Tuesday, August 6, 2013

හෝරාවේ සිහිනය -The Dream of an Hour






                                                              මැලාඩ් මහත්මිය හදවත් රෝගයකින් පෙළෙන්නියක් වූ බැවින්, ඇගේ සැමියාගේ මරණය හැකිතාක් පරිස්සමින්, මුදු ලෙස, ඇයට පැවසීමට වග බලා ගන්නා ලදී.

අසම්පූර්ණ වැකිවලින් හා සැඟවුන ඉඟිවලින් ඇයට එය පවසනු ලැබුවේ ඇගේ සොයුරිය විසිනි.එය පවසන මොහොතේ, බ්‍රෙන්ට්ලි මැලාඩ් මහතාගේ හොඳම  මිතුරා, රිචර්ඩ්ස් ද එහි සිටියේය.පුවත් පත් කාර්යාලයට දුම්රිය අනතුර පිලිබඳ පුවත ලැබුන මොහොතේ ඔහුද එහි විය.මියගිය අයවලුන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තිබූ බ්‍රෙන්ට්ලි මැලාඩ් ගේ නම දු‍ටුවේ ඔහුය.තවත් විදුලි පුවතක් යවා මරණය ගැන සැක හැර දැනගත් ඔහු අප්‍රවේසම්කාරී, අසංවේදී වෙනත් මිතුරෙකු එම තොරතුර දැනුම් දීමට පෙර ඔහුම එය දැනුම් දීමට යුහුසුළු විය.


එම පුවත ඇසූ විට මැලාඩ් මහත්මිය, අනෙක් බොහෝ කාන්තාවන් මෙන් වික්ශිප්තව, එම පුවතෙන් දනවන දේ වටහා ගත් නොහී, ගල් ගැසී බලා සිටියේ නැත.එක්වරම ඇය, තම සොයුරියගේ දෑතට වැටී, වැළපීමට පටන් ගති.සෝ සුසුම් කුණා‍ටුව පහව ගිය පසු කිසිවකුටත් තමා පසුපස ඒමට ඉඩ නොදී ඇය තනිව කාමරයට පිවිසුනාය.
                 එහි, පිටට විවර වූ ජනේලයට මුහුණ ලා තිබූ, සැප පහසු සැටියේ වැතිරුන ඇයට, තම සිරුරේ මුළු ජීවය සිඳී ගිය බවත්, එය ඇගේ ආත්මය දක්වා ආක්‍රමණය කරන බවත් දැනිණි.

        තම නිවස ඉදිරිපිට බිම් කඩේ වසත් කල ජීවයෙන් උතුරා ගිය තුරු මුදුන් ඇගේ නෙත් ගැටිණි.වැස්සේ ඉමිහිරි සුවඳ වා තලයේ මුසු වී තිබිණි. පහල වීදියේ වෙලෙන්දෙක් බඩු අලෙවි කරමින් සිටියේය.ඇතින් යමෙක් ගයන ගීයක රාවය යාන්තමට සවන් මුසු විය. පොල්කිච්චන් ‍රැළක් කිචි බිචි ගාමින් පරාලයේ වැසූහ.බටහිරින් පැවූ වැහි වලා අතරින් නිල් අහස ඇයට  දෘශ්‍යමාන වන්නට විය.දිස්විය.

  සැටියේ හිස තබා ගත් ඇය නොසෙල්වී ඉදිරිය බලා සිටියාය.ඇඬීමෙන් හොඳටම හෙම්බත් වූ දරුවෙකු නින්දේ දි ඉකි ගසන්නා සේ, සුසුමන් සමග අතරින් පතර ඉකියක්ද ඉබේම ඇගේ මුවින් පිට විය. 


 ඇය තරුණය.එක්තරා අන්දමක සවිමත් බවක් හා ස්වයං විනයක් පිළිබිඹු කරන පැහැපත්, නිසල වතක් ඇයට හිමිව තිබිණ.නමුත් දැන්, ඒ  දෙනෙත්වල තිබුනේ අහසේ  දුර ඉසව්වකට නිශ්චිතව යොමුවී තිබූ අඳුරු හිස් බැල්මකි. එය අතීතය මෙනෙහි කරන්නක් නොව, අනාගතය කුමක් වේ දැයි නොදන්නා කෙනෙකුට  ඇතිවෙන බිය හා තිගැස්ම කැටි කරගත් හැඟීමකි.

                       ඇය හෙමිහිට තමා  වෙතට එමින් පවතින සිතුවිල්ලකට අවදි වෙමින් සිටියාය.ඇය බියෙනි. නමුත්, ඒ සිතිවිල්ල කුමක්ද කියා නිසැකවම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇයට නොවීය.එය එතරම්ම සියුම් සිතිවිල්ලකි.එය නිල් ගුවනේ සිට නාදයන්, ගන්ධයන් හා පැහැයන් පසු කරමින් ඇය වෙත කෙමෙන් පැමිණෙමින් සිටියේය.
                              ඇගේ ලැම වේගයෙන් උස් පහත් විය.ඇගේ චිත්ත සන්තානය  තමා වෙතට ලඟා වෙන ඒ හැඟීම, හඳුනා ගැනීමට උත්සාහ දැරීය.
                     එය පළවා හැරීමට හෝ පිලිගැනීමට තරම් සවියක් ඇයට නොවීය.ඇගේ සිහින්, සියුමැලි, කුඩා දෑත් මෙන්ම ඇගේ සිතද ඒ ලඟා වෙන මනෝ භාවයන් පළවා හැරීමට අපොහොසත් විය.
                   උත්සාහය නිෂ්ඵල බව දැන ගත් පසු ඇය ඒවාට රිසි සේ, මනස තුල සැරි සැරීමට ඉඩ හැරියාය.සිහින් කෙඳිරිලි හඬක්, මඳක් විවර වූ තොල්වලින් පිට විය. ඇය මුදුව, පුන පුනා එය උච්චාරණය  කළාය.
                   " මම දැන් නිදහස්.  මම දැන් නිදහස්.  ........නිදහස්.  .........නිදහස්. "

             හිස් බැල්ම හා බියපත් පෙනුම ඇගේ නෙතු අගින් පලා ගියේය. ඒවා උද්‍යෝගයෙන් හා දීප්තියෙන් ජ්වලිත විය.නාඩි වැටීම වේගවත් විය.උනුසුම් රුධිරය  සෑම අඟලක්ම ලිහිල් කරමින් මුලු සිරුර පුරා දිව ගියේය.

                 ඇගේ මනස නිකුත් කල නිරවුල් උපදෙස් හමුවේ, තමා  මේ මොහොතේ   අත් විඳින්නේ, බිරිඳක නොසිතිය යුතු ආකාරයේ අදමි‍ටු සතුටක් දැයි   සිතීමට ඇයට ඇවැසි නොවීය.

        කෙසේ නමුත්, ඇයට අදරින් සැළකූ දෑත්, මරණයේ සළකුනින් එකට බැඳී තිබෙනු දකින විට, තමා දෙස සැමදා සෙනෙහසින් බැලූ මුව අළු පැහැ ගැන්වී, නිසොල්මනේ තිබෙනු දකින විට තමා නැවත වැළපෙන බව ඇය දත්තාය.
            නමුත්, ඒ වේදනාකාරී   අමිහිරි මොහොතෙන් පසු තමා ඉදිරියේ දිග ඇරෙන, තමන්ටම පමණක්  උරුම වූ ,රිසි සේ ගතකළ හැකි වසර ගනනාවක් ඇය මනසින්  ආවර්ජනා කළාය. තම දෑත් දිගු කර අදරින් ඒ කාලය වැළඳ ගත්තාය.
         ඒ කාලය අතරතුර, ඇය අන් කිසිවෙකුත් වෙනුවෙන් නොව, තමා වෙනුවෙන්ම ජීවත් වනු ඇති. චේතනාව යහපත් හෝ අයහපත් වුවත්, අපරාධයක් ලෙස ඇය සැලකූ, තමා ගන්නා තීරණ, තම සමග වෙසෙන අනෙක් සහෘර්දයා මත බලෙන් පැටවීමට අයිතියක් ඇතැයි සිතන ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ සිතුම් පැතුම් තව දුරටත් ඇයට අදාල නොවනු ඇති!

            ඔවුන්ගේ විවාහ දිවියේදී ඇය ඔහුට ආලය කළාය. නමුත් එසේ නොවූ අවස්ථා ඊට වඩා බොහෝ වැඩි විය.මේ මොහොතේ, තමාගේ මුළු සිරුරම වෙලාගත් ඒ  අතිශය ප්‍රබල හැඟීම ඉදිරියේ,සසඳන  කල, ලොව සදා නොවිසඳුන අභිරහසක් සේ සැලකෙන මේ ආලය, කවර නම් හැඟීමක්ද?

                  "නිදහස්. මම දැන් නිදහස්. සිතෙනුත් ගතිනුත් නිදහස්. " ඇය උනුසුම් හැඟීමකින් තොල මතුළාය.

මේ අතර ඇගේ සොයුරිය, ජොසපින්, වැසුන දොරේ, යතුරු සිදුරට මුව තබාගෙන ඇයව ඇතුලට ගන්නා ලෙස, අයැදිමින් සිටියාය. 
    "ලුයිස්, මේ දොර අරින්න. ඔයා අසනීප වේවි.දෙය්යන්ගෙ නාමෙට දොර අරින්න. "

               " අහකට යන්න. මට ප්‍රශ්නයක් නෑ. මම හොඳින්. "

                               නැත. ඇය තම ජීවිතයේ උපරිම රස මිහිර, විවර වූ කවුලුවෙන් දිස් වූ සොඳුරු වටපිටාවෙන් උකහා ගනිමින් සිටියාය.
                                   තමා ඉදිරියේ ඇති සදා සොඳුරු දිවිය ගැන ඇගේ සිතිවිලි, සුරඟන සිහින දැක්කේය.වසන්තය, ගිම්හානය ඇතුලු දවසේ හැම තත්පරයක් ම ඇයටම  වෙන් වූ කාලය.ඇය තම දිවිය වඩාත් දිගු වේවා යි ඉක්මන් පැතුමක් පැතුවාය. 
                    ජීවිතය කොතරම් දිගු වනු ඇතිද කියා ගැහෙන හදින් සිහිපත් කලේ ඊයේ බව හදිසියේ ඇයට සිහි විය.

              තම සොයුරිය ගේ හඬ නැවත ඇයට ඇසිණ.

 ඇගේ නෙත් දිලිසිණි.ජයග්‍රහණයක සේයාවක් ඒවා තුල සැඟවී ගියේය.සටන් බිම ජය ගත් ‍රැජනක සේ ඇය තම සොයුරිය අසලට සෙමෙන් පා තබා ආවාය.සොයුරිය ගේ ඉඟට අත දමා ගත් පසු, දෙදෙනාම හිණි පෙල බැස්සහ. එහි පාමුල රිචඩ්ස් බලා සිටියේය.

          කවුදෝ ඉදිරි පස දොර, යතුරකින් අරිනවා ඔවුනට ඇසිණි.ඇරුන දොරෙන් ඇතුළට ආවේ  අන් කිසිවෙක් නොව බ්‍රෙන්ට්ලි මැලාඩ් ය.

                      කුඩා සූට්කේසයක් හා කුඩයක් අතැතිව විඩාබර මුහුනින් ඔහු කාමරයට පා තැබීය.

                 අනතුර සිදුවන විට, ඉන් බොහෝ දුර බැහැර පෙදෙසක සිටි නිසා, එවන් අනතුරක් ගැන හාංකවිසියක් වත් ඔහු නොදැන සිටියේය. ජොසපින් ගේ, තියුණු, හද පසාරු කරන තරම් වූ ස්වරයකින් කැ ගැසීමත්, රිචඩ්ස්, තම සිරුරෙන්, බිරිඳ ගේ දෘශ්‍ය පථය අවහිර කරනු ලැබීමත්, ඔහු මවිතයකින් හා වික්ශිප්ත බවකින් කාමරය මැද සිටගෙන බලා සිටියේය.

            නමුත්, ඒ වන විටත් රිචඩ්ස් ප්‍රමාද වැඩිය. වෛද්‍යවරු කැඳ වන විටත් ඇය මිය ගොස් සිටියාය. 

              එය අධික සොම්නස නිසා සිදු වූවක් බව ඔවුහු තිරණය කළහ.


පසු වදන


Kate Chopin ගේ  1894 දී ලියවුන  The Dream of an Hour නම් කෙටි කතාවේ පරිවර්තනයකි.


මිසිස් මැලාඩ් ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවාද?




35 comments:

  1. මිසිස් මැලාඩ් වැරදි නෑ...

    වෙලාවකට මාත් ඔහොම හිතනවා... ඒත් වැඩි වෙලාවක් යන්න කලින් යථාර්ථයට ඇඳගෙන වැටෙනවා...

    ReplyDelete
  2. එහෙනම් ඔයත් තවත් මිසිස් මැලාඩ් කෙනෙක්. මම එක කමෙන්ට් එකක් හරි එයි කියල බලන් ඉඳල ශට් ඩවුන් කරනකොටමයි ඔයා ඇවිල්ල තියෙන්නෙ. ස්තූතියි ගොඩ වැදුනට.

    ReplyDelete
  3. මිසිස් මැලාඩ් සතුටයි දුකයි අතර සංක්‍රමණය වෙන්න නොදන්න කෙනෙක්.. ඒ මිහිර තාවකාලික එකක් කියල එයාට ශක්තිමත්ව හිතන්න තිබුනා එහෙමනං.. සතුටට තව දුර බව තේරුං ගත්තනං හරි.. අයියෝ අනාථයි. කතාව නියමෙට තියෙනවා නිල් මානේල්. හුගක්ම ලස්සනයි.. පරිවර්තනය

    ReplyDelete
  4. බලාපොරොත්තු කඩවීම ගොඩක් අයට දරන්න අමාරුයි.බලාපොරොත්තුව ලොකු වුන තරමට වේදනාවත් වැඩියි නෙ. එයාට හාට් කේස් එකක් තිබුන හින්ද තමා ඔහොම වුනේ. පව් නේද?

    ReplyDelete
  5. මේ අන්තිම කෑල්ල කින්ඩියට දාපු කෑල්ලක් නේද?

    බැඳපු හැම එකාම හිතන්නේ, තනිකඩ ජීවීතේ කොච්චර ආතල්ද කියලා. තනිකඩ එකට බැඳගන්නකං නින්ද යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්. දොස්තරල හිතුවෙ සැමියා ආව නිසා සතුට වැඩි කමට මැරුන කියල. ඒත් මට හිතෙන හැටියට ( මට හිතෙන හැටියට කියල දැම්මෙ, ඩූඩ් ගෙ කමෙන්ට් එක කියෙව්වට පස්සෙ. ) එයා මැරුනෙ බලාපොරොත්තු කඩ වීමෙන් උපන් ශෝකය නිසා.

      Delete
  6. නිල් මානෙල් ඔයාගේ පරිවර්තන නම් සුපිරියි.

    මේකේ ඇතුලාන්තය ගැන කතාව කියලා නැහැනේ. මෙන්න මේකයි උනේ

    බ්‍රෙන්ට්ලි මැලාඩ් කොටි ගණනාවක ජිවිත රක්ෂණයක් ලබාගෙන තිබුනා. මිසිස් මැලාඩ් මුලින් කල්පනා කලේ මේක ලබාගෙන සතුටින් ඉන්න එක ගැන, නමුත් අවාසනාවක තරම, බ්‍රෙන්ට්ලි මැලාඩ්ව දැක්ක ගමන් බලාපොරොත්තු ඔක්කොම සුන්වුනා. ඔන්න cause of death

    ReplyDelete
    Replies
    1. එහෙම වුනා නම් කතාව හරි sensational නේද? අපරාදෙ, එක්දස් අටසිය ගනන්වල ඒ ප්‍රවනතාවය ඇවිත් තිබුනෙ නැත්තෙ. සුපිරි කියන වචනෙට මට හරි සතු‍ටුයි!

      Delete
  7. මම මේ ලඟදිත් කමෙන්ට් එකක උදාහරනෙකට ගත්ත The Dear Departed කතාව මට මතක් වුනා. නිල් මානෙල් ඒක නොදැන ඉන්න හැටියක් නෑ. අර O/L An Anthology of Literature පොතේ තිබ්බේ.

    මේකට කමෙන්ට් කරන කොට පරෙස්සම්වෙන්න ඕනේ.

    මාතලං කිව්ව එක එක පැත්තක්. නිල් මානෙල් අපිට යෝජනා කරන එක තව පැත්තක් ඔව් Ayilas කියන එකත් එහෙමයි. නමුත් ඕකෙ මෙහෙම දේකුත් තියෙනවා.

    සමහර විට අධික දුක දරාගන්න safety mechanism එකක් හැටියට හිත ප්‍රතිවිරුද්ධ දේ හිතන්න පෙළඹෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට කෙනෙක් අහිමි වුනාම අපි එයාගේ නුගුණ හිතට නගා ගන්න උත්සාහ කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. You are a very cautious man!)

      එයාගෙ චරිතෙ එක එක විදියට ඇනලයිස් කරන්න පුලුවන්. නමුත් ලේඛිකාව මිසිස් මැලාඩ් ගෙ චරිතය ඉදිරිපත් කරන්නෙ විවාහය හා එහි නීති රීති නිසා අසහනයට පත් වෙලා ඉන්න කාන්තාවක් හැටියට. මේ කතාව ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුනාලු. මොකද ඒ කාලෙ තමයි ඇමෙරිකාවෙ Women's liberation movement පටන් අරන් තියෙන්නෙ.

      http://en.wikipedia.org/wiki/The_Story_of_an_Hour
      මේකෙනුයි ඒ ගැන දැන ගත්තෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  8. ගොඩාක් ආසාවෙන් කියෙව්වේ මානෙල් ...

    මැලා ඩ් ගැන පව් කියලත් හිතෙනවා ,විවාහ ජීවිතේ හිරවීම් වැඩි උනහම කාට උනත් ඔහොම හිතෙන්න පුළුවන් ..අපි ඉතින් පෘතග්ජන මිනිස්සු වෙච්චි :D

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ට දාපු කමෙන්ට් එකක් ඔයට වැටිල තියෙන්නෙ. මැලාඩ් ගෙ ගති අපිටත් ටික ටික තියෙනව කියල මට හිතෙන්නෙ.

      Delete
  9. sorry. Dear Departed මම උගන්නල තියෙනවා. නියමයි නේද තාත්තා දුවල තුන් දෙනාට දෙන දඬුවම දේපලවලට කෑදර වීම නිසා.

    ReplyDelete
  10. ඕං අපිත් ආවා ඇ

    ReplyDelete
  11. තෑන්ක් යූ. තැන්ක් යු. මටත් ඔබේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. ඉක්මනටම එන්නම්.

    ReplyDelete
  12. අධික සතුට නෙමේ අධික ශෝකය නිසා වෙන්න ඕනා... මම නිදහස් කිය කිය හිටපු ගෑණිට මැරුනයි කියපු මිනිහව දැක්කම අධික සතුටක් එන්න විදිහක් නෑනෙ.. දැන් මිස්ට මෙලාඩ්ටනම් හිතෙනවා ඇති මිනිහා නිදහස් කියලා..

    පරිවර්තනය බොහොම ඉහලයි.. උසස්යැයි සම්මත පරිවර්තන වල රසය එලෙසින්ම තිබුනා කියන්න පුළුවන්.. වන් මෝ මෑම්...

    ReplyDelete
  13. එතන තියෙන්නෙ sarcasm. මහත්තයගෙන් නිදහස් නිසා ඇතිවුන සන්තෝසය නැවත් නැතිවීම දරා ගන්න බැරිව ගියා.
    බොහොම ස්තූතියි කම්ප්ලිමන්ට් එකට.

    ReplyDelete
  14. අෆ්ෆා, විවාහ ජිවිතේ හිර ගෙයක් වෙච්ච කාන්තාවෝ නම් ඒමට ඉන්නවා....

    එක අතකින් අපේ රටේ තියෙන සිස්ටම් එක මහා පඩත්තල එකක්. ගෑනියෙක්, මිනිහෙක් එකට ඉන්න බැරිව වෙන් උනොත් එදා ඉඳන් සමාජෙම බලන්නේ චොර ඇහැකින්...

    සැ.යු : මෙය නෙහාර, නිරෝෂා වගේ වැදගත් අයට අදාළ නැත.

    ReplyDelete
    Replies
    1. ඔව්.ගොඩක් පවුල්වල අන්‍යෝන්‍ය අවබෝධය අඩුයි. වෙන් වුනාම සමාජය ඇඟිල්ල දික් කරන්නෙ කාන්තාවට වැ‍රැද්ද කාගෙ වුනත්.

      Delete
  15. කලින් දවසක කලබලෙන් වගෙ ඇවිත් ගියා. නිවී සැනසිල්ලෙ කියවන්න ඕන කියල හිතුනු නිසා කමෙන්ට් නොකරම ගියා. ඔන්න අද තමයි කියෙව්වෙ..

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තූතියි. ඒත් ඔබ කියල නෑනෙ මිසිස් මැලාඩ් ගැන ඔබ හිතන්නෙ මොනවද කියල.මාත් රා පීල්ලට ආව. බාගයයි කියෙව්වෙ. ඒක රස විඳින්න හිමිට කියවන්න ඕනෙ.

      Delete
    2. මිසිස් මැලාඩ් මැරෙන්න ඇත්තෙ ලැබුනයි කියල හිතුනු නිදහස සුළු මොහොතකින් නැති වුනු නිසා. ඒ විදිහෙ හිතන කාන්තාවො ඉන්නව. මොකද ස්වාමියා ගෙදර අපායක් බවට පත් කරනව නම්, ඒ අය එහෙම හිතන තැනට පත් වෙනවා.. එහෙම තත්ත්වයන් මං දැකලත් තියනවා..

      Delete
    3. ඔව්. ගෘහස්ත හිංසනය බොහොම සුලබ තත්වයක් නෙ ලංකාවෙ. එහෙම වෙන්නෙ නූගත් කියන පිරිමි අතින් පමනක් නෙවෙයි. හොඳ උගත්කමක් තියෙන, සමාජයේ හොඳ පිලිගැනීමක් ඇති අයත් එහෙම කරනවා.

      Delete
  16. මාරම ගෑණු තමයි අෆ්ෆා ඉන්නෙ :(

    ReplyDelete
  17. ගෑනු එහෙම තමයි. හොඳට ස්ටඩි කරලා තමයි කසාදයක් කර ගන්න වෙන්නෙ.

    ReplyDelete
  18. එහෙම පසුබට වෙන්න එපා.තව කල් තියෙනවනෙ.

    ReplyDelete
  19. පරිවර්තන කියවන එක මම නවත්තලා හිටියේ, මොකද සමහර පරිවර්තකයෝ මුල් කෘතිය කන නිසා, එත් බ්ලොග් කියවන්න ගත්තම දැක්කේ ඇත්තටම හොද පරිවර්තකයෝ ඉන්නේ බ්ලොග් වල, මේ විදිහට කියවන්න ආස හිතෙන විදිහට පරිවර්තනය කරන එක ලේසි වැඩක් නෙවෙයි, ඔබ ඒ සඳහාම උපන් අයෙක් බව පෙනේ, ජය වේවා, දිගටම ලියමු, අපි දිගටම කියවනවා.

    ReplyDelete
  20. බොහොම ස්තුතියි අගය කිරීමට. නිහතමානි සතුටක් දැනනවා. දිගටම පරිවර්තනය කිරීම තමා බලාපොරොත්තුව.

    ReplyDelete
  21. පරිවර්තනය ෙහාදයි දිගටම එහි නියැෙලන්න

    ReplyDelete