙන් සිටියදී, එම හඬ නැවතත් මතු විය.ගිගුරුම් හඬකට එය සමාන කළ නොහැකි වූයේ ප්‍රදේශයක් වටා පැතිර නොගොස්, එක් නිශ්චිත ස්ථානයකින් හඬ නිකුත් වූ බැවිණි.
මේ තාක් අසා ඇති, කිසිම ස්වාභාවික හඬකට එය සම කිරීමට ඔහු අපොහොසත් විය.එවන්, බලසම්පන්න හඬක් උත්පාදනය කළ හැක්කේ මිනිසා ටම පමණි.සමහර විටක, වසර විස්සකට වැඩි කළක්, මිනිස් ප්‍රජාවේ, සෑම අයිතිහාසික සාධකයක් ම ගැබ්වුන , නිධානයක් වන්, පුස්තකයන් අතර තමා බැඳ තබන්නට සමත් වූ ඒ සොඳුරු සිහිනය, තව දුරටත්, හුදු සිහිනයක්ම නොවනු ඇති.
ධූලි වලාවේ, ආගමනය ට පෙර, අත්පත් කරගත්, ඟාණ සම්භාරය පිහිටෙන් නිර්මාණය කළ අවි බලයෙන්, අයිස් කඳු හා යෝධ හිම තට්ටු පුපුරවා හරිමින් මිනිසුන් නැවතත් තම මව් රටට, එන්ගලන්තයට පැමිනෙනවා විය හැක. වෙනත්, වඩා සුදුසු විකල්ප අතැර දමා, උතුර හරහා,ගොඩබිමින් පැමිනීම, තරමක් ප්‍රහේලිකාත්මක වුවත්, තම චිත්ත සන්තානයේ මල්පල ගැන්වුන නව අපේක්ශාවන්, සුනු විසුනු කරවන එවන් සිතුවිලි, ඔහු වහා සිතෙන් බැහැර කිරීමට යත්න දැරුවේය.
අඩි 300 කට පමණ පහලින්, තැන තැන අයිස් බිඳී ගිය, දිය මිදුන සයුරක් සේ දිස්වන,අතොරක් නැතිව කඩා හැලෙන හිම තට්ටු හේතුවෙන් කඩා හැලෙන්නට ඔන්න මෙන්න කියා ඇති නිවස්නයන් සඳ එළියේ බැබලිණ. ශාන්ත පාවුලු දෙව් මැදුරු පියස අධික හිම බරින් කඩා වැටුන පසු, ඔහුට අභියෝග කිරීමට ඉතුරුව ඇති එකම ගොඩනැගිල්ල වන Battersea තාප බලාගාරයේ උස් කණු භූත රූප මෙන් උසට උසේ නැගී සිටියෝය. ඔහු නැවතත්, තම සිත් ගත් පොත් දිගේ ඇඟිලි රූටා යවමින් කුටිය තුලට පැමිණියේය.
විසි වසරකට පමණ පෙර, අනෝරා වැස්සක් සේ කඩා හැලෙන, ධවල හිම පියලි මත කරකැවෙමින්, අවසාන භාණ්ඩ තොගය හා මගීන් පුරවා ගත් හෙලිකොප්ටරය,රීජන්ට් උද්‍යානයෙන් ඉහලට නැගෙනු තවමත් ඔහුට මතකය.සියල්ලෝම අත්හැර ගිය නගරයේ ඔහු තනිවූ විට පවා, මිනිසා සදහටම උතුර හැර ගිය බැව් පිලිගැනීමට ඔහු සිත මැලි කළේය.එය එසේ වුවත්, දැනටමත්, තම ආයු කාලයෙන් දිගු කොටසක්, ඔහු පණ සේ සුරකින මේ පුස්තකයන් අතර හුදකළාව ගෙවී ගොස්ය.
ඒ කාලය අතරතුර, තවදුරටත් උනුසුම් නොවූ සමකය හා තදාසන්න පෙදෙස් හි ජනයා පදිංචි කරවීමට අරගලයට, දකුණ හා ඔහු යා කළ එකම පුරුක වු ගුවන් විදුලිය හරහා ඔහු සවන් දුනි.නමුත්, ඒ වනවිටත්, හිමපතනයේ ආගමනයෙන් මියදෙමින් තිබූ සිහිලැල් වන ගහනයන් හා සිසිල් වෙමින් තිබූ කාන්තාරයන් හි නව මිනිස් ජනපද ස්ථාපිත කිරීමෙහි ලා මිනිසා තුල ගැබ්වුන දැඩි අදිටන සාර්ථක වූවාද නැද්ද යන්න ඔහු දැන නොසිටියේය.බොහෝ දුරට ඒ සියලු ප්‍රයත්නයන් හිරු හමුවේ ඇකිලෙන වෙඬරු පිඩක් මෙන් අසාර්ථක වන්නට ඇත.දැනට වසර පහලවකට පමණ පෙරාතුව, ගුවන් විදුලිය ක්‍රියා විරහිත විම නිසා, ඒ පිළිබඳව නිසැකවම දැනගැනීමට ක්‍රමයක් ඔහුට නොතිබිණි.
මහදුරුතුමා, සරසවි ගොඩනැගිල්ලෙන් බැහැර වූයේ උපරිම වශයෙන් දහ දොලොස් වතාවක් පමණි. එයත්, ඉතාමත්අත්‍යවශ්‍ය කරුණකට පමණකි.පසුගිය දශක දෙක තුල,ප්‍රවාහනය අපහසු වූ නිසා, දකුනට පලාගිය ඇත්තන්, අතැර දමා ගොස් ඇති බඩු බාහිරාදියෙන් එක්තරා ලෙසක, සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කිරීමේ වාසනාව ඔහුට හිමි විය.දැනටත්, ඔහු ඇඳ සිටින කලිසම් කබා, මෙතෙක්, කිසිම මහාචාර්යවරයෙකුට වැය නොකල හැකි තරම් ,මිල අධික ඒවා විය.
වසර ගණනාවක් පුරා,සෞර ග්‍රහ මණ්ඩලය වසා ගනිමින් ගමනේ යෙදෙන, යෝධ ධූලි වලාව, හිරු ගේ ආලෝකය පමණක් ඉතිරි කරමින්, එහි සියලු ශක්තිය උරා ගැනීමට සමත් වූ බැවින්, උදැසන හිරු රැස්, නෙතට පීඩාකාරී වුවත්,උනුසුම් විරහිත බවක් පෑය. ඒ සා දෑවැන්ත දූලි පටලයෙන්, මිදීමට පෘතුවියට අවකාශ ලැබෙන්නේ තවත් දශක දෙකකට පසුවද, නැතහොත් ශතකයකට පසුවද, එසේත් නැතහොත් තවත් වසර දහසකට පසුවද කියා කිසිවකු ට අනුමාන වශයෙන්වත් කිව නොහැකි විය. ගිම්හානය හුදෙක් බොල් අරුතක් නොවූ දකුනු දිශාවේ උනුසුම සොයා, ඔවුන්, දකුනට පලා ගියහ.
ගෙවුන දින කීපයේ පතිත වුන හිම දැන් ඝන විම හේතුවෙන් ඔහු වීදියේ පහසුවෙන් ඇවිද්දේය.පසුගිය කාලවල, සමහර දිනක, ඔහුට ඒ දුර යාමට පැය ගණනාවක් ගතවූ අවස්ථා එමටය. වරක්, අධික හිමපතනය නිසා, නව මසක්, කොන්ක්‍රීට් ටවරයේ කොටුවීමට ඔහුට සිදුවිය.
ඔහු දැන් අසීමිත හිම තට්ටුවල බරින්, කඩා වැටීමට ඔන්න මෙන්න කියා ඇති පියස්නයන්ගෙන් හෙබි නිවෙස් හා ඒවායෙන් පහලට එල්ලෙමින් තිබූ ස්ඵටික මග හරිමින්, තම ගමනාන්තය කරා පා නැගීය. සාප්පුවේ, බිඳුන වීදුරු කවුලුවට ඉහලින්, යන්තමට කියවා ගැනීමට හැකි නාම පුවරුව දිස්විය.
"ජෙන්කින්ස් හා පුත්‍රයෝ. ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රික් බඩු වෙලෙන්දෝ"
වහලයේ බිඳුන තැනකින් කඩා වැටුන හිම,සාප්පුවම වසා ගත්තත්,ඉහල මහලේ කුඩා කුටිය,අවසාන වරට, දස වසරකට කලින්, ඔහු පැමිනි දින සේම, නොවෙනස් ව පැවතිණ.තරංග රේඩියෝව, මේසය මත එලෙසම තිබූ අතර, බිම වැටී තිබුන හිස් ටින්, ඔහුගේ සියලු අපේක්ෂා බිඳ වැටීමට පෙර,මොනයම් ආකාරයක හෝ මිනිස් ජීවියෙක් සමග සම්බන්ධ විමට ඔහු ගතකළ ගිණිය නොහැකි හෝරා ගණන ගොළු බසින්, කියා පෑය. නැවතත්, ඒ ඉච්චා බංගත්වයට පත්වීමට සිදු වේදෝ යි ඔහු සැක පහළ කළේය.
ගුවන් විදුලි තරංග ගැන ඔහු දන්නා සියලු දෑ ඔහුට කියා දුන්, ' ආධුනිකයන් සඳහා ගුවන් විදුලි අත්පොත-1965' අතට ගත් ඔහු, එහි මතුපිට තැන්පත්ව තිබූ සිහින් හිම පටලය පිස දැමීය.විවිධ බැටරි හා මීටර ඒවා දැමූ දැමූ තැන්වලම තිබූ අතර, සමහර බැටරි තවමත් ක්‍රියාකළ හැකි තත්වයක තිබීම, ඔහුගේ සිතට අස්වැසිල්ලක් විය.ගුවන් විදුලි යන්ත්‍රයට ඇවැසි බලය, තැන තැන විසිරී තිබූ බැටරිවලින් සපයා ගත් ඔහු, චකිතයෙන් සිත ගැස්සෙද්දී, යන්ත්‍රය තවමත් ක්‍රියාත්මක කළ හැකි දැයි පිරික්සීය. රේඩියෝවෙන් නැගෙන සිහින් ස්...ස්...ස්..ස්ස්..ස්... හඬ,බී. බී. සී. නාලිකාවේ, 9 කනිසමේ ප්‍රවෘත්ති හා වාද්‍ය වෘන්ද ද, කෙනෙකුට නැතිවම බැරි අංග සේ සැලකූ අනෙක් සියලුම දෙයින් පිරිපුන්, නමුත්, වර්තමානයේ පුහු සිහින පමනක් ම වූ ලොවක් ඔහු මතකයට නැංවීය.
ඉතාමත් සීරුවෙන් නමුත් නොඉවසිල්ලෙන්,ඔහු සියලුම තරංග කරකවා බැලූ නමුත්, සෑම චැනලයකින් ම ඇසුනේ, සුපුරුදු ස්......ස්ස්ස්ස්ස්... හඬ පමනක්මය. එහෙත්, රාත්‍රිය තවම තරුණ ය. එතෙක්, වටපිටාවේ ඇති කඩ සාප්පු පීරා, සුපුරුදු ලෙස, ප්‍රයෝජනවත් යමක් සොයා ගැනීමට ඔහු තීරණය කළේය.
මහාචාර්ය මිල්වර්ඩ්, නැවතත්, කෙටි තරංග ග්‍රහණය කර ගැනීමට, සියුම්ව ස්විචය කරකැවීය.නමුත්, වරක් මිනිසුන්ගෙන් පිරී තිබුණ, ඊතර සගර මෙන්ම, නගරයද මුනිවත රැක්කේය.ලොව, අනිත් කොනින්, ආවා සේ සිතිය හැකි, වැසි කුණාටුවක ගිගුරුම් හඬක්, දැරිය නොහෙන නිහඬතාව බිඳ දමමින් ඔහුට ඇසිණ.මිනිසා, තම නවතම සොයාගැනීම අතැර ගියා සේය.
පසුදා තම නවාතැනට යන විට, ඇල් මැරුන හිරු රස්, හුදකලා වීදියේ විසිරී තිබිණ.ඔහු ඉතාමත් තෙහෙට්ටු ගතියෙන් පා තැබිය.පසුගිය රැයේ ඔහුට හරිහැටි නින්ද නොගිය අතර,නින්ද ඔහු වෙතට ආ සැමවිටම,තම සුපුරුදු සිහිනය, තමා ගලවාගැනීමේ ප්‍රයත්නය ඔහු දිටීය.
දැඩි නිහැඬියාව බිඳ දමමින්, වහලවල ගොඩ ගැසුන හිම, මහා හඬක් නගමින් බිම වැටෙනු ඔහු ශ්‍රවණය කළේය. ඔහු, නැවතී ඒ හඬට හොඳින් කන් දුන්නේය.සාමාන්‍ය ගිගුරුමකට වඩා එය සම කළ හැකි වූයේ, හිම ටොන් මිලියන ගන්නක් වුවත් එක්වර පුපුරවා හැකි තරම් ප්‍රබල වූ පරමානු බෝම්බයකට පමණි. කලින් දා රැයේ සිදුවිම පසෙකට ලා, නව බලාපොරොත්තුවක් මෝදු වනු ඔහුට දැනිණ.
අතුරක් මත ගමන් කරන්නෙකු, නිරතුරු අවධානයෙන් සිටිය යුතුවාක් මෙන්,තම අවධානය වෙනතකට යොමුකළ ඒ සිදුවීම, තව සුලු මොහොතක් පමා වූවා නම්, ඔහුගේ දිවි තොර කරනු ඇත.එක්වරම, කුඩා අතුරු පාරකින්, විශාල යමක් ඔහු වෙතට එනු, ඔහුගේ දෘශ්ඨි පථයට ගෝචර විය. තමා දුටු දේ තහවුරු කර නොහී, ඔහුගේ මනස ගල් ගැසුනේය. ඊලඟ මොහොතේ, තම කබා සාක්කුවට අත යැවූ ඔහු, කලබලයෙන් වෙව්ලන ඇඟිලිවලින් රිවෝල්වරය එලියට ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදිණි.සර්පයෙකු සේ, හිස දෙපසට වනමින්, පුලුන් කොට්ට වන් පා සැහැල්ලු ලෙස හිම මත තබමින්, ඔහු අබිමුවට පැමිනියේ, ධ්‍රව වලසෙකි.
ඔහු කොපමණ බියට පත්වූවාද කිවහොත්,තමා රැගෙන ආ සියලු බඩු බාහිරාදිය එතැනම අතැර, හිම මත පය පැකිලි පැකිලී, තමා නුදුරේ තිබූ, භූගත සෝපානය දෙසට දිවීය.සතුරා තමාට කොපමණ නුදුරෙන් සිටින්නේ දැයි ආපසු හැරී බැලීමට, සිත තුල ජනිත වූ දැඩි පෙළඹවීම මධ්‍යයේ, ඔහු යකඩ දැළට ළඟා වී, එය වේගයෙන් සෙළවූයේය.බියෙන් හිරිවැටුන ඇඟිලිවලින් කිහිපවරක් දැළ වේගයෙන් සෙළවූවද කිසිවක් සිදු නොවීය.අවසන, ක්‍රීක් හඬක් නගමින් විවර වූ දොර තුලින්, ඔහු දනි පනි ගා ඇතුලට රිඟා ගත්තේය.
ඔහු තරම් දෙගුණයක් තරම් වූ වලසා, කෝපාවිශ්ඨ ව, උල් නියෙන්, තමා හා තම ප්‍රතිවාදියා අතර එකම බාධකය වූ දැල ගලවා දැමීමට යත්න දැරීය.උගේ සවිමත් බාහු යුගලයට මැදි වූ යකඩ දැල සෙලවුනත්, එය ගැලවීමට තරම් ඌ ශක්තිමත් නොවීය. මහාචාර්යවරයා අතින් ගිලිහුන මල්ල, වරක් දෙවරක් නිය පහුරුවලින් එහා මෙහා විසික්කළ ඌ, ඉදිරිපස ගාත් ඔසවා, අසතුටින් ගෙරවූයේ, සතර අතට විසිව තිබූ ටින් අතරින් දෙපා මුදුව තබමින් අතුරුදන් විය.
ජීවිතයේ කිසිම දිනක නොදැනුන ලෙස, ඉමහත් කම්පනයට ලක් වූ මහාචාර්ය මිල්වර්ඩ්, එක් ආරක්ෂිත ස්ථානයකින් තවත් ආරක්ෂිත ස්ථානයක ට මාරු වෙමින්, තම නවාතැනට ලඟා වූයේ තෙපැයකට පමණ පසුවය.
මේ සා කලකට පසු, නගරයේ සිටින එකම ජීවියා තමා නොවන බැව් ඔහුට පසක් විය.ධ්‍රව වලසා හැරෙන්නට , වෙනත් සතුන් නගරයට ආගමනය වී ඇත්දෝයි සිතේ නැගුන පැණයට පිළිතුරක් ලෙස, පසුදින අළුයම,නගර උද්‍යානය දෙසින්,වෘකයකු ගේ උඩු බිරීමක් ඔහු සවන් වැකිණ.
තවත් සතියක් පමණ ගෙවෙන විට, උතුරේ සිටින සතුන්, එය හැරදමා යන බැව් ඔහුට පැහැදිලි විය.වරක්, දකුනු දිශාව බලා ගමනේ යෙදෙන පිනි මුවන් රැළක්, ඔහු තම ටවරයේ සිට නිරීක්ෂණය කළේය. සමහර රැයක, එකිනෙකා කා කොටා ගන්නා, ගොරවන, බුරන විවිධ සිව් පා ශබ්ද ඔහු සවන් පතිත විය. මෙපමන කළකට පසුවත්, මෙවන් විසල් ජීවි ගහනයක්, උත්තර ධ්‍රවය හා ලන්ඩනය, එකම භූමියක් සේ යා කළ මේ, ධවල හිම තැන්නේ, වසනු දැනගැනීම විමතිය දනවන්නක් වීය.
නමුත්, දැන් යමක්, ඔවුන් සියල්ල දකුණට පලවා හරිමින් සිටී.මිනිසා හැරෙන්නට, මේ සා සතුන් සන්ඛ්‍යාවක් භීතියෙන් මුසපත් කරවන්නට සමත් ජගතෙක් මේ පොළොවේ නැති බැව් ඔහු සිහිපත් කළේ චිත්ත සන්තානයේ දලු ලන ඉමහත් ප්‍රීතියෙනි.
සමහර දිනක, තම උනුසුම් ලොම් කබාය, ගතට හිරකර ගනිමින්,සීතල ඉරු රැසින් නෑවෙමින්, තමා ගලවා ගැනිමට, තම මිතුරන් නැවත එන අයුරු සිහින දකිමින්, ඔහු එලිමහනේ නිනව්වක් නැතිව පැය ගනන් ගත කළේය. සමහර විට, උතුරු ඇමෙරිකාවේ සිට, මිදුන අත්ලාන්තික් සයුර, තරණය කොට ඔවුන් පැමිනෙනු ඇත.එසේම, මේ වනවිටත්, ඔවුන් තමා බේරගැනීමේ මෙහෙයුමක් අරඹා වසර ගනනාවක් ගතවී ඇති වන්නටද පුලුවන.
එසේ වුවද, මෙතෙක්, තමා ගලවාගැනීමට, එකදු ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක නොවිම, ඔහුගේ කුකුස දනවන්නක් වීය. මෙපමණ කඩිනමින්, මිනිසාට පියෑඹීමේ කළාව අමතක වී ඇතැයි සිතීම උගහටය.
පාලුව දරාගත නොහුන විටක, මතකයෙන්, කවි ගායනා කිරීමට ඔහු පෙලඹී සිටි මුත්, ඒවා බොහෝ විට අතීත තුවාල පාරවන්නක් විය. නමුත්, දිවා කල දිගු වී, පරිසරයේ, දීප්තිය වැඩි වත්ම, ඔහු, බොහෝ විටක, ජනෙල් කවුලුවකින්, හිස එලියට දමා, මහ හඬින් ඒවා ගැයුවේ, එමගින් වත්, තමා වට වී ඇති, මේ මායාකාරී පරිසරය වෙනස් කිරීමට යත්න දරන්නාක් මෙණි.
ගිම්හානය, එය නිමාවේ අද්දරට ලඟා වී සිටියේය.පැයෙන් පැය, දිනෙන් දින, ඒ නුහුරු ඝෝෂාව,වැඩිවත්ම, ඔහුගේ මනස, බලාපොරොත්තුව හා භීතිය අතර දෝලනය වෙමින්, වික්ශිප්ත විය.ඔහු තවදුරටත්, කිසිම සත්වයෙක් දුටුවේ නැත්තේ ඔවුන් පලා ගිය නිසාවෙනැයි ඔහු අනුමාන කලත්, තම,ආරක්ෂිත බළකොටුවෙන් පිටතට පැමින, පලා යාමට තරම් දිරියක් ඔහුට නොවීය.
එය එසේ වුවත්, සෑම හිමිදිරියකම,කුළුණේ, උස් කවුලුවක් අසලට වී දුරදක්නයෙන් වටපිටාව නිරීක්ෂණය කළ් සැම විටකම ඔහු දුටුවේ,හිරුට බියේ පසු බසින හමුදා බළ ඇණියක් සේ දියවෙමින් යන හිමෙන්, වැසි කඳු ශිකර ය.
ඔහුගේ පෙර මග බලාසිටීම, කෙටි ගිම්හානයේ, අවසාන දින කිහිපයේ නිමා වීමට යෙදිණ.පොළොව දෙදරුම් කවමින්,කෙමෙන් වැඩිවෙමින් ඇසෙන ඒ ගර්ජනාව, තමාට වඩ වඩා සමීප බව දෑනුනත්,තවමත්, ඒ කුමක්දෑයි නිසැකවම පැවසීමට හෝ එය, තමාට කොපමණ සමීප දැයි අනුමාන කිරීමට හෝ හැකියාවක් නොවීය.
මහාචාර්ය මිල්වර්ඩ් තම දුරදක්නය, උතුරු දෙසට යොමු කරන විටවත්, ඔහුට ඒ ගැන කිසිම අමුතු හැඟීමක් නොතිබුණේය.නුදුරේ එන හමුදාවක, හිරු එලිය වැටී දිලිසෙන පළිහ, ප්‍රථම වරට දර්ශණය කරණ මුර සෙබලෙකු සේ අවසන, ඔහු ඒ අමිහිරි සත්‍යය පසක් කර ගත්තේය.පැහැදිලි නුබ ගැබ පසුබිම් කර ගනිමින්,හිමෙන් වැසුන උස් වූ කඳු ශිඛර, දැන්,සූර්යාලෝකයේ, බබලමින් තිබිණි.වසර, මිලියන ගනනක් පුරා, ඒවා වසා සිටි හිම තට්ටු,දැන් නැත්තටම නැතිවී ගියා සේය.ඔහු, ඒ ගැන ප්‍රීති විය යුතු නමුත්, එවන් හැඟීමක් ඔහුට දැනුනේ නැත.
එක් රැයකින්, ඔහුට කිසිදා, කෙලෙසක වත් අනුමාන කළ නොහැකි වූ සතුරා,අවසාන මුර කඩුල්ලත්, පසු කරමින්,සමූල ඝාතනයට සැරසී, ඉදිරියට එමින් සිටියේය.පරාජිත වූ කඳු මුදුන් වසාගෙන,කෙමෙන් තමා අබිමුවට ගලා එන, ඒ අතිශය බියකරු දිස්නය, මහචාර්යවරයාට, පර්වත මුහුදට ගමන් කරන්නා සේ දැනුන හැඟීම, හෙළිදරව් කලේය.
ඔවුන්ගේ සදාකාළික නවාතැන වූ උතුරු දිශාවේ සිට,මිනිසාගේ ආගමනයට කල්පාන්තයකට පෙර, තම නිජබිම වූ, දකුණු දිශාව, අත්පත් කර ගන්නා ඒකායණ අදිටනින්, ග්ලැසියර, නැවතත්, ගමන් අරඹා තිබිණ.
( A translation of the short story, "The forgotten enemy" by Arthur.C. Clarke.)