මට මතක ඇතිදා සිට ගිං ඔය මගේ තනියට සිටියාය. කුඩා කල මා හැදීවැඩුනේ ගිං ඔය අසබඩ කුඩා නිවසකය. එකල ගං ඉවුරේ සිට මගේ ඥාති සොයුරන් තිදෙනා හා මා හා සම වයසේ පසුවූ මගේ ඥාති සොයුරිය දිය බුං ගසනවා විස්මය පිරි දෙනෙතින් බලා සිටියෙමි. මගේ පියාගේ වැඩිමල් සොයුරිය වාසය කලේ අපට යාබද නිවසේය. එබැවින් මගේ මව හා නැන්දා උයා පිහා අහවර වීමෙන් අනතුරුව අප සැම කැටුව ගඟට යන්නෝය.මව හා නැන්දා රෙදි සේදීම අරඹන අතර ඉතිරි සැමෝම දියට පනිති.මා විතරක් ගං ඉවුරේ ඉතුරුවේ.(ගිං ඔය අසල හැදී වැඩුනත් මට පීනීමට බැරිය. එය ත්‍රාසජනක කතාවකි. පසුව කිවීමට බලාපොරොත්තු වෙමි.)
හවස් කාලයේ සැවොම නිදියන විට මම ගං ඉවුරේ වාඩිවී ගඟ දෙස බල සිටීමට පුරුදුවී සිටියෙමි. නැතහොත් ගං ඉවුර දිගේ ඇවිද ගොස් කිරල ගෙඩි අහුලා කැවෙමි.
සමහර දිනවල අය්යලා ඔරු පදින විට මර බියෙන් වුවද එහි වාඩිවී ගියෙමි.
මා තරමක් ලොකුවූ විට සීයා සමග දැල් ගසා මාලු ඇල්ලීමට ගියෙමි. (මාලු ඇල්ලුවේ මා නොව සීයාය. මම ඉස්සන් හා මාලුන් එකතු කලෙමි.)
සමහර දාට ආච්චි සමග පන් කැපීමට ගියෙමි. ආච්චීට ලස්සනට පැදුරු විවීමට පුලුවන.
යාලුවන් නොසිටි, කුඩා කල සිටම කුලැටි, ලැජ්ජාශීලි ලමයෙකුවූ මා තනිකම පාලුව මකා ගත්තේ ගඟ සමීපයේ ගැවසෙමිනි.මා හා කතා නොකලත් ගඟ මා තේරුම් ගත්තා යයි මට සිතේ. තනිකම මැකීමට ස්වභාව ධර්මයේ පිහිට පැතිම නිසා එහි මිහිර මගේ චිත්ත සන්තානයේ ගැඹුරට කිඳා බැස්සේය.
මා කියවීමට හා ලිවීමට හුරු වුනේත්, ස්වභාවධර්මයේ ලස්සන රස විඳිය හැකි මනසක් ඇතිවුනේත් ගඟ අසබඩ ගතකරමින් මා ලබාගත් අත්දැකීම් නිසාය.
දිය පහරක ඇති මිහිරියාව, පිවිතුරු බව හා විඩාබරිත සිත් සතන් සනහාලීමේ ගුනය මා ගිනිය නොහෙන වාරයක් පසක් කොටගෙන ඇත්තෙමි.
එබැවින් මගේ නව බ්ලොගය "ගිං ඔය අද්දර" කියා නම් කිරීම වඩාත් සුදුසු යයි ඔබ නොසිතන්නේද?