Showing posts with label කුඩා කල අත්දැකීම්. Show all posts
Showing posts with label කුඩා කල අත්දැකීම්. Show all posts

Wednesday, December 11, 2013

ගං ඉවුරේ පන් නෙලන්නී ඈ









පන් නෙලන්නීය, වෙලට බැස මිත්තණිය
වැතිර ඉඳිමි මා ගං ඉවුරේ.
ඉදී බෙරි වී පැලුණ කිරල ගෙඩිවල  සුවඳ
කූරු ගායි මගේ නාස් පුඩු.


ඉව කරමින් ඒ මිහිරි සුවඳ
ඇවිද යමි ගං ඉවුර දිගේ
බලමින් දෙපස, සොයමින් කිරල ගෙඩි
මඩ තුල වැතිරුණ.
කඩොලාන මුල් අතර
ඉස්සො පැටව්
නටති, පනිති, දඟලති.

පෙනෙයි සේයාවක් පැහැදිලි ගං දියේ.
දිගු නොවූ හිසකේ, බෝරිච්චි ගවුමක්.
කුතුහළයෙන් වෙලුන ඇස් ඇති
කෙලි පොඩ්ඩියක්.

සවනත වැකෙයි මිත්තණියගේ කට හඬ.
" කෙල්ලේ, මෙහෙ වරෙන්."
මෑත් වී ගං තෙරෙන්
රුං ගා දුවමි ඇය වෙතට.

මිටි බඳියි නෙලූ පන් ඈ.
විසිර ඇති නියර මත.
බලා සිටිමි නොඉවසිල්ලෙන්,
ඔසවන තුරු පන් මිටියක්
මා හිස මතට.

ගනිමි එය හිස මතට, පාත් වී හිමිහිට.
විඳිමින් කොමල පහස,
වළාතර සැඟවෙන  සුමුදු හිරුගේ.

පා තබා සීරුවෙන්, ඇවිද යමි මා
කිරුළ හිසින් ගත් ‍රැජණක සේ.





ඕනෑම මොහොතක චිත්‍රයක් ඇඳ දෙන්න කියා ඉල්ලූ විට හැකි විගස එය කරදෙන වසන්තා ප්‍රනාන්දු ගුරු මහත්මියට මගේ ස්තූතිය පිරි නමමි.


(කවියක් ලියන්න ගත් උත්සාහය සාර්තක වුනාදැයි නොදනිමි. නමුත් මේ අතීත අත්දැකීම එලියට දැමීමට වෙන පහසු ක්‍රමයක් සොයා ගත නොහැකි විය.)

Monday, April 15, 2013

මම පීනපු හැටි
















මගේ කලින් ලිපියේ, මා පීනීමට බිය බව ලිව්වෙමි.

      එයට හේතුවූ ත්‍රාසජනක කතාව ඔබට කීමට තමා දැන් සූදානම.(මට නම් ඉතින් ත්‍රාසජනකයි. ඔබට කොහොම වේවිද මන්දා? ඒත් ඉතින් මේක කියවන්නම වෙනවනෙ. නැත්නම් ඉතින් මම ආයෙ ඔය ගෙවල් පැත්තෙ එනව කියලයැ.)
                එකල මට වයස අවුරුදු පහක්, හයක් පමන ඇති. මගේ ඥාති සොයුරිය හා ඇගේ සොයුරන් සමග මා හවස නෑමට ගියෙමි. අම්මා ගෙදර සිටියේ නැත. සිටියා නම් මට හවස නෑමට  යන්න දෙන්නේ නැත.
               ගඟ ලඟ සිට අපේ ගෙදර පෙනේ.  සිරිත් පරිදි මගේ සොයුරන් හා සොයුරිය ගඟට පැන ජබු ගසමින් නෑමට  පටන් ගත්හ. මහ උජාරුවට  නෑමට ගියද, පීනීමට බැරි නිසා මම ගඟට බසින තැනම සිට කෝප්පයකින් නෑමට පටන් ගතිමි.
                                අය්යලාගේ හා නංඟිගේ සමච්චල් බැලුම් හා සිනා මැද කිසිත් නොදන්නා සේ නමුත්, හිතේ වේදනාවෙන්, කෝප්පයෙන් වතුර ඔලුවට හලා ගතිමි.
                    හිතේ වේදනාව, තාත්තා තවම මට පීනන්න නොඉගැන් වූ නිසාය. තාත්තා හා ග‍ඟේ නාන විට ඔහු මගේ කිහිල්ල යටින් අත යවා,මගේ හිස වතුරෙන් ඉහලට සිටින සේ බැලන්ස් කරගෙන  ගඟ වටේ මා රවුමක් ගෙනයයි. මම වීරයකුසේ අත් වතුරෙන් පහලට වැටෙන්න  සලස්වා, වතුරේ කකුල් ගසමින් යමි. සමහර දාට පියා, මා ඔහුගේ පිට උඩ තබාගෙන පීනයි.







      අනන්ත මහා ජල කඳක් අතර තව කෙනෙක්ගේ වාරුවෙන් වුව පීනන විට හිතට දැනෙන හැඟීම  මා විස්තර කරන්නේ කෙසේද?මා වාරු කරගෙන සිටින කෙනා ගැන මගේ ජීවිතයටත් වඩා විශ්වාසයක් තිබිය යුතු නොවන්නේද? ඔව්. මම මගේ පියා, මගේ ජීවිතයටත් වඩා විස්වාස කලෙමි.
                   සමහර සවස් කාලවල ඔහුට විවේකි ඇති විටකය,  පිහිනුම් පාඩම් දීම සිදු වූයේ.නමුත් සාමාන්යයෙන්ම වතුරට ඇති මගේ බිය නිසා පාඩම් ඉතාමත්  හිමීට සිදුවිය. මට හරි හැටි පීනන්නට  බැරිවීමේ වැ‍රැද්ද තාත්තා පිට දමා මම හිත සැහැල්ලු කර ගතිමි.
                                      " හිටපල්ලකො!, මමත් ඉගෙනගෙන ඇවිල්ලා පීනන්න. උඹලට තරු පෙනෙයි මම පීනන හැටි දැක්කම" මම ඊරිසියාවෙන් තොල මැතුරුවෙමි.
                මම ඇයට නීලියා කියන්නම්. නීලියා සබන්  ගෑමට   ගොඩට ආවාය.ඇය මගේ සුවඳ සබන් කැටය දෙස නෙත් කොනින් බැල්මක් හෙලා කාර්බලික් සබන් කැටය අතට ගත්තාය. මගේ ලක්ස් කැටය උජාරුවෙන් සබන් පෙට්ටියේ රෝස පාටට දිලිසුනේය. ඒ කාලයේත් ලක්ස් තිබිනි. ලක්ස් කොල එකතු කිරීම අපේ ප්‍රියතම විනෝදාංසවලින් එකක් විය.
                          කාර්බලික් සබන් දැන් වගේ මොඩිෆයි වී තිබුනේ නැත. එහි  සැර ගඳ මගේ නාස් පුඩු පසාරු  කරගෙන ගියේය. හො‍රැහින් මා දෙස බලමින් සබන් ගාන  නීලියා ගැන මගේ සිතේ සියුම් දුකක් ඉපිදිනි. ඇය  ඉඩ  ලැබුන හැම වෙලේම මා මෝඩයකු කල මුත්  මගේ ලක්ස් කැල්ල ඇ‍ඟේ ගෑමට ඈ තුල වූ ආසාව මට නොසලකා හැරීමට බැරි වුනේ සමහර සැතිරි ආක්‍රමනවලින් ඇය මා ගලවා ගත් නිසාය.
     (ඒ කාලයේ එවන් ආක්‍රමන බොහොමයකට මට මුහුන දීමට සිදුවිය.)
                                 මම ඇයට සබන් කෑල්ල දික් කලෙමි. මඳක් තෙපර බා සිට ඇය සබන් කැල්ල මගේ අතින් ගත්තාය මම සබන් කැටය දික් කර නැවත  අරගනියි කියා ඇය සිතුවා විය හැකිය.
                                              අනතුරුව එලඹියේ, ග‍ඟේදී මගේ ප්‍රියතම ක්‍රියාකාරකමය.මම අතින් නාසය මිරිකාගෙන, කටෙන් හුස්ම නොගෙන දියේ ගිලුනෙමි. ( ලැජ්ජයි තමයි. ඒත්  ඉතින් මෙහෙමවත් ගිලෙන්න එපැයි.) ඉමහත් ආස්වාදයක් ගෙන දුන් ඒ ක්‍රියාව ඉක්මනට නැවැත්වීමේ අදහසක් මගේ හිතේ කොහෙත්ම තිබුනේ නැත. නමුත් සිදුවීමට යන  අබග්ගය ගැන සුලු හෝ ඉඟියක් තිබුනා නම් ගොඩට දුවන්නේ එක පයින්ය. කරුමෙට එසේ නොවිනි.
                   කිහිප විටක්ම ගිලෙමින් උඩට මතුවූ මට, එක් අවස්තාවකදී උඩට මතුවීමට නොහැකි බවක් හැඟුනි.මම ඔලුව ගසා වතුරෙන් මතු වීමට තැත් කලෙමි. සිහි තබා ගන්න. මේ සියල්ල සිදුවුනේ නිමේශයකින්ය. නමුත් මා හට විස්තර කිරීමට සිදුවන්නේ සිත්තර පටියක මෙන් සීන් බයි සීන් ය.
                                              නිරායාසයෙන්ම මගේ අත්, හිස මතට ගියේය.නාසයට හා කටට වතුර යද්දී මම වියරුවෙන් මෙන් මගේ හිස  මත ඇතිබාධකය ඉවත් කිරීමට යත්න දැරුවෙමි.නමුත් යකඩයක් බඳු අත් දෙකක් මගේ හිස, වතුරේ ඔබාගෙන ඉන්නවා මට හැඟිනි.  මම  කෑගැසීමට තැත්කලෙමි. නමුත් වුනේ වතුර ඉහින් කනින් ගොස් තදබල කැස්සක් ඇතිවීමයි. කුඩා වුවද, මර බිය සැමට සමාන බැව් වැටහුනේ එදාය. මට  නිවැරදි තීරනයක් ගැනීමට තරම් හරි හැටි සිහි කල්පනාවක්  නොවුනත්, දිවි ගලවා ගැනීමට නම්  අර මාරක අත්  හිසෙන් ඉවත් කිරීම අත්යවශ්ය බව  මගේ මනස හදිසි විධානයක් දුන්නේය.

 මම දඟ කා, උඩ පැන, මගේ මුලු ජීව ශක්තිය යොදා අර මරනීය වේදනාවක් ගෙන දුන් අත් මගේ හිසෙන් ඉවත් කර, වතුරේ හිට ගත්තෙමි.
                         පෙවුන වතුර පෙනහැලිවලින් ඉවත් කිරීමට යත්න දරන  මගේ සිරුර  කිලි පොලා යද්දී,  මම ගල් ගැසී සිට ගත්තෙමි.

                         බොඳ වූ ඇස් ඇර බලන විට මා දු‍ටුවේ, අවඥා සහගතව සිනාසෙමින් මා දෙස බලා සිටින නීලියාගේ මුහුනයි.
     කුඩා හිතකට එවන් වයිරයක්  ඇතුලු වන්නේ කෙසේද? මම පිනූ ගමන්   නීලියාගේ  ඇඟ මගේ දරුනුම ආයුදයෙන් සිදුරු කලෙමි. මගේ දත්, ඇගේ අත් ගොබයේ එල්ලී සිටියේ කූඩැල්ලෙක් ලේ බොනවාක් මෙනි.
                               මගේ මර බිය, අධික ශෝකයක් බවට පරිවර්තනය විය. මට සිදුවූ අසාධාරනය ගැන පැමිනිලි කිරීමට අම්මා හෝ තාත්තා එතන නොසිටි නිසාත් මා අසරන වුනාක් වැනි හැඟීමක් මට ඇති වූ නිසාත්, අත් ගොබය සපා ගනිමින්ම මම යටි ගිරියෙන් කෑ ගසා  වැලපෙමින්, වෙඩි කෑ ඊරියක සේ උගුරෙන් අව්යක්ත හඬක් පිට කලෙමි.
          
                        නීලියාද යටි ගිරියෙන් විලාප තිබ්බාය. ඇගේ නෙත්වලින් වේදනාව උතුරා ගියේය.මා තල්ලු කර දැමීමට ඇය  උත්සාහ  කලද අසීමිත කෝපයකින් හා දුකකින්, ඇස්වලින් ගංගාවක් සේ ගලන කඳුලු වැල් අතරින් ඇගේ බාහුව ලේ පනින තරම්, තදින්  දත්වලින් තද කලෙමි.

                  මේ සිදුවීම ගැන නොදත් ඇගේ සොයුරෝ  සිරිත් පරිදි නානා ප්‍රකාර දේ කරමින් ග‍ඟේ විනෝද වුනහ. (ඔවුන් ගොඩට වඩා වැඩිපුර ඉන්නේ වතුරේය. මාමා, ඔවුන්ගේ පියා  ඔවුන්ට දඬුවම් කිරීමට ලැස්ති වන විටත් දුව ගොස් ගඟට පනිති.නැන්දා යමෙකුට කඩයට යාමට කියූ විටත් කොල්ලා නවතින්නේ ග‍ඟේය.අහල පහල අය දරුවන්ගේ නඩු හබ ගැන පැමිනිලි කිරීමට ආ විටත්  චුදිතයා බොහෝ විට නාන්න ගොස්ය.ග‍ඟේ ද ඔවුන්කරන්නේගොඩදී කරන දේමය. එනම් එකිනෙකා හා ගුස්ති ඇල්ලීමය.පිලිවෙලින්  අවුරුද්දක වයස් පරතරය ඇති කොල්ලෝ තුන් දෙනෙක් නැන්දා කොහොම මේච්චල් කලාදැයි  තාමත් මට නොහැ‍ඟේ.)
                                          අවසන, නොනවත්වා විලාප දෙන තම ආදරනීය නංගි පොඩ්ඩගේ කට හඬ ඔවුන්ගේ සවන් වැකිනි.නෑම පැත්තකට විසි කොට, දඩි බිඩි ගා ඔවුන් ගොඩට පැන, තම දයාබර සොයුරිය, ඇය සපාගෙන සිටින කොටි දෙනගෙන් වෙන් කලහ.කොටිදෙන ඔවුන්වත් කන තරම් ආවේගශීලිව සිටියත් කොලු නාම්බො තුන්දෙනෙකුට හානි කිරීමට තරම් ජවයක් ඇයට නොතිබුන බව කිව යුතුය. නැතිනම් අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන පරන කෙනෙහිලිකම්වලට වාඩුව ගැනීමට ඇගේ සිතේ නොතිබුනා නොවේ.
                                 ඔවුන් මගේ අත්වලින් ඇද, මා බිමට තල්ලු කලහ. පොපි මලක් සේ රතු පාට වුනු අත්ගොබය අනිත් අතින් අල්ලාගෙන, කඳුලු වගුරවමින් හඬන නීලියාව වඩාගෙන ඔවුන් ගෙදර ගියේ නැන්දාට කේලම කීමටය.( සමාවන්න. මේ උපමාව ගත්තේ මා කියවූ ඉන්ගිරිසි කවියකින්ය. "මිඩ් ටර්ම් බ්‍රේක් - සීමස් හීනි - නැතහොත් එය දන්නා අය මා කොපි කැට් කෙනෙක් යයි සිතීමට පුලුවන.)
                              මම  වැල්ලේ ඉඳගෙන  අඬමින්ම ඔවුන් යන දෙස බලා හිටියෙමි. මගේ කෝපය හා දුක ක්‍රමයෙන් තුනි විය. නමුත්  මට මුහුන දීමට සිදුවන නඩු විභාගය  හා තාත්තාගෙන් සිකුරටම ලැබෙන කෝ‍ටු පාර මතක් වන විට දුක පරයා බිය උඩට ආවේය. මම නැවත මඳක් ඇඬුවෙමි. අම්මා ගෙදර ඇවිත් ඇද්දැයි මම කර ඔසවා බැලුවෙමි. මා ඉන්නා තැනට අපේ මිදුල පෙනේ. අම්මා ආවා නම් අනිවාර්යයෙන්ම මා සොයනවාය. අම්මාට වෙන ලමයි නොසිටි නිසා ඉතින් කෝකටත් තෛලය මාය.පරිස්සම් කරන්න, ආදරේ කරන්න, ගහන්න, බනින්න, කඩේ අරින්න. මෙකී නොකී හැම දේටම.  
                                   නමුත්, මේ වෙලාවේ අම්මා සිටී නම් මට වාසියකි. මා හරි වුනත් වැරදි වුනත්, මේ වගේ ක්‍රියාවකට තාත්තා අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්නේය. ඔහු කියන්නේ විහිලු ඉවසීමට පුරුදු විය යුතු බවය. එයා නම් කියයි.මාර පුත්‍රයො එක්ක හැමදාම දුක් විඳින්න ඕනෙ මමනෙ. ඔවුන් තාත්තාට ඉතාමත් ආදරය කලහ. මාමේ කියා ඔවුන් නිතරම තාත්තා සොයාගෙන ආහ. ඔවුන් මට ගොඩක් රිද්දුවෙත්, තාත්තාගේ ආදරය මට වඩාත් ලැබෙන බව ඔවුන් දන්නා නිසාය. ඇයි? ඔවුන්ගෙ පියා? ඔබ ඇසීමට පුලුවන. අපෝ. එයා නම් මහ මුස්පේන්තුවෙක්.(ඒ වචනෙ විතරයි මට යොදන්න පුලුවන්.)
                                                    ඔහු  තම දියනියට හැර පිරිමි දරුවන් තිදෙනාට නිකරුනේ දඬුවම් කලේය. කිසි වැ‍රැද්දක් නැතිව වුනත් ඔවුන්ව ගස්වල බැඳ තැබීම ඔහුගේ විනෝදාංසය විය. එසේ කිරීමට කුමන හෝ සුලු  වැ‍රැද්දක් ඔහු සොයා ගනී. සමහර දාට මගේ පියා ‍රැ බෝවී ගෙදර එනතෙක්ම ඔවුන් ගස්වල බැඳ සිටිති. නැන්දා ඔවුන් ලිහීමට නොයයි. එසේ කලහොත් ඇයටද ගුටි බැට ලැබේ.
                                  දැන් සිතා බලන විට පියාගේ ආදරය නොලැබුන ඔවුන්, කරුනාවන්ත හිතක් ඇති, ඉවසිලිවන්ත,ආදරනීය 
මගේ  පියාගෙන් ආදරය බලාපොරොත්තු වීම යුක්තිසහගතය.  මගේ තාත්තා ඔවුන්ට ආදරේ නිසා ඔවුන්ගේ වැරදි පැමිනිලි කිරීම පලක් නැති ක්‍රියාවකි. එසේ කල හැම විටම මට ලැබෙන්නේ තරව‍ටුවකි. එය දන්නා නිසා ඔවුන්ගේ හිරිහැර වඩාත් උග්‍ර විය. නීලියා උව ත්මට මෙසේ කරන්නට ඇත්තේ ඒ  නිසා විය හැක.
                              මෙසේ  ගඟ ලඟ වැලි ගොඩේ අඬමින් සිටින මා හට චායාවක් නෙත ගැටිනි. අපේ ගෙට  පේන දුරින් සිටින ලොකු අම්මා (අම්මාගේ මව) කුමක් හෝ උවමනාවකට අපේ ගෙදර ඇවිත්ය.අම්මා නැති නිසා මා කුමක් කරන්නේදැයි බැලීමටයි ඇ පැමින ඇත්තේ. මා ගෙදර නැති නිසා ඇ ගඟ ලඟට පැමින ඇත.
                    ඇය දකිත්ම මා ඇඬිල්ල අලුත් කලෙමි. ඒවා පසුව මට පක්ශ සාක්කි බවට පත්වී 
තාත්තාගේ දඬුවමින් මා බේරා ගැනීමට ක්‍රියා කරයි.     
                     ලොකු අම්මා කාරනය ඇසුවාය. අනතුරුව වැඩි යමක් නොකියාම මා ඇගේ ගෙදර කැ‍ටුව ගියාය. අම්මා එනතෙක් මා එහි සිටි අතර ‍රැ බෝවී තාත්තාත් ආ පසු, මව හා පියා මහ ගෙදර ආහ. එයසිරිත් පරිදි සිදුවන දෙයකි. (මට සිදු වූ ඉතාමත්ම ත්‍රාසජනක අත්දෙකීමක්  මෙහිදී මට මතක්වේ. එයත් ලඟදීම ලියන්නම්. )        

 ලොකු අම්මා ඔවුනට කුමක් කීවාදැයි මම නොදනිමි. නමුත් ඉන් පසු අම්මා කිසිම විටක මා තනිකර කොහේවත් ගියේ නැත. යනවා නම් මා ලොකු අම්මා හා පුන්චා බාරයට පත්වේ. එය නම් සැබෑ සිර දඬුවමකි. වෙනදාට නම් අම්මා සුලු උවමනා සඳහා පිටට යනවිට නැන්දා මා බලාගනී. එවන් අවස්තාවකය මේ සිද්ධිය වුනේ.
     
 පසු දිනක, තාත්තා මා හා සෙල්ලම් කරමින් ඉන්නා විටක ඔහු මට මගේ සොයුරු සොයුරියන් සමග සිටිය යුතු ආකාරයත්, ඔවුන්ගේ පියා ඔවුන්ට ආදරය නැති නිසා අප ඔවුන්ට අනුකම්පා කල යුතු බවත් ,ඔවුන් සමග සාමයෙන් සිටිය යුතු බවත් පවසා, කුඩා දේ පවසා  අම්මාගේ හිත අවුල් නොකරන ලෙසත් මට කීවේය. අම්මා ඔවුන් සමග හිත නොහොඳින් පසු වූ බව මා දැන ගත්තේ පසුවය.  (අපේ දබර නිසා. එකට හතරයිනෙ!)ඒ නොහොඳ නෝක්කඩුව අපේ ජීවිත නොසිතූ විරූ ලෙස වෙනස් කෙරීය. ඒ විස්තරත් පසුවට.

            මා නිදි යයි සිතා මගේ ඇඳේ ඉඳගෙන අම්මා හා පුංචා කල කතා බහකට ඇහුම්කන් දී, තාත්තා මගේ  සිද්ධිය ගැන නැන්දාට දොස් පැවරූ බව දැන ගතිමි. කුඩා නීලියා බරක් පතලක් නොදැන එසේ කලත්, ඉන් මගේ ජීවිතයට හානියක් වීමට බොහෝ දුරට ඉඩ තිබිනි. දරුවන් ගැන වඩා අවදානයක් යොමුනොකල නිසාය තාත්තා නැන්දාට බැන්නේ.
                        ඒ සිද්ධියෙන් පසුව ඔවුන් පුරුදු ලෙස ඇසුරු කිරීමට මට ඉඩ නොලැබිනි. ඉන් වසර කිහිපයකට පසුව මා පියා ඔහුගේ තාත්තා සමග වාසය කිරීමට ගියේය. නමුත් මගේ ඉගෙනීමේ කටයුතුවලට  බාධා වෙන නිසා මා මෙහි දමා යාමට ඔවුන් තීරනය කලහ.
                  මා ලොකු අම්මාගේ බාරයට පත් විය.සමහර විට මා ගෙදර තනිව සිටින විට නැන්දාගේ දරුවන් සමග මා සෙල්ලම් කල හැටි, කුස්සියෙන් හොරෙන්කෑ හැටි මතක් වන විට සිතට දුකක් දැනිනි. කුඩා වුවත්, මේ ගැටලුව දුර දිග යාමට මාත් වගකිව යුතු බව මට ඉවෙන් වගේ හැඟිනි.නමුත් ඒ සිදුවීම නම් කුඩා මට කිසිසේත් සිතේ සඟවාගත හැකිවූවක් නොවේ.

                              ඔන්න ඔහොමයි මම ග‍ඟේ නෑවේ. ඉන් පසුව කිහිප විටක්ම මා පීනීමට උත්සාහ කලද, එක්වරම අර සිදුවීම සිහියට එයි. එවිට මගේ මුලු ඇඟම හිරි වැටී යනවාක් සේ දැනේ. පසුව මම උත්සාහය මුලුමනින්ම අත් හැර දැම්මෙමි.වැහිඩිටියෙක් වූ පසු, ඒ නොහැකියාව නිසා මට බොහෝ අපහසුතාවලට හා ලැජ්ජාවන්ට මුහුන දීමට සිදුවිය.


 නමුත් මේ සිද්ධිය මම කිසිවෙකුට නොකිව්වෙමි. එය මගේ සැමියාවත් දන්නවාදැයි සැක සහිතය. නමුත් දැන් ඔබ සැම එය දනිත්. ඉඳින් මා කෝප්පයෙන් නානවා ඔබ දු‍ටුවොත් මට සිනා නොවෙතැයි සිතමි.