Friday, November 14, 2014

ඔබ ජුපිටර් ග්‍රහයා මිලදී ගැනීමට කැමතිද?



                                       ඇත්ත වශයෙන්ම ඔහු කොපමණ 
 ශූර ලෙස  තම පරිසරයට අනුගත වීද කිවහොත් ශක්ති පරිනාමික 
ගුවන් නැවේ සිටිනා අධික උනුසුම්,ස්වේතවන් තාප ශක්තියක් ලෙස
 ඔහු  සැලකීම ඔහු හා ගනුදෙනු කරන ජීවින් අමතක කර දමා තිබිණි.
    තේජස විහිදුවන සුළු රන්වන් යටි රෑවුලකින් හා තද දුඹුරු නෙත් සඟලකින් යුත් ඔහුමුදුව මෙසේ පැවසීය.
         "අපට ඔබේ සැකය හා පසුබෑම  වැටහෙන නමුත්,මින් කිසිම හානියක්  වීමට ඔබට ඉඩ නොතබන බෑව් සහතික වෙන්න පුලුවන්.අප O- Spectra තරු පන්තියේ ග්‍රහ ලෝකයක වසන නිසා ඔබේ හිරුගේ උනුසුම හා ශක්ති ජනනය පවා අපට සෑහෙන්නේ නෑ. එමෙන්ම ඝන ද්‍රව‍යයෙන් තෑනුන ග්‍රහලෝක  අපට සම්පූර්නයෙන්ම ගන්තුකයි."
මිනිස් ජීවීන් වෙනුවෙන් ගනුදෙනු කරන්නා, ( සැමගේ එකඟතාව මත විද්‍යා ඇමති පත් කර ගන්නා ලදී)
              "නමුත් අපේ ග්‍රහ ලෝකය ඔබේ ප්‍රධාන  වෙළඳ මාර්ගයක් හරහා වැටී ඇති බව ඔබ පිළිගත්තා" යයි කීය.
    "ඇත්තෙන්ම ඔව්."

 "වෙළඳ මාර්ගයක ස්ථානයක් සතුකර ගනීම යනු,එහි යුධමය වටිනාකම වැඩි වීමයි.ඒ නිසා, අපේ පූර්ණ සහයොගය ඔබට ලබා ගනීමට නම්, ඔබට ජුපිටර් ග්‍රහයා අවශ්‍ය කුමන කරුණකටද කියා අපට නොවලහා පැවසිය යුතුයි."
                           සුපුරුදු ලෙසම, ඒ පැනය විමසන සෑම විටකම    මෙන් ව්‍යාජ රූපකයා ගේ මුහුන අඳුරු විය." එහි රහස්‍ය බව ඉතාමත් තීරනාත්මකයි. ලැම්බර්ජ් ලා...."

" හරියට හරි." විද්‍යා අමාත්‍යවරයා දෙඩීය.

 " ඒ වදන් නම් අපට ඇසෙන්නේ ඔබ හා ඔය කියන ලැම්බර්ජ්වරු අතර නුදුරේම ඇවිලීමට යන යුද්ධයක පෙර නිමිති වගේ."

  ව්‍යාජ රූපකයා හණික මෙසේ පැවසීය.
 " ඒ නිසා තමයි, අප ඔබට මෙතරම් විශාල මුදලක් පිරි නමනු ලබන්නේ.ඔබේ සෞර මන්ඩලයේ තවමත් ජනාවාස වී ඇත්තේ අභ්‍යන්තර ග්‍රහ ලෝක පමණයි.ඒවායින් අපට කිසි වැඩක් නෑ.
සමාවන්න මෙසේ පවසනවාට.අප ඉල්ලන්නේ, ඔබට කෙදිනකවත් විසීමට හෝ අඩුම තරමේ ගොඩ බැසීමටවත්  බැරි ජුපිටර් ග්‍රහයා පමණයි. ඒ ග්‍රහයා ඔබට පාලනය කළ නොහැකි තරම් විශාලයි." සරදම් සිනහවක් ඔහු ගේ තොලේ ලෙළදිණ.

 ව්‍යාජ රූපකයා ගේ හැසිරීම ගනනකට නොගත් අමාත්‍යවරයා, "ළඟදීම ජෝවියන් උප ග්‍රහයා ජනාවස වේවි" යැයි  තෙපළේය.
" ඊට අපෙන් කිසිම බාධාවක් හෝ විරෝධයක් නෑ.ඒවා ඔබ කැමති අයුරකින්, හැසිරවීමේ පූර්ණ නිදහස ඔබ සතුයි. ඒ සඳහා, ඔබට සිතාගන්නවත් බෑරි තරමේ, විශාල මුදලක් ගෙවීමට අප සූදානම්.අපට ඇවැසිතාවක් තිබුනි නම්ඔබේ කැමැත්ත නොවිමසාම, ජුපිටර් අප සතු කර ගැනීමේ හැකියාව අප සතුව තිබෙනවා. නමුත්, අනාගතයේ ඇතිවිය හැකි  නීතිමය ගැටළු මග හරවා ගැනීමට ඇවැසි නිසා තමයි, අප මුදල් ගෙවා, ජුපිටර් ග්‍රහයා ගේ නීත්‍යානුකූල භාරකාරීත්වය ලබා ගන්නට උත්සාහ කරන්නේ. මා කතා කරන්නේ හිතට එකඟව සම්පූර්ණ සත්‍යය."
  ඇමතිවරයා තම පැනය පුනරුච්චාරනය කළේය. "ඔපමන තදබල ලෙස ඔබට ජුපිටර් අවශ්‍ය ඇයි?"

"මේ  ලැම්බර්ජ්වරු....."

" ඔබ ලැම්බර්ජ්වරු සමග යුද වැදීමට යනවාද? "

" ඒක එහෙම....."
                                            
       "මක්නිසාද යත්, එය එසේ නම්, ඔබ ජුපිටර් මත කඳවුරු බඳීවි. එසේ කඳවුරු බැඳිමට ඉඩ දීම ගැන විරෝධය පාමින්, ලැම්බර්ජ්වරු, අපට ප්‍රහාරයක් දියත් කරාවි. ඉදින්, එවන් අවදානම් අවස්ථාවකට මුහුණ දිමට අප කොහෙත්ම සූදානම් නෑ."

"මම වරක් පැවසුවානෙ, ඔබ කිසි දෙයකට බිය විය යුතු නෑ. ඉන් ඔබට කිසිම හානියක් නැතත්, ලැබෙන ප්‍රති ලාභය ගිණිය නොහැකි තරම් විශාලයි. ඔබේ ලෝකයේ, වාර්ෂික බල ශක්ති පරිබෝජනය කෙතෙක්ද, ඒ හා සමාන ප්‍රමානයක් අඩංගු බල ශක්ති බහාලනයක්, වාර්ෂිකව ඔබට ප්‍රධානය කෙරෙනවා ඇති."

"අනාගතයේ වැඩිවන බල ශක්ති අවශ්‍යතාවන්ටත් සරිලන තරමේ?"
 " සත්තකින්ම ඔව්. වත්මන් ප්‍රමාණයට වඩා පස් ගුණයකටත් වැඩියෙන්."
" හොඳයි. මා කලින් පැවසූ ලෙස, රජයේ ඉහලම තලයේ නිල දරුවෙක් නිසා, ඇවැසි තීරණ ගැනීමේ බලය මා සතුයි. නමුත්, මට අවැසි ඕනෑම දෙයක් කිරිමට තරම්, අසීමිත බලයක් මා සතු නෑ. 
 මට ඔබේ වදන් විශ්වාස නමුත්, ඔබට ජුපිටර් අවශ්‍ය කරුණ, නිසැකවම දැන ගන්නා තුරු, ඔබේ කොන්දේසි වලට එකඟ වන්න බෑ.ඔබ අවංකව අදහස් ප්‍රකශ කරන බව අපට ඒත්තු ගියහොත්, රජයත්, ඒ හරහා ජනතාවත්, ඔබේ ගිවිසුමට එකඟ කරවා ගැනීමට මට හැකි වේවි.
නමුත්, කිසිම පැහැදිලි කිරීමක් නොමැතිව, මා තනි කැමැත්තට, ඔබ හා ගිවිසුමකට එලඹුනහොත්, මගේ තනතුරෙන් පවා මා පහ කෙරේවි.මුලු පෘතුවිය ම ඔබේ යෝජනාවලියට විරෝධය පාවි.
ඔබ වරක් පැවසූ ලෙස, ජුපිටර් බලෙන් අත්පත් කර ගැනීමේ හැකියාව  ඔබ සතු නමුත්, එහිදී ඈතිවන නිතිමය ගැටළු තත්වයන් නිසා ඔබ ඒ ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්න මැලිවන බව පවසා සිටියානෙ."

 ආරූඪ රූපකයා මුවෙන් අමුතු හඬක් පිට කළේය.


"ඔබ සමග මේ නිශ්ඵල වාද විවාදවල පැටලීමට මට කිසිම වුවමනාවක් නෑ.ලැම්බර්ජ්ලා..........." ඔහු එක්වරම තමා පවසමින් සිටි වැකිය ගිලගත්තේය.
         "ඔබ කියන ඕනෑම ලෙසකට පොරොන්දු වීමට මා සූදානම්."   


              සෑහෙන වේලාවකට පසු,නළලේ දා බිඳු,  තම සුදු පැහැ ලේන්සුවෙන් පිස දමමින්, වසර දහයකින් පමණ තුරුණු වූ වා සේ පෙනුමක් සහිතව ඇමතිවරයා කාමරයෙන් පිටතට පැමිණියේය. 


                     "ජනාධිපතිතුමා අනුමත කළ විගස, ඔවුනට එය ලබාගත හැකි බැව් මා පැවසුවා.නමුත්, එතුමා හෝ කොන්ග්‍රස් මණ්ඩලය  හෝ එයට එරෙහි වේවි යැයි මා කොහෙත්ම සිතන්නේ නෑ. මඳක් සිතන්න, මහත්වරුනි, අපට ඇවැසි විටක, රිසි සේ භාවිතයට, ඕඑනෑ තරම් බල ශක්තිය නොමිලේම. අපට  ජීවිතයේ කිසිම දිනක සිහිනෙන්වත් ගොඩ බැසීමට  නොහැකි, කිසිම ඵළ ප්‍රයෝජනයක් නැති ග්‍රහ ලෝකයක් වෙනුවෙන්!"

           ඒ වදන් පිට වනවාත් සමගම ආරක්ෂක අමාත්‍යවරයා කෝපයෙන් දම් පැහැ වූ මුවින් යුතුව, තම පු‍ටුව වේගයෙන් පසෙකට කර නැගිට සිටියේය.

            "මිසරට්වරු හා ලැම්බර්ජ්වරු අතර ගැටුමකදී පමණයි ජුපිටර් ග්‍රහයාගේ වැදගත්කම ඉස්මතු වෙන්නෙ. එවන් භාරදූර, තීරණාත්මක අවස්ථාවක, පක්ෂග්‍රහ නොවී  නොවි මැද පිළිවෙතක් අනුගමනය කිරීමට අප කළින්ම තීරණයක් ගත්තා. "
                 ." නමුත්........ එසේ යුද්ධයක් ඇති වන්නේ නෑ. ව්‍යාජ රූපකයා ඔවුනට ජුපිටර් අවශ්‍ය වන්නේ ඇයි කියා මා හා පැවසුවා.එය මා එක්වරම පිළිගත්තා.මා හිතන්නෙ, ජනාධිපතිතුමාත් ඊට විරුද්ධ වන එකක් නෑ. මහත්වරුනි, මා හිතනවා ඔබ සැමත් මෙම තීරණයට එරෙහි නොවෙයි කියා.මා ළඟ නව ජුපිටර් ග්‍රහයා වෙනුවෙන් සැලසුම්  තිබෙනවා."

කාමරයේ උන් සියල්ලෝම තම අසුන්වලින් නැගී සිටියහ.
  "අලුත් ජුපිටර් ග්‍රහයෙක්!" ආරක්ෂක ඇමති හුස්ම ඉහලට ඇද්දේය.

    "කලබල වන්න එපා මහත්වරුනි, අසුන්වල වාඩිගන්න. අලුත් ග්‍රහයා,පරණ ග්‍රහයාට වැඩි වෙනස්කමක් නෑ.මේ තියෙන්නෙ, ඔවුන්, අප වැනි ජීවීන්ට බැලීමට හැකි වන සේ නිර්මාණය කරන  ලද සැලසුමක්. "

ඔහු පිටපත දිග හැරියේය. එහි, එක් රූප සටහනක, සුපුරුදු ජුපිටර් ග්‍රහයා, එහි සිරස් රේඛා ත් සමග ඇඳ තිබිණි.විල්ලූද කාලවර්ණ අභ්‍යවකාශය පසුබිම් කරමින්, වැටී තිබූ, කහ,ළා කොළ හා ළා දුඹුරු පැහැ ගත් කුඩා හරස් තීරුවල, අතරින් පතර, සුදු පැහැ ගත්, දඟ කැවුන, සිහින් රේඛා වැටී ගියේය.  විවිධ වර්ණ ගත් ඒ තීරුවල, කෙනෙකුගේ කුතුහළය දනවන සේ, තැන් තැන්වල, කලු පැහැයෙන් දිස්වන විවිධ රටා නිර්මාණය කර තිබුනි.

      " මේ තමා ජුපිටර් ගේ දිවා කාලය දිස්වන හැටි." අමාත්‍යවරයා අනාවරණය කළේය.

      "ජුපිටර් රාත්‍රියට දිස්වන්නේ මෙහෙමයි." අනෙක් රූප සටහනේ, ජුපිටර්, කුඩා, තුනී හඳ පළුවක් සේ දෘශ්‍යමාන වී ඉතිරි කොටස, ඝන අඳුරේ ගිලී ගියේය. අඳුර මැදින්, පෙර රූප සටහනේ දිස් වූ අපූර්ව, කාලවර්ණ රටා, මෙවර, දිලිසෙන, තැඹිලි පැහැයෙන් බැබලිණ.



" මේ සළකුණු, හුදෙක් දෘශ්ටි මායාවන් පමණයි.ඒ නිසාම ග්‍රහ ලෝකය පරිභ්‍රමණය වීමේදී, ඒවා වෙනස් වෙන්නේ නෑ.ඒවා පවතින්නේ ග්‍රහයා ගේ අභ්‍යවකාශය කෙලවර. " විද්‍යා ඇමති කිය. 


 "ඒ  සළකුනු මොනවාද?" වාණිජ කටයුතු අමාත්‍යවරයාට දැනගැනීමට අවශ්‍ය විය. 
  "ඔන්න බලන්න." විද්‍යා ඇමති පැහැදිලි කළේය.

   "ඔවුන් ගේ ප්‍රධාන වෙළඳ මාර්ගයක් , අපේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා වැටී තිබෙනවා. ඒ මග හරහා දිනකට ඔවුන් ගේ ගුවන්  නැව් හතක් පමණ අපේ සෞරග්‍රහ මණ්ඩළයේ සැතපුම් මිලියන සිය ගණනක් දුරට  සංචාරය කරනවා. ඒ හැම අහස් නැවකම ඇති ඉතාමත් නවීන, ඉතා බලගතු දුරේක්ෂවලින්, අපේ සූර්යයාට අයත් ග්‍රහලෝක නිරීක්ෂනයට ලක් කෙරෙනවා.  එය ඔවුන්ගේ ප්‍රධාන  සංචාරක ආකර්ෂනයක්. ඝන ද්‍රව්‍යයෙන් තැනුන ඕනෑම ග්‍රහ ලෝකයක් ඔවුනට ඉතාමත් විස්මය ගෙන දෙන සුළුයි.

 "අර කළින් දුටු සලකුණු හා මේ විස්තරය අතර ඇති සම්බන්ධය කුමක්ද? "

  " ඒ සලකුණුවලින් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ අක්ෂර ක්‍රමයක්. ඉන් පැවසෙන්නේ යහපත් සෞඛ්‍යයක් හා තාප ශක්තියක් වඩවා ගැනීම සඳහා මිසරෙට් ග්‍රහ ලොවේ අර්ගෝන් කඳු මුදුන් භාවිත කරන්න කියා."

" ඔබ අදහස් කරන්නේ ඔවුන් ජුපිටර් ග්‍රහයා බිල් බෝඩ් එකක් ලෙස යොදා ගන්නා බවද? " ආරක්ෂක ඇමති මේසයට මිට මොලවා තදින් ගසමින් කෑ ගැසීය.

 '"හරියට හරි.ලැම්බර්ජ්වරු නිපදවා ඇති අර්ගෝන් ටැබ්ලට් එකට විරුදුව තරඟ කරනු වස් මිසරට්වරු, ජුපිටර් ග්‍රහයා තම ප්‍රචාරණ කටයුතුවලට යොදා ගන්න හදන්නේ.ග්‍රහයා තමන් සතු කර ගැනීමට ලැම්බර්ජ්වරු ප්‍රයත්න දරාවි යන බිය නිසා ඔවුන් ජුපිටර් ග්‍රහයාගේ නයිතික හිමිකරුවන් වීමට වෙර දරනවා.නමුත්, ඔවුන්ගේ හා අපේ වාසනාවට, ප්‍රචාරණ මාධ්‍යයෙහි ලා මිසාරට්වරු තවමත් අඳ බාලයෝ."
   " ඔබ එසේ පවසන්නේ ඇයි?" අභ්‍යන්තර කටයුතු ඇමතිතුමාගේ  කුතුහලය උත්සන්න විය.

   "ඇයි කියන්නෙ? ඔවුන් ජුපිටර් ග්‍රහයා තම ප්‍රචාරණ කටයුතුවලට උපයෝගි කර ගත්තා විනා, අප ග්‍රහ පද්ධතියේ ඇති අනෙකුත් ග්‍රහයන් ගැන ඔවුන්ට අමතක වෙලා. ජුපිටර් බිල් බෝඩ්, අපේ සෞර ග්‍රහ මණ්ඩළය මෙන්ම, ඔවුන් ගේ ව්‍යාපෘතිය ද ප්‍රසිද්ධ කරාවි. නමුත්, ලැම්බර්ජ්වරු, අප හා මිසරට්වරු අතර වුන රහස් ගනුදෙනුව ගැන නොදැන, ඒ ගැන විචාරීමට පැමිණි විට, අපට හැකියි අපේ සෙනසුරු ග්‍රහයා ඔවුනට අලෙවි කිරීමට  එහි චිත්තාකර්ෂනීය මුදු  සමග. සෙනසුරු, එහි වළලු නිසා වඩාත් ආකර්ෂනීය ප්‍රචාරණ මාධ්‍යයක් වන බැව් ඔවුනට ඒත්තු ගැන්විය හැකියි."

                "ඒ නිසාම," මුදල් අමාත්‍යවරයා සිය දසන් දක්වා පුළුල් සිනහවක් නගමින් තෙපළේය. "එය, ජුපිටර් ට වඩා ඉහල මිලක් ගන්නා බව."

  සැවොම, ප්‍රීතිමත් මුහුනින්, හිස් වනා, එය අනුමත කළහ.

(A translation of the short story "Buy Jupiter "  by Arthur. C.Clarke.)


Tuesday, October 14, 2014

Winter Oak





Savushkin  always took a shortcut to school. So why was he always late?









(https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRlJEFhl4DIi-yMvur71AmKAh9ZKXkec2RsofrEOFfETvsucgBU0Q)


                    ඒ උනුසුම් උදෑසන ගුරුතුමියගේ සිත,  සතුටින් පිරී ගියේය.සරසවියෙන් පිට වූ වහාම,පලමු පත්වීම ලබා, උවරොව්කා ගම්මානයට පැමින, තවම දෙවසරක් වත් ගතවී නැතත්, මුලු දිස්ත්‍රික්කයේ ම නම් දැරූ හොඳම රුසියන් ගුරුවරිය වූයේ ඇය ය.

                කුඩා ගම්මානවල හා නගරයේ අස්සක් මුල්ලක් නෑර සැවොම ඇය ගැන  දැන සිටියහ නැතහොත් අසා සිටියහ. ඔවුන්, ඇනා වැසිලියෙව්නා කියා නම අගට වාසගමද එක්කර ඇය ඇමතූයේ, ඔවුන් ගේ හදවත් වල ඇයට ඇති භක්ත්‍යාදරය විදහා දැක්වීමටය.

 ඇය උගැන් වූ පාසල  ගඩොලින් තැනුන, දෙමහල් ගොඩනැගිල්ලක් විය.එහි, කුඩා හිම පතුරු වලින් සායම් කළ, පුළුල් ජනෙල් කවුළු සහිත බිත්ති,  ළා  රත් පෑ සේයාවක්, හිම මත පතිත කළේය.

 ඇය එදින, පංති කාමරයට ඇතුලු වන විට, සුපුරුදු ලෙස, ළමෝ, "සුබ උදෑසනක් වේවා, ඇනා වැසිලියෙව්නා"  කියා ආචාර කළහ. ඔවුන් සමහරක ගේ වදන්, හිස් පලඳනා හා කරපටි අතරින්, අපැහැදිලිව, වාතයට මුසු විය.

 ඇනා ගේ පමු කාලඡේදය, 6 වසර සිසුන් සඳහා වෙන්විය.
          "ආයුබෝවන් ළමයි, අද අපි නාමපද ගැන ඉගෙන ගනිමු." ඇය සිනහ පිරුන මුවින්, ඔවුන් දෙස බැලුවාය.පසුගිය වසරේ, මෙම පාඩමට සූදානම් වෙද්දී, ඇය තුල තිබූ චකිතය, අද, දුරුව ගොස්ය.ඒ වෙනුවට, ආත්ම  විශ්වාසයෙන් ගත පිරිණ.ඇය, සන්සුන් ස්වරයකින්, පාඩම ඇරඹුවාය.

  "නාම පදයක් කියන්නෙ,කෙනෙක්, දෙයක් හෝ ගුනාංගයක් හැඳිවීමට යෙදෙන පදයක්. 'ඒ මොකක්ද, ඒ කවුද' කියන ප්‍රස්නවලට පිළිතුර නාම පදයක්. 'ඒ කවුද? මයෙක්, ඒ කුමක්ද? පොතක්'. "
 "ටීච, මං ඇතුලට එන්නද?"
 හොඳටම ගෙවී අබලන් වු, කබල් බූට් පාවහන් යුවලක් පැලඳි, කුඩා කොලුවෙක්, චකිතයෙන්, පංති කාමරයේ දොර අසල, සිටගෙන සිටියේය.
 ඔහුගේ රවුම් මුහුන, කොපමන සීතලෙන් රතු වී තිබුනේද කිවහොත්, එය දිලිසුණේ, ඉදී, පිපිරීමට ආසන්න, චෙරි ගෙඩියක් මෙනි.ඇහි බැමේ තැන්පත් වූ සියුම් හිම බිඳිති, සුදු පැහැයෙන් දිස්විය.
  " සවුශ්කින්, ඔයා අදත් පරක්කුයි."

  ගුරුතුමිය, පංති කාමරය තුල විනය තදින් ක්‍රියාත්මක කළද, මේ මොහොතේ ඇගේ හඬ අසරණ  ස්වරූපයක් ගත්තේය.ඒ අතර, සවුශ්කින්, බයාදු ලෙස, හිමිහිට ඇවිද ගොස්, තම අසුනේ ගුලි විය. ඔහු ගේ ප්‍රමාදය, ඇනා තුල කෝපයක් ඇති කළේය. ඔහු, තම කදිම උදෑසන, නාස්ති කළා සේ ඇයට දැනිණ.
           "හොඳයි, මයි, අපි ආපහු පාඩම මතක් කර ගනිමු.මම කිව්ව දේ ඔයගොල්ලන්ට තේරුනාද?"
 "ඕ......ව්..ව්..."   , ළමෝ,ලමෝ එකාවන්ව කෑගැසූහ.
 "බොහොම හොඳයි. එහෙනම් දෙන්නකො බලන්න මට නාම පදවලට උදාහරණ ටිකක්."
තරමක්, කල්පනා කර, සිසුවෙකු පිලිතුරු දුන්නේය.
  " ඩෙස්කය"
 "හරියට හරි" ඇනා සතු‍ටු සිතින් කීවාය.

  ළමෝ, දිගටම කෑ ගසා නාම පද කීහ.
  "බල්ලා" ,ජනේලය,මේසය,, බෝතලය, පෑන, පොත, කලු ලෑල්ල "
 හොඳයි. දැන් ඇති. හැමෝටම තේරුනා නෙ."
  එක්වරම, නින්දකින් අවදි වූවා සේ, සවුශ්කින්, පු‍ටුවෙන් නැගිට, උද්වේගයෙන් කෑ ගැසීය. "  winter oak"
                ළමෝ, මහ හඬින්, සිනාසුනහ.  ඔවුන් ගේ සිනා හඬ, පංති කාමරයෙන් එලියට විහිදී ගියේය. ගුරුවරිය, මේසයට තදින් තට්‍ටු කරමින්, ලමුන් නිහඬ කරවීමට උත්සාහ ගත්තාය.
                         "හැමෝම නිශ්ශබ්ද වන්න."
             තමා අවටින් ඇසෙන සිනා හඬ හෝ, ගුරුවරිය, ලමුන් නිහඬ කරවීමට දරන ප්‍රයත්නය ගැන කිසි නිනව්වක් නොමැතිව,  "winter oak "යැයි සවුශ්කින්, ප්‍රතිඋච්චාරණය කළේය.තනිව විඳිය නොහැකි, අපූරු රහසක් සේ, ඒ වදන් ඔහුගේ මුවින් ඉබේම ගලා ආ ය.
ගුරුතුමිය උරණ වූවාය. ඇයට , ඔහු කී දේ නොවැටහිණ.  කෝපය, ඉතා අපහසුවෙන්, පාළනය කර ගනිමින්, " ඇයි,  'winter oak' කියන්නෙ?  'oak'  කිව්වම හොඳටම ඇති. ඒක නාම පදයක් නෙ." යි ඇය තෙපලුවාය.

" අය්යෝ ඇනා වැසිලියෙව්නා,    oak වල කිසිම විශේෂත්වයක් නෑ.  ඒකටත් එක්ක winter oak, අන්න ඔයාගෙ නාම පදේ!"

 " සවුශ්කින්, වාඩි වෙන්න.පරක්කු වෙලා එනවා. ඇවිත් මෙතන විකාර කතා කියවනවා.  oak කියන්නෙ නාම පදයක්. winter oak කියන පදයෙ,  winter කියන එක මොන ගනයටද වැටෙන්නෙ කියල අපි තාම ඉගෙන ගත්තෙ නෑ." ඔයා  interval  එකේදි  staff room එකට එන්න."

...............................................................................................................................
ගුරු විවේකාගාරය, විවිධ හඬින් පිරී ගියේය. " සවුශ්කින්, ඉඳ ගන්න" ඇනා පැවසුවාය.

"මට කියන්න, ඇයි ඔයා හැමදාම පරක්කු වෙලා එන්නෙ කියලා. "

 "මම දන්නෙ නෑ, ඇනා වැසිලියෙව්නා, මම ගෙදරින් පිටත් වෙන්නෙ පැයකට කලින්."

 "ඔයා ඉන්නෙ කුෂ්මින්කි වල නේද?"

  " නෑ, සැනටෝරියම් එක  ළඟ."


 "ඔයාට ලැජ්ජා නැද්ද බොරු කියන්න, ඔයා ගෙදරින් පැයකට කලින් පිටත් වෙනවා කියල. සැනටෝරියම් එක ළඟ ඉඳන් පාරට එන්න, ඕන නම් විනාඩි පහලවක් යයි.එතන ඉඳන්, ඉස්කෝලෙට එන්න පැය බාගයක් වත් යන්නෙ නැති බව මම හොඳටම දන්නවා."
           " ඒ වුනාට, මං ඒ පාරෙ නෙමේ ඉස්කෝලෙ එන්නෙ, කෙටි පාරකින්."

 "මේක නම් හරියන වැඩක් නොවෙයි. මට ඔයාගෙ දෙමව්පියන් එක්ක කතා කරන්න ඕනෙ, සවුශ්කින්."
 "මට ඉන්නෙ අම්මා විතරයි, ඇනා වැසිලියෙව්නා" දරුවා සිහින් හඬින් මිමිනීය.
 තමා ගේ නොසැලකිලිමත් වදන් ගැන, ගුරුවරිය ලැජ්ජාවට පත් වූවාය.ඇයට, සැනටෝරියමේ, ජල, චිකිත්සක අංශයේ සේවය කරන, කෙසඟ, විඩාබර වුවනකින් යුත් කාන්තාව සිහිපත් විය.ඇගේ සැමියා යුද බිමේ මිය ගොස්ය. දරුවන් සිව් දෙනෙකු හදා වඩා ගැනීමට ඇය දරන වෑයම මදිවාට, තම බාල දරුවා ගේ ගුරුවරිය ගේ පැමිණිලි වලටත් සවන් දීමට ඇයට සිදුවනු ඇත.
  "මට ඔයාගෙ අම්ම ව මුන ගැහෙන්න ඕනෙ. මොකද්ද එයා වැඩ කරන shift එක."
     "අම්මා වැඩට යන්නෙ හවස තුනට."
 "හොඳයි. මගෙ වැඩ දෙක වෙද්දි ඉවරයි. ඊට පස්සෙ, අපි දෙන්නම යමු අම්මව මුන ගැහෙන්න."

................................................................................. ...........................            

                  ගුරුතුමියට මග පෙන්වමින්, සවුශ්කින්, පාසල පි‍ටුපස අඩි පාරේ, ගමන් ඇරඹීය.එහි මද  දුරක් යත්ම හිමෙන් බරව නැමුන, ස්පෲස් ගසෙන් වට වූ, නිසල, සාමකාමී මායා ලොවක්   මවා පෑ කුඩා වන රොදකට ඔවුන් අවතීර්ණ වූහ. සවුශ්කින්, දිය මිදුන, කුඩා දිය දහරක් දිගේ, ඇවිද ගියේය.ඇනා, තමන් කෙදිනකවත් නොදු‍ටු,මේ අපූර්ව පරිසරයේ, සිරි නරඹමින්, ඔහු පසුපස පිය මැන්නාය. ඉඳහිට, හාවෙකුගේ හෝ ඊට තරමක් විශාල වෙනත් සතෙකු ගේ අඩි සටහන් ඔවුහු දුටහ.
                         "ගෝනෙක්"  සවුශ්කින් කෙඳිරීය.
  "ඔයා ගෝනෙක් ව  මෙහෙදි දැකල තියෙනවද?"   "අනේ නෑ. තාම මට ඒ වාසනාව ලැබුනෙ නෑ." ඔහු දිගු සුසුමක් හෙලුවේය.
                    කුඩා, අඳුරු  අඩි පාර දිගේ  ආ ඔවුන්, එක්වරම, ළා හිරු ‍රැසින් ආලෝකවත් වුන, එලිමහන් පෙදෙසකට පිළිපන්හ. එහි මධ්‍යගතව, ශ්වේත වන් ව, මහේශාක්‍ය  ලීලාවෙන්   දිදුලමින්,   , කෙනෙකුට බදා ගන්නට බැරි තරම්  විසල් තුරක්, තමා හාත්පස ඇති සියලුම ශාකයන්, එය ඉදිරියේ, නොවැදගත්, කුරු මිට්ටන්  බවට පත් කරමින්, නුබෝ ගැබට අතු පතර විහිදා, උස් ව නැගී සිටියේය.  එහි ගනකම් පොත්තේ,පැලුන විවරවල සැඟවුන, හිම පියලි දිස්වූයේ, ගස, රිදියෙන් කැටයම් කළා සේ ය.                                     

 "winter oak " විස්මපත් ස්වරයකින් ඇනා කෙඳුරුවාය.ඉනික්බිති, විසල් තුර වෙතට, හිමිහිට පිය නගමින්, එහි පුලුල්  වියන් ස්ථරය පාමුල, සිට ගත්තාය.  
                  කුඩා සිසුවා, තම ගුරුතුමිය ගේ විස්මපත් හඬ හෝ, මේ මොහොතේ, ඇගේ චිත්ත සන්තානයේ රජයන අපූර්වතම හැඟීම් ගැන හෝකිසිම නිනව්වක් නැතිව, ගස පාමුල යමක් පිරික්සමින් සිටියේ,දු‍ටු ඕනෑම කෙනෙකුට,මේ ගස හා ඔහු අතර ඇති බැඳියාව මනාව විදහා දක්වමිනි   
  " ඇනා වැසිලියෙව්නා, ටිකකට මෙහෙට එනවද? ඔබට පෙන්වන්න යමක් තියෙනවා."

              "මේ බලන්න!" ඔහු, මතුපිට කුඩා හිම තට්‍ටුවක් හා ඒ සමග ඇති, පස් ගුලියක් පරිස්සමින් ගලවා ගනිමින්, ඉන් ඇතිවුන හිදැසේ, තැන්පත් ව තිබූ, දිරාපත් කොල රොඩු ඇමිනුන, කුඩා රවුම් හැඩැති, යමක් පෙන්වීය. "ඉත්තැ පැටියෙක්!" ඇනා ඇස් අදහා ගත නොහී කෑ ගෑවාය.
             සවුශ්කින්, ඉතාමත් පරිස්සමින්, හා හෙමිහිට,ඉත්තැ පැටියාගේ ගුල වැසී තිබූ පස් තට්‍ටුව හා හිම කැටිය, නැවත, නිසි ලෙස, ස්ථාපනය කළේය.
                       ඉන්පසු, ඔහු ඊට මදක් එහායින්  තවත් එවැනිම කුඩා පස් ගුලියක් හාරා,ඇබිත්තන් හිම කූරු එල්ලුන,විවරයක් අඩියේ සිටින, නිද්‍රාවකට වැටී සිටි, දුඹුරු පැහැ ගෙම්බෙකු, ඇනාට පෙන්වීය. "පේනව නේද, කට්ටකමට, හොරා වගේ ඉන්න හැටි." දරුවා ආහ්ලාදජනක  හඬකින් විචාලේය. "මැරිල වගේ ඉන්නෙ. ඒත් බලන්න ඕනෑ, අව් ‍රැළක් වැ‍ටුනම ඌ  පැන, පැන යන හැටි."   


        කොලු පැටියා, මේ රහස්‍යමය ලෝකයේ, තමා පමනක් දන්නා,  තමාටම සීමා වූ  සියලුම සොඳුරු  තැන්, තම ගුරුතුමියට අනාවරණය කළේය.
  ගස පාමුළ හා ඒ අවට අරක් ගත්, නිද්‍රාජනක මැඩියන්,ක‍ටුස්සන් හා කෲමින් ගිනිය නොහැකි තරම් විය.  උන් සමහරු, ගස මුල,  තම නිජ භූමිය කර ගත් අතර, සමහරු, පොත්තේ ගැඹුරු ස්ථරවල නිවහන් සාදා ගත්හ. ඇනා, ඒ සියල්ල, කුඩා දැරියක සේ, වශීකෘතව, නිරීක්ශණය කළාය.
          "අය්යෝ, මට අමතක වුනා! මෙලහකට අම්මා වැඩට ගිහිල්ලත් ඇති." ඇනා ඔරලෝසුවේ වෙලාව තුන පසු වි විනාඩි තිහක් පමන බැව් නිරීක්ශණය කළාය.
         මේ සුවිශේෂී තුරු රාජයා ගෙන්, යටි හිතින් සමාව අයැද සිටිමින්,        "ඔයාට දැන් තේරෙනවනෙ, කෙටි පාරවල්වලින් ඉස්කෝලෙ එන්න ගියාම වෙන දේ? හෙට ඉඳන්, ප්‍රධාන පාරෙන් එන්න" යැයි  ඇනා කාරුනික ස්වරයෙන් සවුශ්කින් ඇමතුවාය. ඔහු හිස, බිමට නැඹුරු කරගත්තා විනා, කිසිත් දෙඩුවේ නැත.
      ' අපොයි, මොකක්ද මම ඒ කලේ? ගුරුවරියක් වෙලත්,පොඩි ලමයෙකු ගෙ හිත තේරුම් ගන්න බැරි වුනා. ඒකෙන්ම පේනව මගෙ නොහැකියාව'  යි ඇනා විපිලිසරව සිතුවාය.
 "බොහොම ස්තූතියි,  සවුශ්කින්,මීට කලින් කවදාවත් දැකලා නැති, ලස්සණ, පුදුම දේවල් ටිකක් මට පෙන්නුවට." ඇය  හනික, නැවත තම හඬ අවදි කළාය. "අර මම දැන් ටිකකට කලින් කිව්ව දේ ඔයා අමතක කරලා දාන්න.ඔයා කැමති නම්, මේ පාරෙන්ම ඉස්කෝලෙ එන්න. "

              "Thank you, Anna Vasiliyevnaa" 
             සවුශ්කින් ගේ, ප්‍රීතියෙන් පිරුන වදන්, වා තලයේ පැතිර ගියේය. තමා, මින්පසු, කෙදිනකවත්, ප්‍රමාද නොවන බවට සපථ කිරීමට, ඔහුට තදින්ම උවමනා කළත්, එය ‍රැකීමට හැකි වේදෝ යන බියෙන්, ඔහු මුනිවත ‍රැක්කේය.සීතලෙන් බේරීමට ඔහු කොලරය උස්සා, හිස්වැස්ම පහලට තද කර ගත්තේය. 

"මම ටීචව ආපහු ඉස්කෝලෙ ගාවට ඇරලවන්නද?"

 "නෑ, නෑ, සවුශ්කින්, බොහොම ස්තූතියි. මට පාර මතකයි."
  ඇය මද දුරක් ගොස්, අවසන් වරට,  බැස යන හිරු ගේ රෝස පැහැය, තවරා ගත්, යෝධ වෘක්ෂ රාජයා දෙසට තවත් බැල්මක් හෙලුවාය.
  කුඩා, අඳුරු රුවක්, ගස පාමුළ, සිටගෙන සිටිනු, දක්නට හැකිවිය. කුඩා සිසුවා, තම ආදරණීය ගුරුතුමිය සුරක්ෂිතව පාසලට ලඟා වන තෙක් , ඇය යන මග, බලා සිටියේය.

                  ඒ, අඳුරු වන පෙතේ, සුවිශේෂී වූයේ,  රෝගීන් නාවන්නියක ගේ හා සටනේ දී මිය ගිය සෙබලකු ගේ පුතකු වූ, අබලන් බූට් සපත්තු යුවලක් පය ලා, අන්ඩ දැමූ, කඩමාලු, කබායක්  පැඳි,  ඒ කුඩා දරුවා මිස, යෝධ winter oak වෘක්ෂය නොවන බව , ආපසු යන අතරතුර ඇනාට පසක් විය.


                               නිමි.

 (Translated from the short story "Winter Oak" by Yuri Nagibin.)
















































Friday, September 19, 2014

දිව්‍යමය රථය- - (part II)






http://gimannivannie.blogspot.com/2014/09/blog-post.html
(1 කොටස මෙතනින්.)


           දරුවා, මවගේ හා පියාගේ අසීමිත දෝශාරෝපණයට ලක්විය.   ඔහුට ඊට දඬුවමක් ලෙස, ලදරු කාමරයේ සිට, කවි පාඩම් කිරීමට අණ ලැබිණි. 
 "මට පිලිකුල් ඕනෑම කෙනෙක් බොරු කියන විට." උස් හඬින් ගිගිරූ පියා ඔහුට වේවැල් පහරින් සංග්‍රහ කළේය."ඔහෙ ඇති කරත්තයකුත් නෑ,පාලමකුත් නෑ, කඳු ගැටයකුත් නෑ. උඹ හරිම බොරුකාරයෙක්."    
       දරුවාගේ මව, තම වරද පිළිගෙන පියාගෙන් සමාව අයැද සිටිනා ලෙස, දරුවාට ආයාචනා කළාය.   
 නමුත් දරුවා එසේ කිරීමට මැලි විය. ඉලිප්පී ඇතී, වේදනා ගෙන දෙන වේවැල් පහර කැමෙන් පසු, කවි පාඩම් කිරීමට සිදු වුවත්,ඔහුගේ දිවියේ උත්කෘශ් අවස්ථාව, බොරුවක් බැව් පිලිගන්නේ කෙසේද?
                  හරියටම ඉර බසින ගොම්මනේ,   විනෝදකාමී, තරුණ කාන්තවක විසින්  පැද වූ රියක නැගී, දරුවා නිවසට ලඟා විය. රථයේදී, ඔවුන් දෙදෙනා මගීන් ගෙන යන විවිධ වූ රථ ගැන කතාබස් 
කළහ.ඔහු ප‍ටු මග ඔස්සේ නිවසට ලඟා වී හෝරා තුනක්වත් ගතවී නැතත්, ඇගේ මුදු හඬ, දැන් ඔහුගේ මතකයෙන් කොපමණ දුරස්ද?
                 දරුවාගේ සිතිවිළි, බිඳ දමමින්, මව කාමරයෙන් මෙපිට සිට, ඔහු ඇමතුවාය.
                               "ඔබේ කවි පොත ගේන්න."
කාමරයෙන් පිටතට ආ දරුවා, තම පියා, බොන්ස් මහතා සමග අමුත්තන් ගේ කාමරයේ සිටිනු දිටීය.

 "මේ සැපත් වන්නේ මහා සංචාරකයා!" දැත් දිගුකරමින් ඔහුගේ පියා පැවසූ උපහාසාත්මක වචන කාමරය පුරා සිසාරා ගියේය." ඔහු දේදුන්නකට ඉහලින් ගමන් ගත්තාලු"! දරුවා ලජජාවෙන් මිරිකෙමින්, පියාගේ සිනා හඬ  අසා සිටියේය. 
            "මේ සිදුවීම මට හරිම කුතුහලය ගෙන දෙන්නක්. චුදිතයා වෙනුවෙන් සමාව අයදින්න මට අවසරද?" බොන්ස් මහතා සිනාසෙමින් ඇසීය.
       "බලන්න. බොන්ස් මහතා කොපමන කරුනාවන්තද කියා."  ඔහුගේ මව කීවාය.
    කවි ගායනාවලින් පසු ඔහුට යාමට අවසර තිබෙනවා."
     "මම ඔහුව, මගෙ සහෝදරී ගාවට යවන්නයි බලාපොරොත්තුව. එවිට, ඔය ඇලි දිගේ බඩගාන එක සුව වේවි." 
              "හා, අපි අරඹමු". බොන්ස් මහතාගේ වදන් දරුවා ගේ කණට මීපැනි වත්කරන්නා සේ මිහිරි විය.
                      "Standing aloof  in giant ignorance."   
               "ඔයාටම හරියන කවිය. මම කෙදිනකවත් සිතුවෙ නෑ මේ කවියො ඇත්ත කියනවා කියා." පියා නැවතත් සමච්චල් කිරීම ඇරඹීය. "බොන්ස්. ඔබ ඔහුට ඇහුම්කන් දෙන්න. මම විස්කි බෝතලය ගේන්නම්."

"ඔව්. මම කීට්ස් ට කැමතියි.එහෙනම් අරඹමු."
සුලු මොහොතකට, දරුවා හා පැසුන මිනිසා කාමරයේ තනි වූහ.
                "Standing aloof in giant ignorance."
            "හරියට හරි. කුමක් නරඹන්නද?"   "ගැඹුරු සාගරයේ ඇති ඩොල්ඵින් කොරල් නැරඹීමට." දරුවා පිළිවදන් දිනි.ඉනික්බිති, ඔහු ඉකිබිඳීමට පටන් ගත්තේය.
 "චා, චා, ඇයි ඔබ හඬන්නෙ?"

"ඒවායෙන් විස්තර වන්නේ මා ගැන නිසා."
        බොන්ස් මහතා කාව්‍ය ග්‍රන්ථය පසෙකින් තැබීය.ඔහු සිතුවාට වඩා මේ සිදුවීම කුතුහළය දනවන සුළුය.
 "ඔබ ගැන? මේ කවිය විස්තර කරන්නේ ඔබ ගැන?"
    "ඔව්.බලන්න දිගටම කියවලා. 'අඳුරු වෙරලේ ආලෝකය පැතිරේ.බැවුම්වල මිනිස් පා නොගැ‍ටුණ හරිතවත් තණබිම් දිස්වේ'.              ඒ සියල්ලම සැබෑවක්. බොන්ස් මහත්මයා"

 පියවූ දෙනෙතින්, "මම සැමදාමත් එසේ සිතුවා" යයි බොන්ස් මහතා තොළ මැතිරීය.
            "එසේ නම් ඔබ මා කීදේ විශ්වාස කරනවද?  දිව්‍යමය රිය හා රියදුරා, කුණා‍ටුව හා ටිකට්‍ටු යන සියල්ලම සත්‍යයක් යැයි ඔබ පිළිගන්නවාද?"

"චා, චා. තවත් නම් ඔය පල්හෑලි එපා.මම අදහස් කළේ කවිය, සදාතනික සත්‍යයක් බවයි. දිනක, ඔබ වඩාත් ගැඹුරින් කව් හදාරන විට, ඔබටම එය වැටහේවි."
" නමුත් බොන්ස් මහත්මයා, ඒ සියල්ල සත්‍යයක් නම්?   'අඳුරු වෙරලේ ආලෝකය පැතිරිණ.' එය එන සැටි මා දු‍ටුවා. සුලඟ හා ආලෝකය."

"විකාර." බොන්ස් පිළිවදන් දිණි.
"අනේ, මා එහි නැවතුනා නම්! මගේ ටිකට්‍ටුව ඔවුනට බාරදෙන ලෙස, ඔවුන් මා පෙලඹවූවා.ගංගාවේ ලලනාවන් පවා එය ඉල්ලා ආයාචනා කළා.ටිකට්‍ටුව නැතිව ඔබට ආපසු පැමිණිය නොහැකියි. මොහොතකට, මට ඔවුන් සමග නවතින්නත් සිතුණා. මන්ද යත් මා කිසිදිනක එතරම් සතුටින් සිට නැති නිසා.නමුත්, මව හා පියා ගැන සිහිවූ විට, ඔවුන් සමග නැවත පැමිනීමේ අපේක්ශාවෙනුයි මා පැමිණියේ. එහේට යන මග, මගේ නිවස ඉදිරියේම තිබුනත්,මගේ මාපියන් එහේ යාමට අකමැතියි.                                 ඔවුන් 
   කිවූ ලෙසම, කිසිවකු මා ඇදහූයේ නෑ.බොන්ස් මහතා, ඔබ පවා අනික් අය සේම මා අවිශ්වාස කළා. ඉතින්, නැවත මට ඒ කඳු ශිඛරය නරඹන්න නොළැබේවි."
  


             " මා ගැන ඔබ කුමක්ද කීවෙ"? එක්වරම අසුනේ කෙලින් ඉඳගනිමින්, බොන්ස් විචාලේය.

 "ඔබ කොපමණ උගත්ද හා කාවය්‍යන් ගැන ඔබේ හසළ දැනුම පිළිබඳව මා ඔවුන්ට පැවසුවා."

 "සවස් යාමයේ මා, ඔබ ඇවිදින්න ගෙනයන්නම්. ඉර බසින විට , ප‍ටු ඇලියේ ඔබේ රථය සොයා අපි සැරිසරමු,පිස්සු කොලුවා!"
"දරුවා ප්‍රීතියෙන් උද්දාමයට පත්ව උඩ පැන්නේය.කාමරය වටා කැරකුණේය.බොන්ස් මහතාගේ වතට කල්පනාකාරි බවක් ආරූඪ විය.
"මට සතු‍ටුයි, ඔබ මා විස්වාස කිරීම ගැන. ඔබ මගේ වදන් පිළිගනීවි යැයි මා ඔවුනට කීවා."අපි, දේදුන්නට ඉහලින්රථයේ, නැග යමු."

              දරුවා,සාහිත්‍ය සංගමයේ සභාපති, කුතුහලයට පත් කරමින්, ගමනට සැදී පැහැදී සිටියේය.බකින්හැම් උද්‍යාන මාවතෙන් හැරී,කිසිවකුත් ඔවුන් නොදු‍ටු බැව් සැකහැර දැනගත් පසු, ඔවුන් හනික, ප‍ටු වීදියට පැණ ගත්හ.ඉර බැසයමින් තිබිණ.
 ඔවුන් කෙළින්ම පිවිසියේ, නවතා තිබූ,රිය අසලටය.

"දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ!" බොන්ස් ගේ කටහඬේ විස්මය හා තිගැස්ම ගැබ් වී තිබිණි.
එය, දරුවා කැ‍ටුව ගිය රථය හෝ ආපසු පැමිණි රථය නොවීය.කලු,අලු හා සුදු පැහැයෙන් යුතු උසස්ම වර්ගයේ ජවාධිකයින් තිදෙනෙකු, යෙදුණ රථයේ සිටි, ගිලුන ඇස් හා පහලට තෙරපුන මුහුණක් ඇති රියදුරා, දෙවියන් ගැන කිවූ වදන් ඇසී,ආපසු හැරී බැලීය.ඔහු දු‍ටු පසු බොන්ස් මහතා කෑ ගසා, අනතුරුව වෙව්ලීමට පටන්ගත්තේය.
                         දරුවා රියට පැන්නේය.
          "මෙය විය හැකිද?" බොන්ස් විස්මපත් ව කෑ ගැසීය. උණ රෝගියෙක් මෙන් ඔහු තදින් වෙව්ලා ගියේය.
 "කිසිදිනක සිදුවිය නොහැක්කක්, සිදුවිය හැකිද?"
 "බොන්ස් මහත්මයා, විගස නගින්න.අලංකාර රථයක් නොවෙද?මේ තියෙන්නෙ ඔහුගෙ නම.  ඩා.....න්..... කවුද කියලා."

 බොන්ස් මහතා ද හනික රථයට පැණ ගත්තේය.සුළඟින් රථයේ දොර ඉබේම වැසිණි.
 "ඩා......න්, කෝ මට පෙන්වන්න. මගෙ දෙවියනේ! රථය ගමනාරම්භ කරනවා."
 "හුරා.." දරුවා උද්දාමයෙන් කෑ ගැසීය. 
              බොන්ස් මහතා වික්ශිප්ත විය.තමා පැහැරගෙන යනවා සේ ඔහුට දැනිණි.අඳුරු රිය තුළ, දොර අගුල සොයා ගැනීමට හෝ, තිර පහත් කිරීමට හෝ ඔහුට නොහැකි විය.ගිනිකූරක ආධාරයෙන්, හාත්පස විමසන විට, පිටත, රාත්‍රිය පැමිණ තිබිණ.රථය වේගයෙන් ගමන් කළේය.
             මනා ඉඩකඩක්  සහිත, විසල් හා සැම කොටසක්ම ඉතා සියුම්ව වද්දා, මනාව නිමකළ තිබූ රිය ඇතුලත  පිරික්සමින් " මේ නම් අමතක නොවන අත්දැකීමක්" යයි බොන්ස්  මහතා තොල මතුරා ගත්තේය.මේ අතරතුර, දරුවා,කෲශ වූ සිරු‍රැති රියදුරුගෙන් ටිකට්‍ටු දෙකක් ලබාගති. රියදුරා දු‍ටු බොන්ස් මහතා අසීමිතව කළබල විය. "ඒ කවුද දන්නවද?"රියදුරා කවුළුව වැසූ විගසින්, තැතිගත් ස්වරයකින්, ඔහු දරුවාගෙන් ඇසීය.
 "සර් ‍තෝමස් බ්‍රව්නිට තරම් මා ඔහුට ප්‍රිය නෑ. නමුත්, ඔහුත් ටිකක් ‍තෝමස් බ්‍රව්නි වගේ."

                "ඔව් නේද? එයා වගේ! අපූරුයි. නොදැනුවත්ව වුනත්, ඔබ මේ ශතවර්ෂයේ  සොයාගැනීම කරළා.ඒත් ඔබට පැවසීමට ඇත්තේ, ඔහු ‍තෝමස් බ්‍රව්නි වගේ කියා පමණද?  මා ඔබ විස්මපත් කරවන දෙයක් පැවසිමට යන්නෙ. ඔබට මතකද මගෙ පුස්තකාළයෙ රතු ලිලීමල් සීල් එක තබා ඇති ලොකු පොත්?ඒ සියල්ල රචනා කර ඇත්තේ ඔහු තමා."
         දරුවා නිසල විය. බොන්ස් මහතා කියූ කරුණ ධාරණය කරගැනීමට තරම් කාළයක් නිහඬව සිටි ඔහු, තවත් පැණයක් ඇසීය.
      "අපිට නැවත ගැම්ප් නෝනා ව දකින්න ලැබේවිද?"
 'මොන නෝනා?"

 "ගැම්ප් නෝනා හා පැරිස් නෝනා."
            "අප ඉදිරියේ ඉන්නවා මගේ පුස්තකාළයෙ වෙලුම් කළ ග්‍රන්ථ පබැඳූ මහා ගත්කතුවරයා. ඔබ මේ ඩිකන්ස් ගැනයි ඔහුගෙ චරිත ගැනයි කියවනවා."
 "මා ගැම්ප් නෝනා ව හොඳින් දන්නා නිසා ඒ ගැන කතා නොකර ඉන්න බැරි වුණා."

 "ඔබ මුළු දවසම ගතකලේ ඈ සමගද?"

 "අනේ නෑ.අප රේස් එකක් ගියා.මට කෙනෙක් මුණගැසුණා.ඔහු මාව රේස්කෝස් එකෙන් ඔබ්බට කැ‍ටුව ගියා ඩොල්පින් ලා පිනුම් ගසන සැටි බලන්නට."
   "ඇත්තෙන්ම! කවුද ඔහු?"
 "ඇචිලීස්.මා නම් ඔහු ඇමතුවෙ ටොම් ජෝන්ස් කියායි."
 බොන්ස් මහතා තදින් හුස්ම ඉහළ පහළ  හෙළීය. "දරුවො, ඔබ සියල්ල පටලවගෙන."
"බලන්න. ඔය අවස්ථාව උගත් කෙනෙකුට ලැබුණා නම්. ඔහු, ඔබ පවසන ඔය චරිත සියල්ල මනාව හඳුනාගෙන,ඒ එක් එක් තැනැත්තා සමග කතාබස් කළ යුතු දේ හොඳින් වටහා ගනීවි.  ඔහු, ගැම්ප් නෝනා හෝ පරිස් නෝනා සමග කාලය කා නොදමා හෝමර් හෝ මේ රථාචාරියා ලියූ දේ කියවා සෑහීමට පත් වේවි. බොලඳ ධාවන තරගවල නොයෙදී, ඒ වෙනුවට බුද්ධිමත් සංවාදවල නිරත වේවි." 

     "නමුත්බොන්ස් මහත්මයා,"දරුවා බැහැපත් ස්වරයෙන් කෙඳිරීය.ඔබ බුද්ධිමතෙක් බැව් මා ඔවුනට කීවා."
 "ඇත්ත. මා දන්නවා.අප එහෙට ලඟා වන විට මා ලැජ්ජාවට පත්වන ලෙස හැසිරීමෙන් වලකින ලෙස, ඔබෙන් ඉල්ලා සිටිනවා.ඔබ, වල්පල් දෙඩවීම හා ඔබ මොබ දිවීම නොකළ යුතුයි. නිහඬව,ම අසලින්ම ඉන්න. ඔවුන්, ඔබ අමතන තෙක්, ඒ අමරණීයයන්ගෙන්, ප්‍රස්න විචාරන්න එපා. return tickets   මා අතට පත් කරන්න.ඒවා ඔබ අතින් නැතිවෙන්න පුලුවන්."

 දරුවා නිහඬව, එහෙත් මදක් අසතුටින්, ටිකට්‍ටු දෙක ඔහු අත තැබීය.ඇත්තෙන්ම මෙහි ඒමට මග සොයා ගත්තේ දරුවාය.මුලින්ම, ඔහුව කිසිවෙකු විස්වාස කළේ නැත. නමුත් දැන්, ඒ මදිවාට, උපදෙස් වලට සවන් දීමටත් ඔහුට  සිදු වී ඇත.
              ඒ අතරතුර, වර්ෂාව නැවතී, තිර රෙදි අතරින්, සඳ රස් ගලා ආයේය.

"දැන්, දේදුන්නක් පෑව්වෙ කොහොමද?"

"මගෙ අවධානය බිඳින්න එපා.'" බොන්ස් මහතා තරහින් කීය."මා මේ මනස්කාන්ත දසුන තුල ධ්‍යානගත වී සිටින විට ඊට බාධා නොකරන්න.අනේ, මට මෙයට වඩා කරුණු කාරණා වැටහෙන, අනුන් ගැන මෙයට වඩා සිතන, කෙනෙක් සමග මේ මොහොත ගත කරන්න ලැබුනා නම්!"

 දරුවා තොල සපා ගත්තේය.මුළු ගමන පුරාවටම බොන්ස් මහතා ගේ උපදෙස් අනුව හැසිරීමට ඔහු තරයේ අදිටන් කර ගති.  පසුගිය වතාවේ, ඔහුගේ නව මිතුරන් අපහසුවට පත්වෙන්නට ඇති ඔහුගේ හැසිරීම් රටාව; එනම් දිවිලි පැනිලි, ගායනා කිරීම් මුලුමනින්ම නවතා දැමීමටත්, ඔවුන් ගේ නම් නිවැරදිව උච්චාරණය කිරීමටත්, තමාගේ ඉරියව් ගැන තදින්ම සැළකිලිමත් වීමටත්, හැකි සැම විටම මෞන වුර්ථය  ‍රැකීමටත් ඔහු ඉටා ගති.
 නමුත්, අහම්බෙන්, ඔහුගේ හිස වැදී,රියේ තිර රෙදි ඉහලට එසවුණ විට, දරුවා ගේ සියලු අධිෂ්ඨානයන්  සුළ‍ඟේ පාවී ගියේය.රථය ඒ වනවිටත්, සඳ කිරණෙන් නැහැවුණ,කඳු ගැටය   මුදුනටම ළඟා වී තිබූ අතර, තමා කළින් දිනක දු‍ටු ප්‍රපාතය,එහි පතුල සදාහරිත ගංගාවේ ස්පර්ශ කරමින්, ස්වප්නයක් සේ, නැගී සිටියේය.
  දරුවා නොඉවසිල්ලෙන් කෑගැසීය.

"අර බලන්න, කන්ද. ඔබට ඇසෙනවාද දිය පහරේ නවතම රිද්මය.බලන්න අර තැනිතලාවේ ගිනි මැල!"

 බොන්ස් මහතා වහා එදෙස බෑල්මක් හෙළා මෙසේ පිළිතුරු දිණි. "දිය පහර? ගිනි මැළ? මොනවද මේ උමතු කථා?කට පියා ගන්න. එහෙ කිසිත් දකින්නට නෑ."
            දරුවා බලා සිටියදීම හිරු එලියෙන් නොව, සඳ කිරණින් හා ගංගාවේ විසිරුණ දිය බිඳුවලින්, දේදුන්නක් නිර්මාණය වීම ඇරඹීය.

අසුන් තිදෙනා,තම පාද , දේදුන්න මත තැබූහ.දරුවා මෙතෙක් දු‍ටු, ඉතාමත්  චිත්තාකර්ෂනීය හා  ආනන්දජනක, දේදුන්න ඒ වුවත්  ඔහු එය ප්‍රකාශ කිරිමට මැලි වූයේ, බොන්ස් මහතා එවැනි දෙයක්  දු‍ටු බව නොපිළිගත් නිසාය.
       දරුවා, විවර වූ ජනෙල් කවුලුවෙන්, පිටතට නැමී, නිද්‍රාජනක දියෙන් නැගුන සංගීතය මිමිණීය.

 "The Prelude of Rhinegold!"     කවුද ඔබට එය උගැන්වූයේ?"

 බොන්ස් වහා ඇසීය. ඒ සමගම ඔහුද පහළට නැමුනේය.එසේ නැවෙනවාත් සමගම, ඉහලට ඇදගත් හුස්මෙන්, උගුරෙන් ව්‍යක්ත හඬක් නගමින් නැවත රිය තුළම ඇදගෙන වැ‍ටුණේය.සුදුමැලි මුහුනින්, ඔහු වෙව්ලීය.
"පාළම දු‍ටු විට ඔබේ හිස කරකැවෙනවාද?"
 "හිස කරකැවෙනවාද? මට මෙහි, තවත් ඉන්න බෑ.දැන්මම රියදුරුට පවසන්න මට ආපසු යා යුතු බැව්."
 නමුත්, රියදුරා හිස දෙපසට සැළීය.
 "අපි දැන් ආසන්නයටම පැමිණිලා.ඔවුන් සැම නිද්‍රාවේ. මා ඔවුනට අඬ ගසන්නද?ඔබ ගැන කලින් මා පවසා ඇති නිසා, ඔවුන් සැම, ඔබ දැකීමට තු‍ටු වේවි."

   
 "මා එනවා." කලින් ගත් සියලු තීරණයන් අමතක කරමින් දරුවා හඬ නැගීය. "මම ................ අර පෙර දිනක ආ දරුවා!"
දරුව නැවත එනවා."  හඬක් පැතිර ගියේය.   "දරුවා නැවත එනවා."බොහෝ හඬකින් එය ප්‍රතිඋච්චාරණය විය.
 "මා එන්නේ බොන්ස් මහතා සමගයි."
 සියල්ල නිහඬ විය.

 "හරි නම්  මා පැවසිය යුත්තේ බොන්ස් මහතා මා ද කැ‍ටුව එන බවයි." 
 නිහඬතාව තවත් ගැඹුරු විය.
 "අද ‍රැකවලා කව්ද?"
 "ඇචිලීස්."
 කඳු ගැටය අතරින් දිවෙන මාවතේ,දේදුනු පාලම නිමාව දකින තැන, කදිම පළිහක් දරමින් සිටින තරුණයෙකු ඔහු දිටීය. 
 "බොන්ස් මහත්මයා, හඳුනා ගන්න. පලිහක් අතැතිව මේ සිටින්නේ ශ්‍රේෂ්ඨ ඇචිලීස්."
 "මට ආපසු යන්න ඕනෑ." ඔහු කෙඳිරීය.
 දේදුන්නේ අවසාන කොටසත් දියව යත්ම,රථයේ රෝද, කඳු මුදුනේ නතර විය.විවරවුන දොරෙන් දරුවා එලියට පනිත්ම, රණකාමී ඇචිලීස් නැඹුරුව, දරුවා තම පළිහ මතින් ඔසවා තබා ගත්තේය.
 "ඇචිලීස්, අනේ " දරුවා ආයාචනා කලේය. "මා බොන්ස් මහතා තරම් උගත් හෝ බුද්ධිමත් නෑ.ඔහු එනතෙක් මදක් ඉවසන්න."
  නමුත් ඇචිලීස් ඔහුගේ වදන් නොතකා, දරුවා ත් සමග පළිහ ඉහලටම එසවීය.
  දරුවා,වීරයන් හා ගිනි ගන්නා නගරයන්, රනින් කැටයම් කළ මිදි වතු,තමා ගවේශණය කළ කඳු ගැටය හා එය වටකරමින් ගලා බසින් සදාතනික දිය දහර මූර්තිමත් කළ ඒ තේජානුසම්පන්න පළිහ මත වකු‍ටු වී විරෝධතා හඬක් පෑය.
 "නෑ, නෑ, මා නම් කොහෙත්ම මේ ගෞරවයට සුදුසු නෑ.මීට නියම සුදුස්සා බොන්ස් මහත්මයා."

නමුත් බොන්ස් මහතා කලේ නොකඩවා කෙඳිරි ගෑම පමණි.
 ඇචිලීස් තම හොරණෑව නාද කර,මහා හඬින්,"මගේ පළිහ මත කෙළින් සිටගන්න.", යැයි දරුවාට අණ කළේය.
 "බොන්ස් මහත්මයා, උරණ වන්න එපා.මා සිතාමතා සිටගත්තේ නෑ. එය ඉබේ වුණා.ඔබ ප්‍රමාද ඇයි? පිටතට විත්, ඔබ හොඳින් දන්නා, උතුම් ඇචිලීස් මුණගැසෙන්න."
 බොන්ස් මහතා වියරුවෙන් හඬ තැලීය.
"මට ඔය කියන කිසිවෙක් හෝ කිසිවක් පෙනෙන්නේ නෑ. මට ආපසු  යන්න ඕනේ." ඉනික්බිති, ඔහු රියදුරාට බැගෑපත් විය. "අනේ, මා බේරාගන්න.මට ඔබේ රියේ ‍රැ‍ඳෙන්නට ඉඩ දෙන්න.මා ඔබේ කවි පොත් වෙළුම් කර තිබෙනවා.ඔබේ කවි, සභාවල ගයා, ඔබට ගෞරව කර තිබෙනවා.මාව බේරා ගන්න කරුනාකර."
  රියදුරා මෙසේ උත්තර දිනි.
    "මම මාර්ගය පමණයි. අවසානය නොවේ. මම ආහාරය පමණයි. ජීවිතය නොවේ. දරුවා සේ තමා ගැන විස්වාස කර, නොබියව නැගී සිටින්න. මට ඔබ ගළවා ගත නොහැකියි.කාව්‍යය වනාහී ආත්මිකයි. ඊට ගරු කරන්නා ආත්මයට හා සත්‍යයට  ගරු බුහුමන් කළ යුතුයි."
                               බොන්ස් මහතාව ඉබේම අලංකාර රථයෙන් පිටතට බඩ ගෑවී ආයේය. මුලින්ම, මර බියෙන් විකුර්ත වුන, ඇරුන මුවෙන් යුත් ඔහුගේ මුහුණ ද, අනතුරුව, රියේ ඇන්දක්  තදින් මීරිකා ගත් අතක් හා වාතයට ගසමින් අනෙක් අතද එලියට ඇදිණ.ඉන්පසු, උරපතු එලියට ගෑටීය."මට ලන්ඩනය පේනවා" යයි මොරහඬ දෙමින්, ඔහු සඳ එලියෙන් පිරුන කන්ද මත වැටී,හරියකට වතුරකට වැ‍ටුනාක් මෙන්, ඒ අතරින් අතුරුදන් වී දරුවා ගේ දෘෂ්ඨි පථයෙන් ඈත් විය.  

 "බොන්ස් මහත්මයා! ඔබ වැ‍ටුනේ කොහාටද? මෙන්න, ඔබ පිළිගැනීමට සංගීතමය, ආලෝකවත් පෙරහැරක් පැමිනෙමින් සිටිනවා.එහි ඉන්නේ ඔබ හොඳින් කියවා ඇති ගැහැනුන් හා පිරිමින්. කන්ද හා ගංගාව අවදියෙන්. සාගරය ඔබ වෙනුවෙන් ඩොල්පින් අවදි කරවනවා. ඒ සියල්ල ඔබ නිසාමයි, බොන්ස් මහත්මයා."

    නැවුම් පත්වල පහස දරුවා ගේ ලලාටයට දැනිණ. කිසිවෙක් විසින් ඔහුට ඔ‍ටුන්නක් පලඳවන ලදී.

        kingston Gazette,  Surbiton  Times, හා     Raynes Park Observer  යන පුවත්පත්වළ පළවූ පුවතකි.

       අදහා ගත නොහැකි තරමට තැලී, පොඩි වී විකුර්ත  වුණ සෙප්ටිමස් බොන්ස් මහතා ගේ සිරුර, බර්මොන්ඩ්සි ගෑස් ආයතනය  ආසන්නයේ තිබී සොයා ගන්නා ලදී.මළ තැනැත්තා ගේ සාක්කුවල, රන් ආලේපිත පසුම්බියක් ද, රිදී සුරුට්‍ටු කවරයක් ද , ශබ්ද කෝෂයක් හා බස් ටිකට් දෙකක් ද විය.මේ අවාසනාවන්ත පුද්ගලයා ඉතා උස්  තැනක සිට බිමට වැටී ඇති අතර, මෙය අභිරහස් මරණයක් බවට සැක කෙරෙන නිසා, මේ පිළිබඳව පුළුල් පරීක්ශණයක් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
                                     

                         නිමි.



( translated from the short story "The Celestial Omnibus" by E.M.Forster. )

   

 (මෙහි ව්‍යාකරණ දෝශ ඇත්නම් (විශේෂයෙන් න,ණ, ල, ළ) ඒවා පෙන්වා දෙන්නේ නම් ඔබට තුති.ඉන්, අනෙක් අඩුපාඩු පෙන්වා නොදිය යුතු බැව් කිසිසේත් අදහස් නොකෙරේ.)


(image is from Google.)
                  
The Prelude of Rhinegold -  ඔපෙරාවකි
               

               
                           

Saturday, September 13, 2014

දිව්‍යමය රථය

             








      සර්බිටන්වල බකිංහැම් උද්‍යාන වීදියේ නො. 28 හි විසූ දරුවා,


                           තම නිවස ඉදිරිපස ඉදිකර තිබූ පැරණි සංඥා පුවරුව ගැන පෙර සිටම සිටියේ කුතුහලයෙනි.ඔහු ඒ පිලිබඳව තම මෑණියන් විචාල විට ඈ පිලිවදන් දුන්නේ එය නොහික්මුන  ගැටවරයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බවත් පොලිසිය එය ඉවත් කිරීමට උනන්දු විය යුතු බවත්ය.එම පුවරුව සරදමක් සේ සිතීමට කරුනු දෙකක් තිබිණ.ඉන් පළමුවැන්න නම්  වැසූ පාරක් දෙසට ගමන් මාර්ගය ඊතළයකින් සලකුනු කර තිබීමයි. දෙවැන්න,  බොහෝ කල් ගතවීම නිසා  බොඳ වූ අකුරුවලින්  'දෙව්ලොවට' කියා ලියා තිබීමයි.
                 
           "ඒක ලිව්වෙ මොන වගේ අයද, අම්මෙ?"

                     "ඔබේ පියා නම් මට කීවෙ එක්කෙනෙක් විශ්ව විද්‍යාල සිසුවෙක් කියා. යම් හේතුවක් නිසා ඒකෙන් එයාව පැන්නුවට පස්සෙ එයාගෙ ජීවිතේ කාලකන්නි වුනාලු. ඔබ පියාගෙන් ඇසුවොත් ඔහුත්, මා කී දේ සනථ කරවි".

 සවස තේ පානයට පැමිනෙන බොන්ස් පවුලට කේක් පිළිගැන්විය යුතුව තිබුනේ දරුවා විසිනි.එබැවින් මව , හොඳ ඇඳුමකින් සැරසීමට දරුවාට අණකර ඔහු උඩුමහළට යැව්වාය.ගතට හිර කලිසම අමාරුවෙන් අඳිනා අතරේ, ඒ ගැන වැඩි විස්තර බොන්ස් මහතාගෙන් විමසිය හැකි බැව් දරුවාට සිහිපත් විය.  


         දරුවාගේ පියා ඉතමත් කරුනාවන්ත පුද්ගලයෙක් වුවත්, ඔනෑම කුඩා ලමයෙක්  තම කුතුහලය සංසිඳුවා  ගනු වස්  අසන නොයෙක් මාදිලියේ  ප්‍රශ්නයන්ට කඳුලු පනින තෙක් සිනාසුනේය. අනෙක් අතට, බොන්ස් මහතා කරුනාවන්තව සියල්ල සාවධානයෙන් ඇසීය.


 පල්ලියේ  හා සාහිත්‍ය සංගමයේ භාරකාරත්වය දැරූ ඔහු නගරයේ අළංකාර නිවසක විසීය.නගර සභාවේ අසුනකට ඔහු තරඟ කළ අතර නාගරික පුස්තකාළයටද නොමසුරුව උදව් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඔහු හමුවීමට ආහ.කොටින්ම කිවහොත් නගරයේ සිටි  බුද්ධිමත්ම  මිනිසා වූයේ ඔහුය.

නමුත්, සංඥා පුවරුව ගැන විචාල විට බොන්ස් මහතාට පවා කිවහැකි වූයේ, එය ශෙලී නමැත්තෙකුගේ විහිලුවක් බව පමනි.

 "අන්න හරි." මව සැණෙකින් පිළිතුරු දුන්නාය.
       "ඒ තමා ඔහුගෙ නම. මට අමතකවෙලා තිබුනෙ."

              "ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද ශෙලී ගැන?"  බොන්ස්, දරුවා විචාරීය.
 දරුවා කනස්සල්ලෙන් මුව බිමට නැඹුරු කර ගත්තේය.  "නැහැ."




  "ශෙලීගෙ කාව්‍ය ග්‍රන්ථ මෙහි නැතිද?"
        "මොකද නැත්තෙ?" ගෙහිමි කාන්තාව නැවතත් පිලිවදන් දුන්නාය.
  අඩුම ගානෙ ඔහුගෙ කෘතීන් දෙකක්වත් මෙහි ඇති බව මට නිසැකයි. එකක් මගේ විවාහයේදී මට ලැබුන තිලිණයක්.අනෙක කුඩා අකුරින් මුද්‍රණය වූ කොපියක්."

මන්දස්මිත මුහුනකින් බොන්ස් මෙසේ පැවසීය. " ඔහුගෙ කෘතීන් ගනනාවක්මා සතුව තිබෙනවා."                    

 ඉනික්බිති, තම උදරය මත විසිරුණ කේක්  කුඩු පිස දමා ඔහු නැගී සිටියේ නිවෙස බලා යාමටය.

                 මවගේ ඉඟියකට අනුව, දරුවා ඔවුන් කැ‍ටුව උද්‍යාණයේ ගේට්‍ටුව අසලටම ගොස්, ඔවුන් නික්ම ගිය පසු, නැවත නිවසට නොපැමින, උද්‍යාන වීදීයේ ඈත මෑත බළමින් සිටියේය.

                      ඔවුහු උද්‍යාන වීදීයේ දකුණු පස නිවසක විසූහ.නො. 39 ට පසු එහි නිවෙස්වල ගුණාත්මක භාවය හා උසස් බව ඉතා වේගයෙන් පහළ ගියේය. නො. 64 නිවැසියන්ට මෙහෙකරු කාමර පවා නොතිබින. නමුත් මේ මොහොතේ, උද්‍යාන වීදීයේ නිවෙස්වල තිබූ උස් පහත්කම්, බැසයන හිරුගේ කසාවන් දීප්තියේ ගිලී අතුරුදහන් විය.
                 සිඟිති සියොතුන් ගේ කිචි බිචි නද අතරින් දරු පවුල් රකින්නන් ‍රැගෙන දුම්රිය, රිද්මයානුකූල ඝෝෂාවක් නගමින් සිල්වර් බර්ච් හා වුඩ් රෝස් ශාකයන්ගේ උදාරත්වයෙන්, සමස්ත සර්බිටන් පුරවරයේම සාඩම්බරය දෝතට ගුලි කරගත් ඇල්පයින් මිටියාවත හරහා ඇදි ගියේය.

           දරුවා තුල අසාමාන්‍ය හැඟීමක් ඇති කිරීමට මුල් වූ මේ කඳු අතරින් වැ‍ටුන දුම්රිය මග සැම දීප්තිමත්  දිනකම හරි හැටි විග්‍රහ කර ගත නොහැකි අමුතුම හැඟීමක් ඔහු තුල ජනිත කළේය.


ඔහුට ඇඬුම් ඒමට ආසන්න වන තෙක් ඒවා ඔහුගේ ඉස්  මුදුනේ සිට දෙපතුල දක්වා විහිද ගියේය.මෙදින එම හැඟීම වඩාත් තීව්‍රව ඔහුට දැනිණි.පාර පැන ඔහු අඳුරු ඇළියේ ඉදිරියටම දිව ගියේය. ප‍ටු ඇළිය වැටී තිබුනේ 'අයිවන් හෝ' හා බෙලා විස්ටා' යන නිවාසයන්හි උස් වූ තාප්ප අතරිණි. දුඟද හමන, යාර විස්සක් වත් දිගු නොවූ ඇලියේ කෙලවරට දරුවා ඉක්මනින් ලඟා විය.' මට ඔය ශෙලී කියන මිනිහට පයින් එකක් දෙන්න ඇත්නම්' ඔහු කෝපයෙන් හඬ නැගීය.ඒ සමගම තාප්පයේ අලවා ඇති කොල කැබැල්ලකට ඔහුගේ දෙනෙත් යොමු විය. ඔහු එය හඬ නගා කියවන්නට ගත්තේය.




                               S.AND C.R.C.C.
                  ප්‍රවාහන සේවා වෙනස්වීම් දැනුම් දීම  


             අනුග්‍රාහක භවතුන්ගේ හිඟකම නිසා අලුයම හා රාත්‍රී සේවා පමණක් ක්‍රියාත්මක වෙන බැව් කණගා‍ටුවෙන් යුතුව දැනුම් දෙමු. මහජනතාව තමනට රිසි පරිදි එය යොදා ගනිතැයි කල්පනා කරන පෙළඹවීමක් ලෙස, ප්‍රථම වරට, ආපසු පැමිනීමේ ප්‍රවේශ පත්‍රද එකවර නිකුත් කිරීමට  සමාගම තීරණය කර ඇති අතර  (එක් දිනකට පමණක් වලංගුය.)
      ඒවා රියදුරුගෙන් මිලදී ගත හැක.අනෙක් ගමනාන්තයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බැව් මගීන්ට කාරුනිකව දැනුම් දෙන අතර ඒ පිලිබඳව කිසිම පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.එමෙන්ම මගීන්ගේ අතපසු වීම් හා අමනෝඥ  ක්‍රියා, හිම කුණා‍ටු, අකුණු ගැසීම්, ටිකට්‍ටු අස්ථාන ගත්වීම් හා
                 කිසිම දේව කෝපයක් 
        සම්බන්ධයෙන් සමාගම වග කියනු නොලැබේ.

      දැනගැනීම සඳහා. 



          දරුවා මෙම දැන්වීම මීට පෙර කිසි දිනක මෙම ඇලියේ දැක තිබුනේ නැත.ඔහුට රථය කුමන ඉසව්වකට ගමන් කරනවා දැයි අනුමාන කළ නොහැකි විය. ඔහු දැන්වීමේ අකුරු guess කරන්නට උත්සාහ දැරීය. ඇත්තෙන්ම S  යනු සර්බිටන් ය. R.C.C. යනු Road  Car Company බව ඔහු දනිතැත්,අනෙක්      සී අකුරෙහි අරුත නිගමනය කිරීම ඔහුට අපහසු විය. එය සමහරවිට Comby and Maldon  හෝ City විය හැකිය.

                අනෙක් අන්තයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ ඇයි? ඇරත් ගමනක් යන්න කදිම වෙලාව!

                                  මෙය ප්‍රයෝගයක් නොවේ නම්, තමා බොන්ස්ලාට සමු දෙන අතරතුරේ, රථය ගමනාරම්භ කළ යුතු බව ඔහු සිතීය.ඇලියට ලඟාවන අඳුර අතුරින් බිමට නැමී බැලූ විට, හරියටම කිව නොහැකි වුවත්,රෝද සළකුණුවලට සමාන යමක් ඔහු නෙත ගැටිණ. විමසිලිමත්ව බලා සිටියත්, ඇලියෙන් කිසිම රියක් මතුවූයේ නම් නැත.එමෙන්ම මින් පෙර කිසිම දිනක බකින්හැම් උද්‍යාන වීදීයේ රථයක් ගමන් කරනුද ඔහු දැක නැත.


ඔව්. එයත්,සංඥා පුවරුව, සුරඟන කතා හා තද නින්දේදී තිගැස්සී අවදිවන ස්වප්නයක් මෙන් මිථ්‍යාවක් විය යුතුය.
                                ඔහු ගැඹුරු සුසුමක් හෙලා ඇලියෙන් පිටතට පැමිනියේ, හරියටම ඔහු දෙසට ගමන් කරමින් සිටි පියා අභිමුවටය.

                           අහෝ! ඔහුගේ පියා කොපමණ නම් සිනාසුනිද?

                              "ටට් ටට් ටා...! අද නම් හොරේ අහුවුනා!                      හිමීට ඇවිද්දේ දිව්ය ලෝකෙට යන්න නේද? පව්.. මගෙ දුප්පත් පැටියා."


      පියා කියෙව්වේ, කඳුලු වගුරවමින්,  නැමී තට්ටම්වලට ගසා ගන්නා  අතරතුරේදීය. ඔහුගේ මව ද සිනාව යටපත් කරගැනීම නිසා මුහුනේ ඉපිලීමට තතනන මස්පිඩුවලින් හා ගැස්සෙන සිරුරෙන්, පඩි පෙළ මත සිටගෙන සැමියාට ආයාචනා කළාය. " අනේ බොබ්, ඔච්චර විහිලු කරන්න එපා.මාව මැරෙයි.ඔය අහිංසකයට ඉන්න දෙන්න."
                                        නමුත්, එදින මුලු සැඳෑ වරුවම පියාගේ සරදම් පැවතිණ. තමාවත් එහි ‍රැගෙන යන ලෙස, රතුවූ මුහුනින් පියා අයැදීය.ගමන වෙහෙසකර එකක්ද යන හා රියට ගොඩ වීමට පෙර කකුල් පිසදා ගතයුතුද  යන්න ඔහුට දැන ගැනීමට අවැසි විය.

                               දරුවා, හීන වූ දිරියෙන් හා කැලඹිලි සිතින්නින්දට ගියත්, තමා රථය පිලිබඳව කිසිවක් , කිසිවෙකුටත් නොපැවසීම ගැන නම් තනිව සතු‍ටු විය.එය ප්‍රබන්ධයක් සේ ඔහුගේ සිහිනවල වඩ වඩාත්  ජීවමානව දිස් වූ අතර සර්බිටන් හා එහි වීදි මායාවක් සේ හිතේ ඇඳී ගියේය.
                      පසු දින හිමිදිරි පාන්දර ඔහු කෑ ගසාගෙන අවදි වූයේ, ගමනාන්තය ගැන ඉඟියක් ඔහුට දැනුන නිසාය.

                                දැල් වූ ගිනිකූරු එලියෙන්, හිරු උදාවට තවත් අඩ හෝරාවක් පමණ ඇති බැව් දරුවා දැන ගත්තේය.‍රැයේ ලන්ඩන් නගරයෙන් ගලා ආ ඝන මීදුම සර්බිටන් නගරයත්  තම ග්‍රහණයට  ගෙන, හාත්පස ඝන අඳුරේ ගිල්වීය.                                   



 බසය, සත්‍යයක් ද යන්න කෙසේ හෝ සොය ගැනීමට අදිටන් කරගත් දරුවා, වහා ඇ‍ඳෙන් බිමට පැන, තමාම ඇඳුම් ඇඳ ගත්තේ,' ඇත්ත දැන ගන්නා තුරු කොහොමත් මා මෝඩයෙක් වෙනවනෙ' යයි සිතමිනි.ඉනික්බිති, ප‍ටු, අඳුරු ඇලියට ඇතුල් වන  පහන් කනුව අසල වීදියේ, සීතලෙන් ගැහෙමින් ඔහු සිටගෙන සිටියේය.

                     ඇලිය, අඳුරු ගතියෙන් යුත්, තරමක බිය උපදවන සුලු එකක් වූ නිසා,එයට ඇතුලු වීමට නම් කෙනෙකුට යම් තරම දිරියක් තිබිය යුතුය. ඇරත්, රථයක් නැවැත්වීම කෙසේ වෙතත්, හැරවීම නම් කෙසේවත් කල නොහැක.

                           තමා පසුපසින්, බර අඩි තබා එන පොලිස් නිලදරුවකුගේ අඩි ශබ්දය නොවන්නට,ඔහු, ඇලියට ඇතුල් නොවන්නට ඉඩ තිබිණි. ඊලඟ  මොහොතේ, ඔහු දිරිය වඩා ගෙන ඊට ඇතුල් විය.නමුත්, අඳුරු , පාලු, වීදියේ,  මුව අයා, යමක් බලාපොරොත්තුවෙන් සිටින මෝඩ කොලුවෙකු ඇරෙන්නට, එහි වෙනත් කිසිවක් තිබුනේ නැත.එය සම්පූර්ණ ‍රැවටිල්ලකි.

                        " මම අම්මටයි, තාත්තටයි, මේ ගැන කියනවා. ඒ අය දැන ගන්න ඕන මගේ මෝඩ කම් ගැන. ඇත්තට මම කොච්චර මෝඩයෙක්ද දිව්‍ය ලෝකෙට මගීන් ගෙන යන රථයක් ගැන විශ්වස කරන්න!"

                ඔහු නැවත හැරී, තම නිවස දිසාවට ඇවිද්දේය. ගේට්‍ටු පියන අල්ලා එය ඇරීමට තැත් කරන අතරතුරේදී, තම ඔරලෝසුවේ වෙලාව වැඩියෙන් දුවන බව ඔහුට සිහිවිය.ඒ අනුව, ඉර උදාවට තව මිනිත්තු දෙකක පමණ කාළයක් තිබේ.'අන්තිම සැරේටත් චෙක් කරල බලල හිත හදාගමු'ඔහු සමච්චලයට මෙන් ඇලියට ඇවිද යන අතරතුර සිතීය.


      නමුත්, මෙවර රථය, ඇලියේ නවතා තිබිණ.
   නොකඩවා ගමනේ යෙදීම නිසා,තවමත් හති හලන,ජවාධිකයින් දෙදෙනෙකු බැඳුන රථයේ,විසල්, ඉදිරිපස පහන් දෙකේ ආලෝකය, මීදුම කපාගෙන , ප‍ටු ඇලියේ බිත්තිවල වැදී, එහි මකුලු දැල් හා පාසි, සුරඟන ලොවක  සැරසිලි මෙන් සිතුවම් කෙරීය.රියදුරා, හිසේ සිට වසාගත් සලුවකින් යුතුව, සීතලට වකු‍ටු වී රියදුරු අසුනේ සිටියේ ප‍ටු ඇලියේ තාප්පයට මුහුණ ලාය.
                          රථය මෙතරම්, නිහඬව හා සීරුවෙන් ප‍ටු ඇලිය තුලට කෙසේ ගත්තේද හා එය ඇලියෙන් ඉවතට ගන්නේ කෙසේද යන්න පිලිබඳව නොතිත් කුතුහළයෙන්  දරුවා රියට ආසන්න විය.

                   "මට කරුනාකරල දැනගන්න පුලුවන්ද මේ අර දැන්වීමෙ කියල තිබුන රථයද කියා?"
                         දරුවාගේ චකිතය හා බිය මුසු කට හඬ අපිරිසිදු වාතයෙන් පිරුන ඇලියේ ‍රැව් දිණ.

                 "ඔව්. එය තමා." හිස නොහරවාම රියදුරා පිලිතුරු දුන්නේය.
                           
 මොහොතක නිහැඬියාවකි.දරුවා නැවත ප්‍රස්න කිරීම ඇරඹීය.
                  "මෙය පිටත් වන්නෙ කීයටද?"

                          "ඉර උදාවන විට"

                      "කොපමණ දුර යනවද?"
                          "මුලු දුරම"
   "මට යන්න එන්න දෙකටම මෙතනින්  ටිකට් ගන්න පුලුවන්ද?"

                            "ඔව්. පුලුවන්."


                "දැන්නම් මට එන්නම කියල හිතෙනවා."
  රියදුරා කිසිත් නොබිනීය.ඒ වෙනුවට හේ තිරිංග බුරුල් කළේය.දරුවා රියට පනිනවාත් සමගම රථය ගමන ඇරඹීය.
         දරුවාගේ සිතේ නැවත ප්‍රස්ණයක් පැන නැගිණ. රියක් හැරවීමට කොහෙත්ම ඉඩ කඩක් නොතිබූ ඇලියේ, රියදුරා තම රථය හැරෙව්වේ කෙසේද? ඇරත්, රථය නවතා තිබුනේ තාප්පයට මුහුන ලාය.
           නමුත් දැන්, දුඹුරු පැහැයෙන් කසාවන් පැහැයට හැරෙන මීදුම හරහා එය සාමාන්‍ය වේගයකින් ගමනේ යෙදේ.
                       රථයේ එකම මගියා ඔහු වීය. මනාව නිමකල රථයක් වුවත් එහි ඇතුලතින් දැනෙන සීතල හා නිතර භාවිතයට  නොගැනෙන වාහනයකින් හමන පුස් ගඳ, එහි තනිව ගමන කාංසියක් දැනවීය.


                                                                                                                                               නිවසේ,  උනුසුම් ඇඳ ඇතිරිලි, උනු උනුවේ දුම් දමන උදය ආහාර, දරුවාගේ සිතුවිලි දුබල කලේ තමා මෝඩ ක්‍රියාවක් කල බව සිතමිනි.තම මේ ගමන නො ආ යුතුව තිබූ බව ඔහු කනගා‍ටුවෙන්සිතිය.ඔහුගේ මාපියන් නම් ඔහු ගත් මේ තීරණය කිසිදා අනුමත නොකරනු ඇත.
 කාළගුනය අයහපත් නොවූවා නම් ඔහු නැවත මාපියන් වෙත යනු ඇත.
               අධික සීතලෙන් වැළකීමට ඔහු තම කබාය තවත් ඇඟට තද කර ගත්තේය.එසැනින් ඔහුට තම සාක්කුව දැනිණි.
                  ඔහුට තම පොකැට්‍ටුව අමතක වී ඇත.

"නවත්වන්න. නවත්වන්න" ඔහු මොර ගැසීය. 
                නමුත් නිවසේදී නිතරම අසන්නට ලැබෙන විනීත ගති පැවතුම් ගැන උපදෙස් සිහි වී රියදුරාගේ නමින්ම ඔහු ඇමතීමට රථයේ නාම පුවරුව දෙස නෙත් හෙලීය. "බ්‍රව්නි මහත්මයා, නවත්වන්න. අනේ, කරුනාකර නවත්වන්න"
             රියදුරා රථය නොනැවත් වූ නමුත්, කුඩා කවුළුවකින් ඔහු දෙස බැලුවේය. දරුවා පුදුමයට පත් කරමින්, ඔහු දෙස බලා සිටියේ,කරුනාවත්, නිහතමානි මුහුණකි.

                          "බ්‍රව්නි මහත්මයා. මුදල් පසුම්බිය අමතක වී ඇති නිසා ඔබට ගෙවීමට සතයක් වත් මා ලඟ දැන් නෑ. ඒ වෙනුවට මගෙ අත් ඔරලෝසුව ගන්න හැකිද කරුනාකර"?

                    රියදුරා මුවෙන් නොබැණම ටිකට්‍ටුව ඔහු අතට පත් කළේය. "සමාවෙන්න. අවසර පතට අය නොකලාට තුති." ඔහු කිසිත් නොදොඩා දරුවාට තමා අසලින් අසුන් ගන්නා ලෙසට සන් කළේය.

                      දෙදෙනා,  කහ පැහැයෙන්, ස්වේත වර්ණ ගන්නා ඝන මීදුම අතරින් රියේ ගමන් කළහ. දරුවා මුනිවත බින්දේය. "ඔබ මුල සිටම කලේ මේ ‍රැකියාවද?" 

                    "නෑ. මම මුලින් ශල්‍ය ශල්‍ය  වෛද්‍යවරයෙක්."

                      "ඉතින් ඇයි ඔබ ඒ ‍රැකියාව අත ඇරියෙ?ඔබ අසාර්ථක වුණාද?"

        "ශාරීරික රෝග සුවකරන්නෙක් ලෙස මා අසාර්ථක වුනේ, මගේ රෝගීන් මට කලින් පරලොව ගිය නිසායි. නමුත් ආත්ම සුව කරන්නෙක් ලෙස නම් මා නොසිතූ විරූ ලෙස සාර්ථක වුණා.මගේ හා අනෙක් වෙදදුරන්ගේ ඔසු අතර එතරම් වෙනසක් නොතිබුනත්, බොහෝ විට දුබල ආත්ම, ඒවායින් උගුරක් බී ප්‍රාණවත් වීමට රුචි කළා."

 මඳ විරාමයකට පසු, රියදුරා ගමනාන්තය ගැන බිඳක් දරුවාට හෙළි කළේය. නමුත්, ඔවුන් වැඩිදුර  කතා නොකළහ.
රියදුරා පැවසූ දෙයින් , තමා කළින් අසා තිබූ ශෙලී නමැත්තා  ගැන වැඩිදුර තොරතුරු අසන්නට ලැබිණ.

                      ඔහු ඉතා පරසිදු පුද්ගලයෙක් බවට පත්වි තිබූ අතර ඔහුටම කියා මගී ප්‍රවාහන රියක්ද තිබිණි. ප්‍රවාහන සමාගමේ සේවයේ යෙදෙන, එවන්, තව බොහෝ රියදුරන් ගැන, රථාචාර්යයා දොඩමලු විය.
                මේ අතර, මීදුම  මැදින් ආලෝකය කෙමෙන් වැඩි වර්ධනය වී ය.ඒ අතරින් යන විට දරුවාට දැනුණේ, තමන් වලාකුලු අතරින් යනවා සේය.

                     ප්‍රහේළිකාත්මක ලෙස,දෙහෝරාවක පමණ තැන් සිට, අසුන් දෙදෙනා කන්දක් නගින බැව් දරුවාට දැනුනේ, උන්, කොලරය මත බර දරා, රිය ඇදි නිසාවෙනි.ඔවුන් නගින්නේ රිච්මන්ඩ් වුවත් (බෑවුම් සහිත පෙදෙසකි) ඔවුන් ගත කල කාලය අනුව මේ වන විට එහි මුදුනට පැමිනිය යුතුවිය.සමහරවිට එය එප්සම් හෝ නෝත් ඩවුන්ස් විය හැක.නමුත්, ඔවුන් සිසාරා හැමූ සුලඟ, ඒ පරිසරයට වඩා බොහෝ සිහිල් බවක් පෑය.
   නමුත්, සර් බ්‍රව්නි, ගමනාන්තය ගැන තවදුරටත් මුනිවත ‍රැකීය.

    අකුණක් කෙටීය.

 "මගෙ දෙවියනේ! මේ ලඟම වැදුනෙ. හරියට කන්දක මෙන් දෝංකාර දෙන අයුරු."
ඔහු තම මව හා පියා ගැන සිතීය. කුණා‍ටුවේ හඬට සවන් දෙමින්, ඔවුන් රාත්‍රි ආහාරය ගන්නා අයුරු හා තම හිස් වූ අසුන  ඔහු මනසින් දිටීය. 

 ප්‍රස්න කිරීම්,බියවීම්, තර්ක විතර්ක හා සැනසිලි වදන් පැවසෙනු ඇති. නමුත් ඔවුන් දිවා ආහාරයට දරුවා බලාපොරොත්තු වනු ඇති. අනෙක් අතට, දිවා ආහාරයට හෝ සවස තේ පානයට නිවසට පැමිනීමේ  හැකියාවක් නැතත්, ඔහුගේ හිතුවක්කාර සවාරියෙන් පසු, නොවරදවාම, දරුවා,  රාත්‍රි ආහාරයට නම් නිවස බලා පිය මනිනු ඇති. ගත යුත්තේ කුමක් දැයි නිනව්වක් නැති මුත්, තම පසුම්බිය තිබුනා නම් ඔහු ඔවුන්   දෙදෙනාට යමක් මිලදී ගන්නේය.


    ශබ්දය හා ආලෝකය එකවර පිටවිය.පණ ඇතිවාක් මෙන් වලාකුළු වෙව්ලීය.රථය බිඳුන මීදුම් කැටිති පසුකර වේගයෙන් ගමන් ගති.
           "ඔබ බියද?" සර් බ්‍රව්නි විචාළේය.
 "බියවන්නේ කුමකටද, ඔබ සිටින විට? තව බොහෝ දුර යා යුතුද?"
  කම්මලක යකඩ තලන්නා සේ කන් බිහිරි කරවන හඬක් නගමින්,රත් පැහැ ගිනි බෝලයක් ඔවුන් නුදුරින් පුපුරා යත්ම, අසුන් නැවතුණහ.

    මුලු වලාකුළම පුපුරා හැලුණේය.
           "ඇහුම්කන් දෙන්න, සර්. බ්‍රව්නි, නෑ මං කියන්නෙ බලන්න. ඒ නම් ඇහෙන්නෙ දේදුන්නක් පායා එන හැටි."
          අසු කුරවල සිට ඈත  ක්‍රමයෙන් දියවන මීදුම දක්වා, වක්‍රාකාරව පුලුල් වෙමින්, දේදුන්නක් නැගී ඒම ඇරඹීය.

 "කොපමණ චමත්කාරජනකද? කෙතරම් සුන්දර පැහැයන්ද?එය නවතින්නේ කොතනින්ද?එය නම් මා දකිනවල සිහිනවල ඇති, ඇවිද යාහැකි දේදුන්නක් වගේ."
     දේදුන්නේ, පැහැය හා හඬ ක්‍රමයෙන් වැඩි විය.එය, ඇසට නොපෙනෙන තරම් විසල් පෙදෙසක් වසා ගත්තේය.වලාවෝ, එය හරහාත්, උඩින් හා යටිනුත්, පාවී ගියහ. අවසන, දේදුන්න, වලාකුළුවලට වඩා ඝන වූ යමක හැපී නතරවිය.

 "දරුවා ඈත මෑත බැළීය. "අර ඈතින් දිස්වන්නේ කුමක්ද?දේදුන්න ‍රැඳුනේ කුමක් මතද?" 
            උදෑසන හිරු එලියෙන් ඈත කඳු ගැටයක් වැනි යමක් දිස්විය. නැතහොත් එය මාලිගාවක්ද? අශ්වයෝ නැවත් ගමනාරම්භ කළහ. උන්ගේ කුර දේදුන්න මතින් පාවී ගියේය.

 "අර බලන්න."දරුවා විස්මිතව කෑගැසීය.






"අර ගුහාවෙන් එන හඬට ඇහුම් කන් දෙන්න. අර කඳු ගැටය මත මට මිනිසුන් හා ගස් වැල් පෙනෙනවා."
 "පහල බලන්න. දිව්‍යමය  ඇචිරොන්ට ඇහුම් කන් දෙන්න." සර් ‍තෝමස් බ්‍රව්නි සිහින් හඬින් කීය.

 දේදුන්නෙන් පිටවන ගිනිදලුවලින් වැසුන රියේ රෝද අතරින්,දරුවා දෙනෙත් දැල්වීය.
 ප්‍රපාතය පහව ගොස්ය. ඒ වෙනුවට, සදාතනික ගංගාව ගැඹුරේ ගලා ගියේය.හිරු කිරණ, හරිතවර්ණ පොකුනකට එළිය විහිදුවත්ම, එහි ගයමින්, කෙළිදොලෙන් සිටිනා ලලනාවෝ තිදෙනෙක් දෘශ්‍යමන වූහ.

 "දියේ සිටිනා ඔබට සුභාශිංෂන!" දරුවා කෑ ප්‍රීතියෙන් හඬ නැගීය."
 "පාලමේ ගමන් කරනා ඔබටත්, අපෙන් සුබපැතුම්." සංගීතයක් පාව ආයේය.  
 "ගැඹුරේත්,උස් තන්හීත්, දෘශ්‍යමාන වන්නේ, සත්‍යයම පමණි"

                      රථය ගමනාන්තයට ලඟා විය.

( දෙවන කොටස ඉක්මනටම.)




E.M.Forster ගේ  "The Celestial Omnibus" නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
(Images are from Google.)                                                      


  • Achiron  -       මිත්‍යා ගංගාවකි  -river of pain

  • Sir Thomas Browne- a famous essayist