Friday, June 13, 2014

හිම වැටෙනා සැන්දෑවක ලඳු කැලයක සිරි නැරඹීමි










දනිමි යැයි සිතමි මම මේ ලඳු කැලය හිමිකරු.
වෙසෙසත් ඔහු ගම්මානයේ.
නොදකිනු ඇත ඔහු මා, නැවතී 
සිරි නරඹනු, හිම විසිරුන මේ ලන්ද.

සිතනු ඇත මගේ අසු අරුමයකැයි
මා ඉසුඹු ලනු, නැතිවුවත් අසලක  ගැමි ගෙයක්.
ලන්දත් මිදුන විලත් අතර ඇත්තේ
අඳුරුම අඳුරු හැන්දෑවකි.

ඌ උගේ ගිගිරි වැල් සොලවන්නේ
මා හට යම් වරදක් වීදෝයි අසන්නට මෙනි.
සවනත වැකෙනා අනෙක් එකම හඬ නම් 
සිහිල් මද නළ හා තුනිව වැටෙනා හිම පියලිය.


ලන්ද සොඳුරුය, අඳුරු හා ගැඹුරුය.
නමුත් ඇත මට රකින්නට පිළින
තවත් බොහෝ දුර ය යුතුය නින්දට පෙර.
තවත් බොහෝ දුර යා යුතුය නින්දට පෙර.


Stopping by Woods on a Snowy Evening
BY ROBERT FROST

Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   

And miles to go before I sleep.







ඉංග්‍රිසි සාහිත්‍යයේ කවිවලින් මා ඉතාමත් ප්‍රිය කරන කවිය මේ යයි කීවොත් නිවැරදිය. එය පරිවර්තනය කිරීමට බොහෝ කළක සිට සිතුවෙමි. නමුත් එසේ කිරිමට බිය වූයෙමි. මා ඉතාමත් කැමති බ්ලොගයක් වන    PARIVARTHANA   හි මෙය පරිවර්තනය කර තිබෙනු දු‍ටු විට එය නොකියවාම  මෙය පරිවර්තනය කළෙමි. නොකියවූයේ , එසේ කළහොත් එය මගේ පරිවර්තනයට බල පෑ හැකි නිසාය.



Friday, February 14, 2014

අඳුරෙන් මතුව ආ එලිය








              අපට යමක්  තේරුම් ගත හැකිවන්නේ, එය අපට  මනාව දිස්වන්නේ නම් පමනකැයි සමහරු පවසති. නමුත්, සරත් ඉර්තුවේ, එක් අඳුරු සැඳෑවක ඒ අදහස සාවද්‍ය බැව් මම පසක් කර ගතිමි. මගේ සුනඛ ‍රැළ ද එසේම සිතුවා නො අනුමානය.

                 අපි මුළු උදය  වරුවම පුහුණු වෙමින් සිටියෙමු.සමහර  නවක සුනඛයින්ට  බොහෝ වේලා දිවීම අපහසු වූයෙන් ඒ සීතල සැඳෑවේ විවේකයක් ගැනීම පිනිස නතරවීමට අපට සිදුවිය.
                   මම හුදකලා බිමේ ගිනි මැලයක්  ගසා ඒ අසල කුඩා කූඩාරමක් අටවාගෙන  නිදාගත්තෙමි.
  තවමත් හිමපතනය තදින්  නොවීම නිසා දිවිම සඳහා මා  සකසා ගත්තේ රෝද තුනක් සහිත කුඩා කරත්තයකි.ඒ හේතුව නිසා කැළය මැදින්, කොට  ඇදිමට යොදා ගත් පුලුල් මාවත් හා  පිට්ටනි වැනි විවුර්ථ ස්ථාන පමනක්  මේ කාර්යයට යොදා ගැනීමට මට සිදුවිය. නවකයින් අලස වීම වලක්වනු සඳහා උන් නොකඩවා පුහුනුවීම් වල යෙදවීමට මම අමතක නොකලෙමි. එබැවින්  අද අප ලඟා වී තිබුනේ මින් පෙර නොදිවූ මාවතකටය. 

                      කරත්තයේ මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඇලීම නිසා ගමන ඉතා දුශ්කර විය.  ගිනි  මැළයේ උනුසුමට ගුලි වී සැප නින්දේ ගතවුන කලයෙන් පසු අවදිවුන මා කරත්තයේ රෝදවලට ඇලී ගමන බාල කළ අපද්‍රව්‍ය සියල්ල ඉමහත්  ආයාසයෙන් ඉවත් කලෙමි.ඒ රාජකාරිය නිමා වන විට රෑ මැදියමද ඉකුත් වී හමාරය.නැවතත් පුහුනුව සඳහා මම සුනඛයින් කරත්තයට ඈඳුවෙමි. එක්වරම මා හිස් පලඳනාවේ සවිකර තිබූ  පහන නිවී ගියේය. බල්බය මාරු කලත් හරි නොගිය තැන, මම අලුත් බැටරියක් දමා පහන දැල්වීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වූයේ වයර්වල  දෝශයක්  ඊට වගකිය යුතු නිසාය.

                                   වෙනත් විකල්පයක් නොවූ තැන, නැවත නින්දට යාමට සිතුවත්, කරත්තයට ඈඳූ සුනඛයින් නොඉවසිල්ලෙන් කෙඳිරි ගාමින්, කරපටි කඩාගෙන ඉදිරියට ඇදෙන්නට යත්න දරමින් සිටියහ. ඕන දෙයක් වෙච්චාවේ යි සිතා  මම බල්ලන් කරත්තයට සවි කර තිබූ ‍රැහැන් බුරුල් කලෙමි. බල්ලෝ හැල්මේ ඉගිලුණහ. මහ ‍රැ කලුවරේ බලු ‍රැළක්  දුවවනවාට වඩා දුෂ්කර දෑ මින් පෙර මා කර ඇත.
                   නිවී යන ගිනි මැලයේ ගිනි පුලිඟු එලියෙන් මෑත් වූ සැනින්ම අපි ඝන අඳුරේ කිමිදුනෙමු.මග පෙන්විමට ඉමහත් උපකාරී වන හිස් පලඳනා පහන නොමැතිම කලුවරේ බලු ‍රැළක් දිවවීම උමතුවක් බැව් මට වහා පසක් විය. කිසිම මග සලකුණක්  මෙතෙක්, දෘශ්‍යමාන  නොවීම නිසා අප මග ඇහිරූ බාධක හෝ කලින් දා ‍රැ වැස්සෙන්  පිරුන දිය කඩිති ගැන මට කිසිම හැඟීමක් නොමැති විය.  වලාකුලින් බරවූ අහසත්, සෙල්සියස් අංශක පහක පමණ වූ පහල උෂ්ණත්වයත් ගැටළුව වඩාත් නරක අතට හැරවීය. 

         සඳ එලියක් හෝ තාරකා  නොමැතිව, දිය කඩිති කොහේදැයි සොයා ගත හැකි වූයේ ඒවායින් මා නෑවුන පසුවය.මගේ නාසය, මුව, දෙනෙත්  හා මුහුන මඩ දියෙන්  පිරී  ගියේය. 
                  ඝන කලුවරේ, බලු රෑනක් අදින කරත්තයක පසුපසින් නැගී යන මා හට ගස්වල අතු ඉතිවලින් වූ හිරිහැරය කෙසේ නම් විස්තර කරන්නද? ඒවා බොහෝවිට මා කරත්තයෙන් පිටට විසිවන තරම් වේගයකින් මා ගතේ ගැටිණි. ගමන අරඹා හෝරාවක් ඇතුලත, මා ගමන් කරන්නේ උතුරටද, දකුනටද කියා සොයාගත නොහැකි තරමට මා අන්දුන් කුන්දුන් වී සිටියෙමි.

                    අඳුර කපාගෙන හැල්මේ දුවන ආකාරයෙන්, උන්ට කිසිසේත් තෙහෙට්‍ටු බවක් නොපෙන්වූවත්, බල්ලෝ එක්වරම ගල් ගැසී නැවතුණහ.   
                                   ඒ මොහොතේම මගේ මග ඇහිරූ අතු කැබැල්ලක් වේගයෙන් මගේ මුහුණේ වැදී තාවකාලිකව මා අන්ධ කළේය.වේදනාව නිසා පියවුන දෙනෙතින්, මුහුණ අතගාන අතරතුරේ, මට දැනුනේ, උන් හදිසියේම අතරමග නතර වී ඇති බවත්, කරත්තය උන් යටකරගෙන යාම  වැලැක්වීමට නම් තිරිංග තදකල යුතු බවත්ය.අතු කැබැල්ල හැපීමෙන් නිලංකාර වුන මගේ දෙනෙත්, පරිසරයට අනුගත වීමට තත්පර කිහිපයක් ගතවූ අතර දෑස් විවර කළ සැනින් මම ඒ අපූර්ව ආලෝකය දිටිමි.
                           ඒ එලිය කොළට හුරු කහ පැහැ දීප්තියක් විහිදුවමින්, අප ඉදිරියේ ඇති  කැලෑ රොද හා අප යා යුතු මග, තම දීප්තිමත් ආලෝකයෙන් පුරවමින් සිටියේය.  පලමු තත්පර කිහිපය ඇතුලත එය මා දෙසට ඇවිද එන යමෙකුගේ ආලෝකය දැයි සැක සිතීමි.  මා හැරෙන්නට සුනඛයින් පුහුනු කිරීමක් සිදු නොවූ නිසා, වන රොදක් තුල, මේ මහ රෑ මිනිසකු කුමක් කරන්නේ දැයි මට සිතා ගත නොහැකි වුවත්, ප්‍රථමයෙන් එය දු‍ටු විට මම  ප්‍රීතියෙන් පිනා ගියෙමි.      ක්‍රමයෙන් එය සෙලවෙන්නා සේ දැනිණි.
                         නමුත්, එය විදුලි පන්දම් එලියක් හෝ වාහනයක ඉදිරිපස පහන්වලින් නිකුත් වූ ආලෝකයක්  නොවිය හැකි බැව් මට වැටහුනේ,  බිම් මට්ටමට  කිට්‍ටුව පුලුල් පරාසයක සිට,  වරෙක අඩුවෙමින්ද වරෙක  වැඩි වෙමින් ද ඒ අපූරු කොල පැහැ දීප්තිය එල්ල වූ හෙයිණි.
                                       මෙතෙක්, බිය වීමට මට කිසිම හේතුවක් තිබුනේ නැත.එමෙන්ම, මගේ සුනඛ ‍රැළ,එකාවන්ව, ඔවුන්ටම ආවේණික හඬක් නිකුත් කිරීමට පටන් නොගත්තා නම් මා බිය  වන්නේද නැත.
                                   උනුන්ටම හුරුවූ විවිධ නාද රට අසා මට හොඳ හැටි පුරුදුය.වැසි වැටෙන විට, මුල්ම හිම පතනයේදී, ම ඔවුන් දමා  ගමන් යන විට, තම පැටවුන් පුහුනු කිරීමේදී හා වෙනත් බොහෝ අවස්ථාවල මම ඒවා අසා ඇත්තෙමි. එසේ වුවත්, මේ විශේෂිත  හඬ මීට කලින් මා අසා ඇත්තේ එකම එක් වරක් පමණි. ඒ උන්ගෙන් එකෙක් කූඩූවේම මැරී සිටි දිනකය. 

                    එසේ නම් ඔවුන් මේ ගයන්නේ මරණයේ ගීතයයි.එකාවන්ව, මගේ සුනඛයින් ‍රැළ, පිටකළ ඒ ගත කිලි පොළන, මූසල හඬ අසා, මම බියෙන් මුසපත් වුනෙමි.මුදු පළා පැහැයෙන් යුත් අද්භූත දීප්තිය තුලින්,අනතුරක සේයාවක්  ඉඟි කරමින්  මොර ගෑ සුනඛයින් ගේ රූ දිටිමි. කිසිත් නොසිතාම,  මගේ මනස, එම ආලෝකය, අද්භූත යැයි තීරණය කර හමාරය.
                           කුඩා   කළ මා කියවූ පොත්වළ, හා නැරඹි සිනමා සිත්තම් වල සිටි පිසාචයින්, භූතයින්, කුම්භාන්ඩයින් හා හඳ එලියේ වවුලන් සේ ත‍ටු ගසා යමින්, විසල් මන්දිරවල  සිටි සුරූපිනියන්ගේ රුහිරු උරන වැම්පයරයින්, මැදියම් රෑ කනත්තේ සොහොන්  කුටි  තුලින් අවදි වන මලවුන් ආදී සිත් කීරි ගස්සන  දසුන් සියල්ලක් මගේ මතකයට නැගෙන්නට වන.
                              සුනඛයින් නොකඩවාම අමුතු හඬකින් බිරුහ.ඒ හඬ, හුදකළා ‍රැයේ, පරිසරයේ සීතල දෙගුන තෙගුන කරමින්, ඇට මිදුලු මිදෙන තරම් වූ බියක් මහද ජනිත කළේය.   මම, මොහොතක්, කරත්තය පසුපස හිඳිමින්,ඒ දෙස තැතිගැන්මෙන්  නෙත් හෙලීමි.

                                                  එසේ වුවද, කුතුහලය යනු මානවයාට  ලෝකාරම්භයේ  සිට උරුම වූ මහා පුදුමාකාර දෙයකි. මගේ අනුමැතියක් නොමැතිවම, මගේ දෙපා ඇවිදීමට පටන් ගත් අතර, මගේ සිරුර, ඒ පසුපස ගියේය.අඳුරේ සිටගෙන සිටින බල්ලන් අට දෙනාගෙන්, එකෙකුගෙන් තවෙකෙකුට මාරු වෙමින්, පලිහක් සේ උන් යොදා ගනිමින්,  තවත් වාරුවීමට  එකෙකු නැති වනතෙක්ම මම පෙරට ඇවිද ගියෙමි.  
                                          ඒ අතරතුර, මේ අදිසි ආලෝකය,  විවිධ රටා මවන තොරණක් සේ අඩු වැඩි වෙමින්, දිලි, දිලී  මගේ මනස අවුල් කළේය. මම බල්ලන්ගෙන් මෑත් ව තවත් පියවරක් ඉදිරියට දිගු කලෙමි. හාත්පස පිරික්සමින්, මගේ ‍රැකවලුන් හා මා අතර දුර ඇසින් මනිමින් තවත් පියවරක්  ගත්විට  ආලෝක ප්‍රභවය මනා සේ දිස්වන්නට විය.

  එය කොහෙත්ම මිනිස් චායාවක් නම් නොවීය.උසට නැගුන  විසල් හා අක්‍රමවත් හැඩ තලයකි.ආලෝකය පැතිරුනේ එය තුලින්ය.කොල පැහැයෙන් පටන් ගෙන විවිධ දිසාවන්ට එලිය විහිදුවමින්, අගට යත්ම කහ  පැහැයක් ගත් එය මගේ නෙත් අබිමුව එහි හැඩය විටින් විට වෙනස් කළේය.

          මගේ හදවත, පපු කුහරයෙන් ඉල්පී, දෙපා අබිමුව  වැටෙන්නා සේ දැනිණි.අසීමිත බිය, මා පොලොවට මුල් ඇද්දවීය.ඒ නම් මලවුන් ගෙන් නැගිට ආ අවතාරයක් මිස වෙන  යමක් විය නොහැක.   

මේ අතරතුර මා පි‍ටුපසින් යම් සෙලවීමක් දැනිණි. බලු ‍රැල, කරත්තය ඇදගෙනම හිමිහිට මගේ දෙපා අසලටම පැමිණ ඇත.හරිතවර්ණ ආලෝකයේ කිමිදෙමින්, උන් මගේ දෙපා මුල සිටගත්හ. කන් උඩට ඔසවමින්, හිස් සොලවමින් උන් සැම  මඳ වේලාවක් එය නිරීක්ෂණය කළහ.

          උන්ගේ ආගමනයෙන් ලත් දිරියෙන්, මම එයට ඉතාමත් සමීප වීමි. ඌ හුද මා පසුපස ආහ.අවසානයේ බලු ‍රැළ හා මම,  ලේ මුදවන තරම් භීතියක් උපැද්දූ ආගන්තුක දීප්තියට නෙත් හෙලීමු. ඉදින්, මා දු‍ටුවේ කුමක්ද?
                                                                          එය, හුදෙක් ගස් කොටයකි.අඩි හයක් පමන උසැති, දිරාපත් කොටය කොල පැහැයෙන්, අඳුරු ‍රැයේ බැබලුණේය. බල්ලන් මා වට කරගෙන, තම සංවේදී නාස්වලින්, ගස් කොටය ඉව කළහ.

                                  කොටය, පොලොවෙන් පොස්පරස් උරාගෙන, කොල පැහැය විහිද වූ බැව් මම පසුව දැනගතිමි. නමුත් ඒ පසුවය.

                                එදා රෑ, මම එය නොදැන සිටියෙමි.කොටය අල්ලා බලා, සීතල ආලෝකය දෑතට දැනුන පසුව වත්, මගේ බිය පහ නොවීය.නමුත් අවසන, මගේ ‍රැලේ සිටි  පැටී නම් කලු පුල්ලි බල්ලා, මා වෙනුවෙන් ඒ රාජකාරිය ඉ‍ටු        කළේය ඌ, හොඳින් එය  කිහිප වරක්  ඉවකර ' මොන කෙහෙල්මලක්ද මේ' කියන්නා සේ, පස්ස ගාතය උස්සා කොටයට මුත්‍රා කළේය.මම සැහැල්ලුවෙන් සිනාසුනෙමි.



                        ඔන්න මා දු‍ටු භූතයා. එතනින් සියල්ල නිමාවිය.



Translated from the short story, "A Walk  in the Dark" by Gary Paulson.


             

      



                    

                                 



                         

Wednesday, December 11, 2013

ගං ඉවුරේ පන් නෙලන්නී ඈ









පන් නෙලන්නීය, වෙලට බැස මිත්තණිය
වැතිර ඉඳිමි මා ගං ඉවුරේ.
ඉදී බෙරි වී පැලුණ කිරල ගෙඩිවල  සුවඳ
කූරු ගායි මගේ නාස් පුඩු.


ඉව කරමින් ඒ මිහිරි සුවඳ
ඇවිද යමි ගං ඉවුර දිගේ
බලමින් දෙපස, සොයමින් කිරල ගෙඩි
මඩ තුල වැතිරුණ.
කඩොලාන මුල් අතර
ඉස්සො පැටව්
නටති, පනිති, දඟලති.

පෙනෙයි සේයාවක් පැහැදිලි ගං දියේ.
දිගු නොවූ හිසකේ, බෝරිච්චි ගවුමක්.
කුතුහළයෙන් වෙලුන ඇස් ඇති
කෙලි පොඩ්ඩියක්.

සවනත වැකෙයි මිත්තණියගේ කට හඬ.
" කෙල්ලේ, මෙහෙ වරෙන්."
මෑත් වී ගං තෙරෙන්
රුං ගා දුවමි ඇය වෙතට.

මිටි බඳියි නෙලූ පන් ඈ.
විසිර ඇති නියර මත.
බලා සිටිමි නොඉවසිල්ලෙන්,
ඔසවන තුරු පන් මිටියක්
මා හිස මතට.

ගනිමි එය හිස මතට, පාත් වී හිමිහිට.
විඳිමින් කොමල පහස,
වළාතර සැඟවෙන  සුමුදු හිරුගේ.

පා තබා සීරුවෙන්, ඇවිද යමි මා
කිරුළ හිසින් ගත් ‍රැජණක සේ.





ඕනෑම මොහොතක චිත්‍රයක් ඇඳ දෙන්න කියා ඉල්ලූ විට හැකි විගස එය කරදෙන වසන්තා ප්‍රනාන්දු ගුරු මහත්මියට මගේ ස්තූතිය පිරි නමමි.


(කවියක් ලියන්න ගත් උත්සාහය සාර්තක වුනාදැයි නොදනිමි. නමුත් මේ අතීත අත්දැකීම එලියට දැමීමට වෙන පහසු ක්‍රමයක් සොයා ගත නොහැකි විය.)

Friday, October 25, 2013

සැටින් ගවුම













      ඇඟලුම් කම්හලක තරුණ ළඳක් සේවය කළාය.ඇගේ වේතනය සෑහුනේ ආහාර හා නවාතැන් කුලි සඳහා පමණි.එබැවින් ඇගේ පොහොසත් මිතුරියක ගේ විවා මගුලකට ඇරයුම් ලද විට කළ යුත්තේ කුමක් දැයි ඇය නොදත්තාය ඇගේ දුක්බර දිවියෙන් මොහොතකට මිදී සතු‍ටු වීමට මගක් පෑදී ඇත.එහෙත් උත්සවයකට සරිලන නවීන පන්නයේ ඇඳුමක් මිලදී ගැනීමට හෝ ඊට සුදුසු රෙදි කැබැල්ලක් මිලදී ගෙන ඇඳුමක් මසා ගැනිමට හෝ ඇයට වත්කමක් නොතිබිණි. 

    ඇය මෙම ගැටලුව තවත් මිතුරියකට පවසා ඇගෙන් උපදෙස් පැතුවාය.

               " ගැලපෙන ඇඳුමක් කුලියට ගන්න."  ඇගේ පිලිතුර විය.

      ඇය එදින සවසම නගරයේ ඇඳුම් කුලියට  දෙන සාප්පුවකට පිවිසුණාය.සාප්පුවේ පි‍ටුපස කෙලවර පු‍ටුවක දමා තිබූ අලංකාර රෝස පැහැති සැටින් ගව්මක් ඇගේ නෙතට හසුවිය.එම අසුන මතම කුඩා, රිදී පැහැ පෙට්ටියක  බහාලූ, ඇඳුමටම ගැලපෙන, කරාබු හා  කුඩා මාලයක් අඩංගු විය.දැරිය හැකි මිලකට ඇයට ඒ සැම එක් දිනකට කුලියට දීමට  සාප්පුව හිමිකරු එකඟ වූයේය. 


    පස් වනක් ප්‍රීතියෙන් පිනා යමින් උත්සවය පැවැත්වීමට නියමිත දින සවස් යාමයේ ඇය ඇඳුම නිවසට ‍රැගෙන ආවාය.

                   රෝස පැහැ සැටින් ඇඳුම ඇඳ, ගැලපෙන අබරණද පැළඳ, ඇය කැඩපතට එබී බැලුවාය.කැඩපතෙන් ඇය දෙස නෙත් නොහෙලා බලා සිටියේ , බැබලෙන කම්මුල්වලින් හෙබි, නොනිමි සතුටකින් කුල්මත් වුන පියකරු යුවතියකි. සාදයේදී අන් අයගෙන් ලැබිය හැකි ප්‍රතිචාර සිහි වන විට ඇගේ සිත වේගයෙන් ගැහිණි.

                             
     මනාව  පුයර උලා, කැඩපතෙන් නැවත අඩුපාඩු පිරික්සා යාමට හැරෙන විට ඇයට යම් අපැහැදිලි හඬක් ඇසිණ.ඇය මඳක් කන් දී ,කිසි සද්දයක් නොමැති තැන, නැවත යාමට හැරුණාය.

               " මගෙ ගව්ම දියන්. " 
  ඇයට ඇඟ කිලි පොලා යන හඬක් ඇසිණ.

  ඇය සිටි තැනම ගල් ගැසුණාය.ඇගේ නෙත්,  කතා කල තැනැත්තා සොයමින් කාමරය සිසෑරීය. කිසිවෙක් සිටියේ නැත.

                        ඇය තමාටම සිනාසුනාය. සිතේ ඇති චකිතය, මවා පාන දේවල හැටි! 

            ඇය අඩියට දෙකට පඩි පෙල බසිමින්, කැබ් රියක නැග උත්සව සාලවට පිවිසුණාය. ඇගේ මිතුරියෝ ඇයව නැ‍ටුම් ශාලාවට කැඳවා ගෙන ගියහ.යන මග දෙපස ඇගේ පෙනුමට ලොල් වූ බොහෝ ඇස් ඇය දු‍ටුවාය.ඉන් ඇගේ සිත උද්දාම විය. ඇය සින්ඩරෙල්ලාවක මෙන් කාලයෙන් උපරිම පල නෙලමින්, අනෙකුන් සමග සතු‍ටු වුණාය.

               නැ‍ටුම් අතරතුර ඇයට කෙමෙන් වර්ධනය  වන හිසරදයක සළකුනු දැනෙන්නට වන. තත්පර කිහිපයක කාමරය කැරකෙන්නා සේ ඇයට දැනිණ.ඒ හා සමගම, තම කාමරයේ දි ඇගේ සිත කීරි ගැස්සූ, බියකරු  මිමිනිල්ල නැවත ඇසිණ.
                  "හොඳ හිතින් මගේ ගවුම මට ආපහු දියන්."

                            ඇය, තමා අසළ සිටින්නන්ට  සන්තෝස මුහුනක් පෙන්නීමට තැත් කලද, එය නිශ්ඵල උත්සාහයක් විය.හිස බර ගතිය වැඩි වී, කෑ දේ  වමනය කිරීමට තරම් අපුල ගතියක් ඇයට දැනිණ. තම නැ‍ටුම් සහකරුවාට මුසාවක් පවසා ඇය හනිකට උත්සව ශාලාවෙන් පිට වුණාය. මහත් අපහසුවෙන් කැබ් රියක නැගුන ඇය තම කාමරයට පිවිසියේ පඩි පෙල දිගේ බඩ ගාමින් මෙන්ය.

                       වෙවුලන ඇඟිලිවලින් කාමරයේ අගුලු ඇරි ඈට කාමරය හරහා ඇවිද යාමට වත් සවියක් නොතිබිණි. කාමරයේ ඇද වැ‍ටුන ඇය දෑත්වලින් බඩ ගා යමින්, ඇඳට වැ‍ටුනාය. ඇගේ සිහිය විකල් වී යාමට ආසන්න විය. බියකරු හඬක් ඇගේ හිස පුරා ගිගුරුම් දුන්නේය. ඇය තම හිස බිත්තියේ හප්පා ගත්තාය. 

              "මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්."



         
           පසු දින උදැසන ඇය තම ඇඳ  මතම මියැදී සිටියාය.


                                           කලින් දා ඇය සමග විනෝද වූ ඇගේ මිතුරියනට එය මහත් ප්‍රහේලිකාවක් විය. මරණ පරීක්ශණයක් කැඳවිණ. ඇගේ මරණයට හේතුව, එම්බාම් දියරය ශරීර ගත වීම බැව්  අනාවරණය විය. මරණ පරීක්ශණයට පැමිනි නිලධාරීහු ගවුම කුලියට ගත්, රිසිට් පත ඔස්සේ,  සාප්පු හිමිකරුගෙන් හරස් ප්‍රස්ණ ඇසීම ඇරඹූහ.


                          ඒ අනුව, තරුණ කත සාදයට හැඳි ගවුම, අන් කිසිවක් නොව,  මිනි පෙට්ටිය ඇණ ගසා, වැලලීමට මොහොතකට පෙර, කාන්තා මළ සිරුරකින් ඉවත් කර ගත්තක් බැව් අනාවරණය විය.








 Translated from the short story ' The Satin Dress'  by D.K. Steseer in Spooky New York.






Saturday, September 21, 2013

බඩජාරියා







            


  අපේ දිරිය හුළ‍ඟේ ගියේය. හැම ‍රැයකම අපේ හැලි වළං හොරා කන කැදර පූසා අල්ලන ක්‍රමයක් ගැන අප දැන සිටියේ නැත. ඌ කොපමණ කපටි හා වේගවත් ද කිවහොත් අප දු‍ටු විගසම ගසකට මුවා වීම උගේ සිරිත වු   නිසා  අපට  උගේ හෙවනැල්ලක් වත් දැකීමේ අවස්තාවක් නැතිව ගියේය. නමුත් පසුව උගේ කනක කෑල්ලක් අඩු බවත්, වලිගය පොරෝ පහරක් වැදීමෙන් කෙටි වී ඇති බවත් දැනගත හැකි විය.

      කිසිම හිතක් පපුවක් නැතිව දු‍ටු තැන හොරා කෑ බැවිනුත්, නිදැල්ලේ හැසිරෙමින් අපට වදයක් වූ බැවිනුත් අපි ඌට නරකයා කියා  පට බැන්දෙමු. 
       
                   උගේ ඇස් මානයේ ඇති සෑම දෙයක්ම ඌ හොරා කෑවේය. මාලු, මස්, ඇඹුල් කිරි හා පාන්. හැම දේම. වරක් ඌ අප මාලු බෑමට සූදානම් කර තිබූ පනුවන් ටින් එකක්ද ගබඩා කාමරයෙන් හොරා ගත්තේය. ඌ පනුවන් නම් කෑවේ නැත. නමුත් කුකුළෝ එහි රස වින්දහ. මොන ක්‍රමයකින් හරි මුළු පනු තොගයම අපට අහිමි විය.

       පමණටත් වඩා පනුවන් කෑ කුකුළෝ, බඩ උස්සා ගත නොහැකිව, කෙඳිරි ගාමින්, අව්වේ වැතිර සිටියහ. අපි, ඉමහත් හිත් වේදනාවෙන් කෑ ගසමින්, වියරුවෙන් අඩි හප්පමින් 'නරකයා' කෙසේ හෝ අල්ලා ගන්නා බවට සපථ කළෙමු. 

                      කෙසේ නමුත් ඌ අල්ලා ගැනීමට අපට තවත් මසක් පමණ ගත විය. ඌ ගැන ගමේ කොලු ගැටයෙක් ඔත්තුවක් දුන්නේය. 'නරකයා' පර්ච් මාලු වැලක් ඩැහැගෙන කුස්සියේ ජනේලයෙන් පැන යනු ඔහු දැක තිබිණි. 
           එය ඇසූ විගසම, අපි හිස ගිනි ගත්තවුන් සේ කුස්සියට දිව්වෙමු. මොනවා බලන්නද? මාලු වැලේ උඳු කුඩුවත් ඉතිරි වී තිබුනේ නැත. මේ නම් කොහෙත්ම සමාව නොදිය හැකි වරදකි. මේ වදකාර පූසා, වෙනදාට කරන සුලු සුලු හොරකම් නොසලක හැරියත්,මහ දවාලේ කළ මේ අහස පොලව නුහුලන අපරාධයට නම් නිසි දඬුවමක් නොදී බැරිය.

                     මාළු වැලේ රහ වැ‍ටුන පූසා,  නැවත එදා හවසම තවත් හොරකමකට අවේය.කෑම මේසයෙන් ලිවර් සොසේජයක් පන්නා ගත් ඌ බර්ච් ගසේ නැග සිටියේය. අපි ආවේස වූවන් මෙන් ගස සෙලෙව්වෙමු. බය වුන පූසා අත ඇරි සොසේජය වැ‍ටුනේ රුවිම් ගේ හිස මතටය.ඇස් ලොකු කරගෙන, තරහින් හා නපුරෙන් අප දෙස බලමින් කෑ ගැසූ පූසා අපෙන් බේරෙන ක්‍රමයක් ගැන හිතා බැලීය. එක්වරම විදුලියක් මෙන්, අප සැම අතරින් බිමට පැන, රෝල් වී ගොස්, කුමක් සිදුවිනි දැයි සිතා ගන්නටත් පෙර, ගෙයි මුල්ලක ආරක්ශාව පැතීය.අපි, මෝඩයන් මෙන් කට ඇරගෙන,ඌ යන දෙස අසරණව බලා සිටියෙමු.


        අපේ ගම්බද නිවස, පිහිටියේ, දිනපතා අතුගෑම් නොකල නිසා, ගස් යටම කොළ ගොඩ ගැසුණ විශාල වත්තක් මැදය.සෑම ‍රැයකම, වහලයට වැටෙන කුඩා ඇඹුල් ඇපල් ගෙඩිවල  හඬින් අපි ගැස්සී ඇහැරුනෙමු.ගෙයි කාමර, බිලිපිති, දඩයම් උපකරණ, ඇපල් හා වියලි කොළවලින් හැඩි වී තිබිණි. 

                  දිවා කලයේ මාලු බාමින්ද, ගං ඉවුරක හෝ විලක් අයිනේ ගිනි තපිමින්ද කාලය ගත කළ නිසා,අපේ නිවස දිවා කල පාලුවට ගියේය. නෑමට හෝ මාලු බෑමට යන හැම විටකම නැවුම් සුවඳ හැමූ කුඩා කැලෑ රොදවල් තලමින් අලුත් අඩි පාරවල් සාදා ගැනිමට අපට සිදු විය. අප යන මග තිබූ පැළෑටි හා තණ කොළ සුළ‍ඟෙන් සෙල වී ඒවායේ පරාග අපේ උර මත විසිරීය.
              
        හවස් ජාමයේ,දිගට අමුනා ගත්,  රිදී පැහැයෙන් දිලිසෙන  මාලු වැල් අතින් එල්ලාගෙන, ක‍ටු පඳුරුවලින් සීරී රත් පැහැවුන සිරුරෙන්, අව්වේතැම්බී දාඩිය පෙරාගත් මුහුනින් නිවසට පය ගැසූ විට අපට අසන්නට ලැබුනේ ජින්ජර් පූසාගේ අලුත්ම වික්‍රමයන් ගැනය.

             ඕනෑම ජගතෙකුට නරක කාලයක් ලබයි. පූසාද දිනක් කො‍ටු විය. හොර පූසා එක් පැත්තක් වසා ඇති කුඩා පැසේජයක් තුලට රිංගුවේය. ඇර තිබූ පැත්තෙන් දැලක් සවි කර අපි නොඉවසිලිමත්ව බලා සිටියෙමු. 

                                 නොනවත්වාම තර්ජනාත්මක හඬකින් කෑ ගැසුවත්, ඌ එලියට ඒම ප්‍රතික්ශේප කළේය. අපි, පැයක්, දෙකක්, තුනක් බලා සිටියෙමු. කිසිම ප්‍රගතියක් නැත. අපේ නිදන වෙලාවත් පහු විය. නමුත්, පූසා වරෙක කෑ ගසමින්ද, වරෙක ගොරවමින්ද අපේ ඉවසීමේ සීමාව නැති කළේය.

             කළ හැකි වෙන කිසිවක් නොවූ තැන, චණ්ඩිකමට හා හුරුබුහුටි කමට නම් දැරූ ගමේ සපත්තු මහන්නා ගේ පුතා, ලෙන්කාට,  පූසාව ගුලෙන් එලියට ගැනීමේ කාර්යය පංගාර්තු කෙරිණි. ලෙන්කා සිල්ක් නූලක් ඇති බිලි පිත්තකට, එදිනම ඇල්ලූ මාලුවෙකු අමුණා එය පූසා සිටි බිම් තීරුවට අත ඇරියේය.

                   පූසාගේ කෑගැසිල්ල  නැවතුණේය. එක්වරම චරස් ගා හපන සද්දයක් ඇසිණි. ඌ, මාලුවාගේ ඔලුව උගේ තියුනු දත්වලින් හැපුවා විය හැකිය. දැන් හරි. ලෙන්කා හිමීට බිලි පිත්තේ නූල ඇදීමට පටන් ගත්තේය. පූසා තදින් අල්ලාගෙන සිටියත්, ලෙන්කාට පූසාට වඩා හයිය තියෙන නිසාත්, කටින් හපාගෙන ඉන්න මාලුවා අත ඇරීමට මොන සම්මජ්ජාතියකටවත් ඌ අකමැති වූ නිසාත් බිලි පිත්තේ නූල සමග පූසාද එලියට ඇදී ඒමට පටන් ගත්තේය.

                         අවුරුද්දක් සේ දැනුන විනාඩියකට පමණ පසු, විලිස්සුණ දත් වලින් මාළුවා අල්ලා ගත් පූසාගේ හිස, අපට පෙනිණ. ලෙන්කා හනිකට පැන පූසාගේ බෙල්ලෙන් අල්ලා, ඌ ඉහලට ඉස්සුවේය. චුදිතයා ව සමීපව බලා ගැනීමේ මොහොත උදාවිය.

         ජින්ජර් පූසා, උගේ ඇස් වසාගෙන, කන් ඔලුව දෙපැත්තට නමාගෙන, බූල් හැලුන වල්ගය කකුල් අස්සේ  ගසාගෙන, ඇඟ අප්‍රාණික කරගෙන ලෙන්කා ගේ අතේ එල්ලී සිටියේය. 
         
                කොපමණ හොරා කෑවත්, ඌට තිබුණේ, කැහැ‍ටු පෙනුමකි. හැමවිටම හොරා ගත් යමක් සමග දුවමින් හෝ හැංගී එය ගිල දමමින් සිටි නිසා දූවිලි තැවරුන සිරුරේ, අකරතැබ්බවලට මුහුන දිමේ ප්‍රතිඵලයක් ලෙස තැන් තැන්වල ලොම් ගැලවී තිබිණි. ඌ බඩවත පුරා සුදු පුල්ලි විසුරුණ, කෘශ වූ සිරු‍රැති, නාසයෙන් හා ඇස්වලින් ගැලූ කබ සහිත, නා‍ටු පූස් නාම්බෙකි.

     ටික වෙලාවක් ඌ දෙස තරහින් හා අප්පිරියාවෙන් බලා සිටි රවිම් මෙසේ ඇසුවේය.

   "මූට දැන් මොකද කරන්නෙ"?   


              "මොනවා කරන්නද? දෙමු මුගෙ ඇටක‍ටු කුඩු වෙන්න."

                "වැඩක් නෑ" . ලෙන්කා කීයේය.  "ඕකා පොඩි කාලෙ ඉඳල ඔහොමමයි.ගම පුරා හොරා කාල ඇති පදම් ගුටි කාල ඇති" .

            පූසා, දෙන ඕනෑම දඬුවමකට යටත් වෙමියි කියන්නා සේ ඇස් වසාගෙන සිටියේය. එක්වරම රුවිම් මෙසේ කීය.

                               "එහෙනම් අපි ඌට කන්න මොනව හරි දෙමු."

      අපි, එකිනෙකා දෙස බලා, හිස වනා, එයට එකඟ විමු.

 අපි ඌට බැදපු ඌරු මස්, ජෙලි දැමූ මාලු, ඇඹුල් කිරි හා  චීස් කේක්වලින් සමන්විත ඉතාමත් ප්‍රනීත දවල් කෑමක් දුනිමු. ඒවා සියල්ලම ගිල දැමීමට ඌට පැයකටත් වඩා ගත විය. 

                  අවසානයේ, කෑම මත නිසා බඩ උස්සාගෙන ඇවිද ගැනීමට බැරුව, අපහසුවෙන් කුස්සියෙන් එලියට ආ පූසා, බිම දිගාවී මුහුන සේදීමට ගත්තේ, ඉඳ හිට අප දෙසද හොරෙන් බැලුවේය. කොළ පාට තෘප්තිමත් ඇස් වලින්, කාන්තිමත්, දඟකාර බැලුම් විහිදිණි.

               ඊට පසු ඌ හැරී, උගේ නැට්ට අල්ලා ගෙන, එය හපා, එලියට දැම්මේය. 

                   අවසානයේ, ඌ එතනම දිග ඇදී, සැප නින්දකට වැටී, ගොරොද්දේ ඇදීමට පටන් ගත්තේය. 

     අපි, ඌ දෙස ටික වෙලාවක් බලා සිට, ඌට නින්දේ මාලුන් ගැන සිහින දැකීමට ඉඩ දෙමින්, එලියට ආවෙමු.






 A translation of the short story "Ginger the Snitcher" by Konstantin Pauvstovsky.  (1892-1968)




Sunday, September 1, 2013

දිවි පැවැත්මේ යානය නොහොත් Survival Ship









 
 මිලියන භාගයක පමණ ජනතාව යානාවේ ගුවන් ගත වීම සියැසින් දැක ගැනීමට අභ්‍යවකාශ නැවතුම් පලට රොක්වූහ. පෘථිවියේ ද මිනිසුන්,  මිලියන සියයක පමණ වීඩියෝ තිරවලින් කපිතාන් මෙල්නික් ගේ හිස් වැසුම් ලු අතක් මිනිසුන්ට සමුදුන් අතර අනෙක් අත, යානාව කෘතිම චන්ද්‍රිකාවේ කක්ශයෙන් එපිට චන්ද්‍රයා හා සෞර ග්‍රහ මන්ඩලයේ අනෙක් ග්‍රහයන් පසු කරමින්, ඉමක් නැති, නාඳුනන,  හුදකලා අවකාශයට තල්ලු කිරීමට ඇවැසි බලය උත්පාදනය කිරීම සඳහා ලිවරය තද කරනු නැරඹූහ.



          අහස් නැවතුම් පලේත්, පෘථිවියේත්, සඳේත් සුබ පැතුම් සිය මිලියනයක් ජෙට් යානයේ උඩු තෙරපුම් බලයට  මුසු විය.‍රැඳවුම් අට්ටාලයේ ඉහලට නැගෙනා ගිනි දලු තෙවරක් ආසිරි ගැන්වූ  Survival  යානයේ පිටත්විම සනි‍ටුහන් කළේය. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය  දක්වා දෙව් මැදුරුවල යෝධ යානාවට හා එහි සිට යානාව මෙහෙයවන  විසි දෙනා හා සිව් දෙනා හට වේගවත් ගමනක් පතමින් යාඥා මෙහෙයන් පැවැත්විණි.කඳු මුදුන්වල ඇටවූ දුර දක්නවල සවි කර තිබූ කැමරා කිහිපයකින් යානය චායාරූප ගත කරන ලදී.

          නිවෙසවල තිබූ කැමරා හා  යෝධ තිර අහසට හැරී සිටියේ, ගිනි ගනිමින් පහලට වැ‍ටුන,  මිනිස් දෑතින් නිමවූ තාරකාවේ   කෙමෙන් අඳුරු වන රූපය සටහන් කර ගැනීමටය.
               යානාව තුල කපිතාන් මෙල්නික් ගේ හස්තය ලීවරයෙන් මෑත් වී ත්වරණ කවිච්චියේ ඇති නිකට රඳවනය හා කන් ඇබ හරි ගැස්සීය.ඇස් මට්ටමට සවි කර තිබූ දර්ශක පැනලය එක්වරම සජීවී විය.තමාට හුරු පුරුදු ලෙස කවිච්චියේ හාන්සි වී පටි තද කර ගනිමින් කපිතාන් ගුවන් ගත වීමට යන කාලය සටහන් කරන යන්ත්‍රයේ ලොකු ක‍ටුව විමසිලිමත්ව කියවන අතර පැනලය කෙලවර ඇති ආලෝක  ධාරා දැල්වෙන්නට පටන් ගත් බව නිරීක්ශණය කළේය.දර්ශකය පලමු රතු ලකුණට  ලඟා විය.

                      " හරි. ෂෝ එක ඉවරයි. දැන් ඉතින් වැඩ පටන් ගනිමු." නිකට රඳවනයට සවිකර තිබූ මයික්‍රඵෝනයෙන් කපිතාන් ගේ ගැඹුරු කට හඬ යානාව පුරා සිසරා ගියේය.



" සියලුම අංශ වාර්තා කරන්න."

" අංක එක. සේරම හරි."

                               මෙල්නික්, කපිතන් ගේ යානය මෙහෙයවීමේ අසුන, නිසි පරිදි ක්‍රියා කරන බැව් අඟවමින්, දැල්වෙන පලමු කොල පැහැ බල්බය හිතින් ටික් කලේය

                     "නොම්මර දෙක. සේරම හරි."

                  "නොම්මර තුන........... හතර.... පහ............"
          රිද්මයානුකූලව සියලුම අංශ එකම වැකිය පුනරුච්චාරණය කලේය. සෑම අංශයක්ම නිවැරදිව ක්‍රියා කරන බව අඟවමින් එකින් එක දැල්වුන කොල පැහැ ආලෝක කදම්භය , කාල හෝරාව  'සියල්ලම නිවැරදිව ක්‍රියාත්මකය'  යනුවෙන් දෙනු ලැබූ සංඥාවට පසුව නිවී ගියේය. 

                   "සිහි විසඥ  භාවයට පත් වෙනු ලැබීමට තව ඇත්තේ තත්පර අටක් පමණයි."    කපිතාන් ගේ අවවාදාත්මක ස්වරය කාර්ය මංඩලය  දැනුවත් කළේය. " හත ..... හය... "stand by " තවරණ කම්පනයේ පලමු ඉඟිය හිස් ආවරණ පැලඳ සිටි හිස් විසි හතර පුරා සිහින් විද්්‍යුත් කදම්බයක් සේ ගලා ගියේය.
          "පහ... එය නිවැරදිව ක්‍රියා කළ යුතුයි." මෙල්නික් කෙමෙන් ලඟා වන සිහි මුර්චාව පරයා සිතීය.   "හතර. වැඩ කළ යුතුයි........වැඩ කළ යුතුයි.  ..... තුන.   වැඩ කළ......   .. දෙක.......... වැඩ කළ....."


අහස් නැවතුම්පලේ සිටි මිලියන අඩක නරඹන්නන් එලියට පැමිණ, තමන් පෘතිවිය කරා ගෙනයන රොකට්‍ටු ලඟා වන තෙක් බලා උන්හ.


                ඔවුන්ගේ දහසකුත් එකක් බලාපොරොත්තු කඩ වූයේ රොකට් අංගනයේ සුපුරුදු දේට වැඩි යමක් එදාද ඔවුන් නොදු‍ටු නිසාය.    අංගනය  වැටක් ගසා මුලුමනින් වෙන්කර තිබූ අතර ආරක්ශක නිලධාරී    පවුරු දෙකකින්ද එය සවිමත්ව තිබුනේ වඩාත් කුතුහලයක් ඇත්තවුන් අධර්්‍යයට පත් කරනු සඳහාය.  නිළ මට්ටමේ පැහැදිලි කිරීම් ලෙස,  නව එන්ජිම, යානයට යොදනු ලබන නවතම ඉන්දන වර්ගය,හා ගෑස් වලින් සිදුවිය හැකි අනතුරු  ගැන සඳහන් කෙරුනත්, නියම රහස කුමක්ද කියා සැවොම දැන සිටියහ.

                                            එය අන් කිසිවක් නොව යානාවේ කාර්ය මන්ඩලයයි.  වේදිකාවේ තිබූ දෑවැන්ත තිර වලින්,නිවෙස්වල සිට වුව නැරඹිය හැකි, යානාවේ සමීප රූප හා වෙනත් විස්තර සැපයුණේය.අවසන, ඔවුන් කපිතන් ගේ ග්ලවුසයක් පැලඳි අත පමනක් දුටහ.බලාපොරොත්තු කඩවූ ලක්ෂ සංඛ්‍යාත  ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ තොල් මැතිරීම් හා මැසිවිලි ඇසිණි.   නමුත්,එක් අතකින්, එම අවස්ථාව  නැර්ඹූ හැම ගැහැනියක, පිරිමියෙකු හා කුඩා වූවෙකුටම  එය ඓතිහාසික අවස්ථාවක් විය.

                     " Survival  ගුවන් ගත වෙන කොට මම එතන හිටියා" හෝ එච්චර විශාල යානයක් මම මගෙ ජීවීතේටම දැකල  තිබුණෙ නෑ." කියා හෝ පසු කලෙක ඔවුනට කිව හැකි විය.       එසේ ඔවුනට කිව හැකිව තිබුණේ මෙම චාරිකාව , හුදෙක්, වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගිය ගමනක්ම නොවූ නිසාය. එය "Survival"  නොහොත් "දිවි පැවැත්මේ" යානාවය. මෙතෙක් කලකට මානව ඉතිහාසයේ නිම කළ  විශිෂ්ටතම , ශ්‍රේෂ්ටතම හා අති දෑවැන්තම අභ්‍යවකාශ යානාවය. එය වෙනම විශ්වයක් සේ සැලකුවත් වැ‍රැද්දක් නැති තරමට  එහි අංගෝපාංග නිමවී තිබුණි.


   ජනයා ඒ  චාරිකාව ගැන සිතුවේ   තත්පරයට සැතපුම් ලෙස නොවේ. "සිරියස් තාරකාවට වසර පහලවකින් " ලෙසය.

                 රිවි දින පුවත් පත් අතිරේකයන් ගේ සිට සම්මානනීය දෙසති සඟරා දක්වා මෙහි තතු පළ කෙරිණි.වර්ණවත් හා දීප්තිමත් ප්‍රස්තාරවලින් යානයේ, ස්වභාවික ජීවි සමතුලිතතාව, පරිසර පද්ධති පෙරනයන්, ආහාර ගබඩා කෙරෙන අයුරු පෙන්වූ අතර දේශන හා වීඩියෝ පට මගින් යානය තුල කේන්ද්‍ර අපසාරී බලය, ගුරුත්වාකර්ශණ බලයට හරවා ගන්නා ආකාරය පැහැදිලි කෙරිණි.

                  යානය ගුවන් ගත වීමට මාස කිහිපයකට පෙරම ඒ සඳහා කාර්ය මන්ඩලය, සතුන් හා අනෙකුත් ජීවීන් වන සූදානම ඉතාම සියුම් විස්තරය දක්වා එලිදරව් කෙරුණේය. යානාවේ ඇති කිරීමට නියමිත ඌරන්, වසු පැටවුන් හා කුකුලන් ගේ අන්වර්ත නාමයන් පවා ලොව පුරා දනන් මුවග ‍රැව් දුනි. එපමණක් නොව මෙම ව්‍යාපෘතියට සම්බන්ධව ක්‍රියා කළ ජීව රසායනඥයින් ගේ අමන්දානන්දයට හේතු වූ, සෑම කොටසක්ම ආහාරයට ගත හැකි, පෝශ්‍යදායී,ඉතාමත් ප්‍රනීත රසැති, මෙතෙක් සොයා ගනු ලැබූ පිපාසිතම කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා ලෙස නම් කෙරුනු, මේතාක් දුරට  රහසක් ව තබා ගත් දෙමුහුන් ශාකයේ නම පවා එලිදරව් විය. 

       නමුත් පෘතුවියේ ජනයා හෝ යානාව ගුවන් ගතවනු සියැසින්ම නැරඹීමට ගිය මිලියන අඩක ජනතාව හෝ කාර්ය මන්ඩලයේ විසි දෙනාගේ හා සිව් දෙනාගේ නියම නම් හෝ ඔවුන් ගැන වෙනත් කිසිම තොරතුරක් හෝ දැන ගැනීමට අපොහොසත් වූහ.දහස් ගනනින් ඒ සඳහා ඉල්ලුම් කළ බවත්, පරීක්ශණ මාලාවක මූලික අදියරට ලඟාවීමට නම් අඩුම තරමේ වයස විසි පහට නොවැඩි, අවිවාහක, ඉන්ජිනේරුවකු විය යුතු බවත් නොරහසකි.


             කාර්ය මන්ඩලය ගැහැනු හා පිරිමි සංයුතියක්  වූයේ බලාපොරොත්තු වූ ලෙස, සිරියස් හි  දිගුකාලීනව  නැවතීමේ සම්භාව්‍යතාවක් ඇත්නම්  ආපසු පැමිනෙන චාරිකාව සඳහා දෙවන පරම්පරාවක් බිහි කිරීමේ බලපොරොත්තුවෙන් හුදෙක්ම සැකසූ ලදරු කාමරය භාවිතයට ඉඩ ප්‍රස්තාවක් ලබා දෙමිනි.

                    දිගු කාලීන ව පොලොවේ නෑසිය හිත මිතුරන්ගෙන් වෙන්ව, හුදකලා ලොවක තනිවන මේ කිහිප දෙනගේ හැසිරීම් රටාව හඳුනා ගැනීමට රුකුලක් ලෙසින් ඔවුන්ගේ සියලුම ගති ලක්ෂණ හා පුද්ගලයාගෙන් පුද්ගලයට වෙන් වූ තමන්ටම ආවේනික, සුවිශේෂී හැසිරීම් නිරීක්ෂණය කෙරිණි. උදාහරණයක් ලෙස, ඔවුන් කන, බොන, අඳින, පලඳින දෑ, ඔවුන් ගේ ජනප්‍රිය ක්‍රීඩා,චිත්‍රපට, සංගීතය, පොත් පත්, පූජකවරුන් හා දේශපාලන පක්ෂ විචාරයට ලක් කෙරිණි.    සියල්ලන්ම නොදත්, කිසිවෙකුටත් සොයා ගත නොහැකි වූ දේ නම් කාර්ය මන්ඩලයේ නම් හා ඔවුන් ගේ නම් රහසක් ව තබා ගැනීමේ හේතුවයි.
  පුවත් පත් හා ගුවන් විදුලි වාර්තා කරුවන් ගනනටම වගේ ඒ ගැන ඕපාදූප ද පැතිර ගියේය.

   එම කරුණු එසේ රහසිගතව තබා ගැනීම අරබයා දහසකුත් එකක් පැහැදිලි කිරිම් ද ඉදිරිපත් විය. නමුත්, ව්‍යාපෘතිය සැළසුම් කළ පනසක් පමණ වූ ඉහලම මට්ටමේ නිලධාරින්ද කාර්ය මන්ඩලය ද ඇරෙන්නට තවමත් වෙනත් කිසිවකු ඒ ගැන නොදත්හ.

   කුඩා තිතක් සේ පෙනුන යානය ක්‍රමයෙන් රූප වාහිනී තිරවලින් මැකී ගිය පසු යෝධ යානයේ ත්වරණය මිනිස් සිරුරට ගැලපෙන සේ හැඩ ගැසීමට පටන් ගති. කාර්ය මන්ඩල පරිහරණය සඳහා වෙන් වූ කුටිවල ගුරුත්වය, පොලොවේ පරිසරයට අනුව වෙනස් විය. යානය ගුවන් ගතවන විට නිපදවෙන කේන්ද්‍ර අපසාරී බලයෙන් සිරුරු අභ්‍යන්තරයට  වන දරුනු හානිය වලක්වා ගැනීමට සවිකල ත්වරණ කවිච්චිවල පටි අතරට තද වුන, තැලුන පොඩි වුන සිරුරුවලට සැහැල්ලුවක් දැනිණ.මෙතෙක් වේලා විසඥව, ගල් ගැසී තිබුන මොලයේ ස්නායු, අනතුරු සංඥා කිසිවක් සෛලවලින් නිකුත් නොකරණ බව සැක හැර දැන ගත් පසු නිසි පරිදි ක්‍රියා කිරීම ඇරඹුවේය.

                   මෙල්නික් පලමුව අවදි විය.පැනලයේ කොල පැහැති ආලෝක තීරු තවමත් දැල්වෙමින් තිබිණි. ත්වරණ කවිච්චියේ පටි ගැලවූ කපිතාන්, පැනලයේ අලෝක ධාරා නිවැරදිව ක්‍රියාත්මක වේදැයි තරමක තැතිගැන්මකි න් බලා සිටියේ, එක් කොල පැහැ ආලෝක තීරුවක් නිවී යන විටම සැනසුම් සුසුමක් හෙලීය.     
                   කපිතාන් පලමුවෙන්ම අවදි වීම අත්‍යවශ්‍ය කරුණක් වූ අතර එසේම එය සියල්ලම යහපත් ව සිදුවෙනවා යැයි ඇඟවෙන සුබ ලකුණක් ද විය. මිනිසුන්ගෙන් යමෙක්  මුලින්ම පියවි සිහිය ලැබුවේ නම් එය නරකට හැරීමට ඉඩ තිබිණි.පෘතිවියේ අනාදිමත් කලක් තිස්සේ  හුරු පුරුදු වුන හැඩ ගැසීම් වලට විරුදුව යමින් යානය තුල මෙසේ බලෙන් ආරෝපණය කරගත් තත්වයක්  මත කොපමණ කාලයක් ගෙවිය හැකි හැයි කපිතාන් කල්පනා කලේය.නමුත්, තවත් අතකට , එය එතරම් අපහසු කාර්යයක් ද නොවනු ඇත.

      අසාමාන්‍ය  හා අහඹු අවස්ථාවන්ට  සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඇති අතලොස්සක් පමණක් ‍තෝරා ගැනුණ අතර ඔවුන් සැම, සමීප පවුල් සබඳතා නැති, ප‍ටු මානසිකත්වයකින් තොර වූ අයවලුන් වූහ.යානය තුල, තම තමාට අයත් වගකීම් ඔවුන් පසුව වටහා ගනු ඇත. වඩාත් තීරණාත්මක සාධකය වනුයේ ඇරඹුමය.Survival චාරිකාව හුදෙක්, යානය තුල ශාක හා සත්ව සමබරතාවය ‍රැක ගැනීම හෝ කෘතිම ගුරුත්වයට එහා ගිය දෙයකි.

                      කපිතාන් බලා සිටියදී, තවත් කොල පැහැ ආලෝක පුලිඟුවක් නිවී ගියේය.- තවත් එකක්. දෙදෙනාම නිලධාරින්ය.සුබ ලකුණකි.තවත් අලෝක ධාරා තුනක් නිමිණ. ඉන්පසු පිරිමින් අවදි වීමට පටන් ගත් අතර, තම කවිච්චි පැනල වලින්, නිලදරුවන් මුලින්ම අවදි වූ බව ඔවුනට දකින්නට ලැබීම, කපිතාන් ගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නේය.කෙසේ වුවත්, සිත සිතා සිටීමට දැන් ඉඩක් නැත.කළ යුතු දෑ බොහෝය.

                   සතුන්, ඔවුන් ගේ ගුරුත්ව කුටිවලින් මුදා, ඔවුනට සිදු වී ඇති හානි ගැන තක්සේරු කරන සේ, වහාම අණක් නිකුත් කෙරිණ.වසර ගනනාවක් පුරා මේ හුදකලා ජනාවාසය, සාර්තකවත්, උපරිම සැප පහසුවකිනුත් පවත්වා ගෙන යෑම සඳහා  මිනිස්, සත්ව හා ශාක අනුපාතය නිසි පරිදි පවත්වා ගනිමින්, තමා සුරක්ෂිතව හසුරුවා ගත යුතුව හෝ නැතහොත් මිය යා යුතුව තිබේ!


                කාර්ය මන්ඩල සාමාජිකයින් සියල්ලන්ම පාහේ අවදි වූ විට, තෙවන නිලධාරී, ලුතිනන් ජොන්සන් තවත් අට දෙනෙකුත් කැ‍ටුව හයිඩ්‍රොඵෝනික් තටාක පිරික්සීමට ගියේය.
                       සුවිසල් යානය ඇතුලත, එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා, යානයේ ඇතුල් පරිධියේ මේ විශාල හයිඩ්‍රඵෝනික් තටාක පිහිටා තිබූ නිසා,ඔවුනට විශාල පෙදෙසක් නිරීක්ශණය කිරීමට සිදුවිය.ලුතිනන් අට දෙනා, කන්ඩායම් හතරකට බෙදා වෙන් කලේ, සැම කන්ඩායමකටම ජීව රසායනඥයෙක් ඇතුලත් වන පරිදිය.ඔහුගේ වගකීම වූයේ පැලවලට වූ හානිය පිලිබඳ දත්ත එකතු කිරීමයි. අනෙකා සුවිශේෂ කාරය භාරයක් නැති, අත් උදව් කරුවකු විය.ඔහුගේ  කාරිය වූයේ විසල් ටැන්කි අතරින් රිංගා ගොස් කැඩුන හැම දන්ඩක් ම අලුත්වැඩියා කිරීමයි. 

           අනෙක් කාංඩ,  එන්ජිම හා පාලන යන්ත්‍රනයේ අඩු පාඩු හා දෝෂ පිරික්සීමට යෙදවුන අතර, අවසනයටම අවදි වූ ගැහැනුන් දෙදෙනාට ගැලියේ පලමු මුර සේවාව පැවරී ගියේය. මෙල්නික්, ඔවුන්ගේ විරුද්ධත්වය උපන් තැනම ලොප් කර දැම්මේ, ඔවුනට ඊට විරුද්ධ වීමට කිසිත් අයිතියක් නැති බව පවසමිනි.යානාවේ මෙතෙක් දුරට වැඩ කටයුතු කෙරුන ආකාරය ගැන සිතින් තෘප්තිමත් වුන කපිතාන්, පලමු ආහාර වේල, කිසියම් සුවිශේෂත්වයක් ඉසිලිය යුතු බැව් නිගමණය කළේය.අන් සියල්ලටම වඩා  යානය තුල පුද්ගල සබඳතා හා සාමාජීය වටපිටාව වහාම තහවුරු කල යුතුය.
           කතාවක්- සියලුම සාමාජිකයන් ඉදිරියේ නොපැවැත්විය යුතු-  කිරීමට නියමිතව තිබිණ.කරුනු යෙදුන ආකරයට, ඒ සිව් දෙනා, අනෙක් සාමාජිකයන්ට වඩා වැඩි වේලාවක් රාජකරිවල නිරත වීමට සලස්වා ඔවුන්ගේ පැමිනීම ප්‍රමාද කෙරෙනු ඇති.
          අභ්‍යන්තර සංනිවේදන පද්ධතිය කපිතාන් ගේ සිතිවිලි වලට බාධා කලේය. 

               "ලුතිනන් ජොන්සන් වාර්තා කරනවා සර්."   සන්සුන් ස්වරයක් ඇඟවීමට ප්‍රයත්න දැරුවත්, එහි බියක් මුසු වී තිබිණි.තෙවන අණ දෙන නිලධාරියා වූ ජොන්සන් තටාක පිරික්සීමේ කටයුතු පාලනය කලේය.

                "මොකද? ඔතන ගැටලුවක්ද?"
 මෙල්නික්, හිතා මතාම අධිකාරි ස්වරයකින් විචාලේ ඔහුගේ හඬ යානය සිසාරා ‍රැව් දෙන බැව් දන්නා නිසාය.

                "එක පිරිමියෙක් පැමිණිළි කරනවා සර්." තරුන ලුතිනන් පිලි වදන් දුනි. "වැඩ බෙදීම ගැන විරෝධයක් මතු වෙලා. "තව දුරටත් හැමෝටම ඇසෙන සේ කතා කිරීම නුසුදුසු බව මෙල්නික් සිතීය. 

                 "ඔහොම ඉන්න. මම ඔතෙන්ට එනවා. " මෙල්නික් වහ වහා පඩි බසිමින්, ගැටලුව පැවති කලාපයට ඇතුලු විය.

             "කව්ද කරච්ච්ල් කාරය?"   "කෙනඩි.පැල නඩත්තු කරන්නෙ ගියොගියෝ  එක්ක. "

                "මොකද, කෙනඩි?    පැමිනිල්ලක්ද"?


       "ඔව්." එලිමහනේ වැඩ කරන කම්කරුවන් අඳිනා ආකරයේ, ලිහිල් ඇඳුමක් පැලඳි මිනිසාගේ මුහුනේ අසතුටක් හා කලකිරුනු බවක් පිලිබිඹු විය.හිතාමතාම ආරෝපණය  කරගත් උඩඟු බවක් හා අපහාසාත්මක ස්වරයක් ඒ වදනෙන් එලියට පැන්නේය.ඔහු, මින්පෙර එසේ කතා කරනවා අනෙක් අය අසා තිබුනේ නැත. ඔවුන්ගේ පුදුමය, කෙනඩි හට අමතර දිරියක් සැපයූවා සේය.
                         "මම හිතන් හිටියෙ, මේ ගමනෙදි මට විශේෂ සැලකිලි ලැබෙයි කියල. එහෙම තියෙද්දි, මේ සුද්ද බුද්ද කරන වැඩ මට විතරක් පවරල ජෝජි කොහොමද ක්ලීන් සූට් ගහල ඉන්නෙ?" 

    ඔහුගේ විහිලුව, අනෙක් අය සිනා ගැස්සීමට සමත් වූයේ නැත.

     "ඒ කපිතාන් ගෙ අණ."    මෙල්නික් ගේ ස්වරය දැඩි විය.

                   "හැමෝම යානාවෙ කටයුතු යථා තත්වයට පත් වෙන තෙක් දෙගුනයක් මහන්සි වී වැඩ කල යුතුයි. ඔබ මෙතන රාජකාරියට අකමැති නම් බ්‍රිජ් එකේ ඩියුටිය පවරන්න පුලුවන්. සැප පහසුව ගැන දැන්ම හිතන්න එපා.ඒවා පස්සෙ, ඇති තරම් ලැබේවි. ඒ වගේම මතක කරන්න එපා, මේ ඉතාමත් දීර්ඝ චාරිකාවක් බව. "
                         කපිතාන් overhead  එකේ සවිකර ඇති හෝරා යන්ත්‍රයට ඉඟි කළේය. "කෑමට වැඩි වෙලාවක් නෑ. උනුවෙන් කෑම ඕනෙ නම් ඔබට පැවරුන රාජකරිය ඉක්මනට ඉවර කරල එන්න. තව විනාඩි තිහකින් ආහාර සූදානම් බව ඇඟවෙන සීනුව නාද වේවි."

                             මෙල්නික්, තරමක චකිතයකින් වුවත් වහාම ආපසු හැරුනේ. කෙනඩිට යමක් කීමට ඉඩ නොතබාය.එය සාර්ථක විය.මුරන්ඩු බැල්මකින් නමුත් පරාජිතව,කෙනඩි නැවත ජෝර්ජි පෙන්වූ දිශාව ඔස්සේ පැල දෙසට බඩ ගෑම  ඇරඹීය. සිතට නැගුන සැහැල්ලුව පිටතට නොපෙන්වමින්, කපිතාන් හා ලුතිනන් ජොන්සන් ක්ෂණික ජයග්‍රාහී බැලුම් හුවමාරු කර ගත්හ.

                         ඉදිරි වසර පහලොව පුරාමත්,සිරියස් තුල ජනාවාස පිහිටවිය නොහැකි නම්,  එමෙන් දෙගුනයක කාලයක් පුරාවටමත්,ඔවුන්ගේ කෑම කාමරය, පොදු කාමරය හා ‍රැස්වීම් ශාලාව ලෙස යොදා ගැනීමට නියමිත  ඒ විසල් පාලන මැදිරියේ,කපිතාන්, තම අනෙක් සාමාජිකයන්  ඔවුන්ගේ රාජකාරි නිමකර එන තෙක්  බලා සිටියේය.

             මඳ වේලාවකින්, ඔවුන් සැම, සුව පහසු, කුශන් කරන ලද,කවිච්චි හා මැද මේසය මග හැර, නුහුරු ලෙස, තැන් තැන්වල කීපදෙනා බැගින් රංචු ගැසුනහ.

                   වරෙක පමනට වඩා උස් හඬින් කල දෙබසුත්,වරෙක ඇති වූ තද නිහඬතාවත්, තමන් නොකැලඹී ඇති බව ඇඟවිමට සැවොම ගත් උත්සාහය නිස්ඵල කළේය.

                      දුඹුරුවන් පැහැ ගත් මුහුනින්ද, මනාව පිහිටි සිරුරින්ද යුත් ඔවුන් සැම, කපිතාන් ගේ පලමු කතාව කුමක් විය හැකිද කියා දැන සිටියහ. නැතහොත් අනුමාන කළහ.ඒ ගැන ඔවුනට කුතුහලයක්, තරමක බියක් හා තිගැස්මක් ද තිබිණි.

  විසි දෙනාම පාලන කුටියට ආ පසු කපිතාන් සැමගේ අව්ධානය තමා වෙතට ඇද ගනු වස් මේසයට අතින් තට්‍ටු කළේය.

     "මං හිතනවා........." ඔහු කතාව ඇරඹීය.      "ඔබ සැමට යානාවෙ දැන් පිහිටීම හා නවතම ක්‍රියාකාරිත්වය ගැන දැන ගන්න ඕනෙ ඇති කියල."
                  හිස් දහ නවයක් බලාපොරොත්තු කඩ වීමෙන් දෙපසට සෙලවිණි.  "කොහොම වුනත්..."      එම වචන යුගලයෙන් ඔවුන් ගේ මුහුනු මත ඇති වූ වෙනස, ඔහුගේ මුවට සිනාවක් නැංවීය.


                     "මම හිතනවා, මම වගේම ඔබත්, කුසගින්නෙන් හා නොඉවසිල්ලෙන් ඇති කියා. ඒ නිසා මගේ වාර්තාවෙ, අවශේෂ කරුණු, අනෙක් සාමාජිකයනුත් පැමිනි විට දැනුම් දීමට තීරණය කළා.නමුත්.... වහාම සාකච්ඡා කර ගත යුතු, වැදගත් කරුණක් අපට  තියෙනවා.



   කුටියේ සිටි සැවොම, සිව් දෙනා ගැන සිහිපත් කළහ. එය කෙසේ සිදුවිය යුතුද  ගැන දළ අදහසක් ඔවුන් තුල තිබුනත්, පොලොවේ සිටි අනෙක් පිරිමින් නිසා, ඒ ගැන ඔවුනට එතරම් අමුත්තක් දැනුනේ නැත.ඒ අදහස ගැන එතරම් උනන්දුවක් නැති බව පෙන්වා සිටීමේ ව්‍යාජ උත්සාහය ඔවුන් අතැර දැමුවේ කපිතාන් කෙලින්ම මාතෘකාවට බට හෙයිනි.

" අපේ යානය නම් කර ඇත්තේ 'Survival' නොහොත්  'දිවි පැවැත්මේ යානය' ලෙසයි. ඒ ඇයි කියා ඔබ සැම දන්නවා ඇති".

   "පෘතිවියේ සිටින අපේ අවශේෂ මිතුරන්, නෑ සියන් හා අනෙක් අයත් සිතන්නේ ඔවුන් එය දන්නා බවයි.ඔවුන් සිතන්නේ,යානය එසේ නම් කර ඇත්තේඑහි ඇති කෘතිම ගුරුත්වය ඇතුලු  දහසකුත් එකක් ඉන්ජිනේරු විස්කම් නිසා බව. ඒ වගේම ඔවුන් දන්නවා කාන්තා හා පිරිමි දෙපාර්ශවයම  ඉන්නා   නිසා, යානා කාර්ය මන්ඩලය සැමදා නියත අගයක් නොගන්නා බව."

     කුටිය පුරා විසිරී ගිය කුටිය පුරා විසිරී ගිය සිනා  හඬ මැද කපිතාන් නොනවත්වා තම කතාව කරගෙන ගියේය.

               " නමුත්.... ඔවුන් නිසැකවවම නොදන්නේ කාර්ය මන්ඩලයේ සිටින ගැහැනුන් හා පිරිමින් සංඛ්‍යාවයි."

                        "ඒ රහසට හේතුව ඔබ නම්  දන්නවා ඇති. ඒ නම් IV වන ලෝක යුද්ධයෙන් පසුව ඇති කර ගත්තාවූ සාම ගිවිසුම් වලට අනුව, පෘතුවියේ ස්ථාපනය කළ සදාචාරාත්මක ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් ක්‍රම වේදයක්, මේ ඓතිහාසික ගවේශණය සඳහා, අපගේ මව් සංවිධානය විසින්, අනුගමනය කරනු ලැබීමයි.ඒ වගේම ඔබ දන්නවා ඇති, මේ දෑවැන්ත ව්‍යාපෘතියේ නිර්මාතෘවරු, කොපමණ අරගලයක් කළාද කියා මෙම ව්‍යාපෘතිය ඉහල නිලධාරින් ලවා අනුමත කරවා ගැනීමට".

            "අවසානයේ, එය අනුමත වුනේ,ඉහලම මට්ටමේ ආගමික නායකයින් අපේ මේ කුඩා විශ්වය, පොලොවේ තත්වයන්ට වඩා හාත්පසින් වෙනස් බවත්,ගැහැනු හා පිරිමි ලිංගිකයන් ගේ යෝජනා කළ බෙදීම, යානාවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බවත් වටහා ගත් නිසයි."

                          කපිතාන්, තමාගේ අවසන් වදන් කිහිපය, අසන්නන්ගේ සිත්වල තැන්පත් වීමට සලස්වා  ඔවුන්ගේ මුහුනුවල ඉරියව් අධ්‍යයනය කළේය.පෘතුවියේ සාමාජීය හා ආකල්පමය තත්වයන්ට වෙනස් ලෙස හැසිරීමට පුහුනු කල වසරක කාලයකින්  පසු පවා, කපිතාන් ගේ මෙම පෞද්ගලික හා රහස්‍ය කරුණු ගැන   විවුර්ත සාකච්චාවට ඇහුම් කන් දුන් සමහරකුගේ මුහුනු රතු වී, ලැජ්ජා සහගත හිනාවන් තැවරී තිබිණ.

   "ඔබ දැන ගත යුතුයි. මේ එකඟ වීමට පදනම් වූයේ අපේ ලොව ප්‍රධාන ම හා ඉතාමත් වැදගත් සේ සැලකෙන මූල ධර්මය මතයි.


         "සෑම සදාචාරාත්මක ගැහැනියක ගේ හා පිරිමියෙකු ගේ පරම යුතුකම, තම වර්ගයා ගේ පැවැත්මට උපකාරී වීම වේ."

 කපිතාන්, ඔලිව් අත්තක සළකුණ තමා ඉදිරි පිට හිස් අවකාශයේ ලකුණු කළේය.ඒ හා සමගම, රතු වූ මුහුනු වල තිබූ සබකෝලය අතුරුදහන් විය.

     "අප සැම අනුගමනය කිරීමට සැලසෙන මේ නව ජීවන රටාවට, අපේ රාජ්‍ය තන්ත්‍රයෙන් පූර්ණ අනුමැතිය ලැබී ඇති බව අප කිසි දා අමතක නොකළ යුතුයි.   

  පොලොවේ දී අප වර්ගයා ගේ පැවැත්ම රඳා පැවතුණේ ශක්තිමත් පවුල් සබඳතා නිසයි.   Survival තුල ක්‍රියාත්මක වීමට නියමිත, අසාමාන්‍ය ජීවන රටාව, මහජනයාට දැන ගැනීමට සැලැස්වීමෙන්,ඒ පවුල් සබඳතා වලට හානි වීමට සැලැස්වීම  ඥාණවන්ත ක්‍රියාවක් ලෙස ඔවුන් සිතුවේ නෑ.  'විසි දෙනා හා සිව් දෙනා' යන යෙදුමේ සැබෑ අරුත පොලෝ  වැසියන් දන්නවා නම්, එය , බොහෝ ගැටලු සහගත සාකච්ඡා  හා තර්ක විතර්කවලට බඳුන් වන මාතෘකාවක් වනු පමනක්  නොව,අවසන, එය පොලොවේ හා අපේ පැවැත්මට ද එක සේ බාධාවක් වනු ඇත. 



                       "මෙම යානයේ විසි දෙනෙක් එක් වර්ගයක ලිංගිකයනුත්, සිව් දෙනෙක්, විරුද්ධ ලිංගිකයනුත් සිටින අතර,සාමාන්‍ය පවුල් පද්ධතියකට පරිබාහිරව අසම්මත යැයි සැලකෙන, සමාජ චාරිත්‍රවලට අනුකූලව දරුවන් ඉපදීමත්, ඔවුන් හවුලේ හදා වඩා ගැනීමත් සිදුවන බව ඔවුන් දන්නවා නම් එය මෙතෙක් ඔවුන් තරයේ ඇදහූ සමාජ සම්මතයන්ට කොතරම් හානිකර වේවිද"?

               මෙල්නික් අතක් ඔසවා, කාමරය පුරා විහිද යන මූනු මුනුව නැවතීමට සන් කළේය.

                         " සිව් දෙනා මෙහි පැමිනීමට පෙර, ඔබට මෙය පැහැදිලි කල යුතුයි".

        "ගැටලු ඇති විය හැකි යැයි සිතෙන මුල් කාල වකවානු තුල ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි හැ‍ඟෙන දළ සැකැස්මක් මා පිලියෙල කර තිබෙනවා."

                " පසුව හයදෙනා බැගින්- ඔවුන්ගෙන් කෙනෙකුත්, අපෙන් පස්දෙනෙකුත්- කාංඩ කර ඔවුන්ට ස්ථීර වාසස්තාන සැපයෙන සැපයෙන අතර ඒවා තුල සැහෙන දුරකට තම තමන්ට රුචි පරිදි ක්‍රියා කිරීමට එක් එක් කන්ඩායමට ඉඩ ලැබෙනවා ඇති.නමුත් එතෙක්,ඔබ එකිනෙකා වඩාත් හොඳින් හඳුනා ගැනීමට ක්‍රමයක් සකස් කර තිබෙනවා.

 ම්ම්ම්.... මම ඒකට dating schedule එකක් කියල කියන්නද "?

 පාලන කුටිය තුල තිබූ තිගැස්ම, සිනාවෙන් පිට කිරීමට ඉඩ දෙමින්, කපිතාන් නැවතත් මඳක් නිහඬ විය.

 " ඊලඟ මස තුල ඔබට විවේක ඇති වෙලාවට , පහසු ලෙස, ඔබ එකිනෙකාට, ඔවුන් එකිනෙකා සමග නිදහසේ කාලය ගත කිරීමට ඉඩ ප්‍රස්තා ලැබේවි. ඒ කාලයෙන් පසුව සමහර විට අපිට නිශ්චිත කන්ඩායම් ‍තෝරන්න හැකි වෙයි. එහෙම නැත්නම් ඒ සඳහා අපට තව වැඩිපුර කාලයක් ඕනෑ වේවි".


        " ඇත්තෙන්ම, කන්ඩායමේ අනුගතය ගැන හුඟක්ම තෘප්තිමත් වන තෙක්, මාතෲ කාල සටහන් ක්‍රියාත්මක කිරීමට මගේ කිසිම අදහසක් නෑ.දැනට, මා පවසන දේ, තරයේ මතක තබා ගන්න".

                 "අපි, ඔවුනට වඩා සංක්‍යාවෙන් වැඩි වා පමනක් නොව,අප වඩා ශක්තිමත් හා සාමාජීයව වඩා වාසනාවන්තයි.ඔවුන් සිව් දෙනා අප සැමගේ පරම වගකීම බව අප සැම විටම සිහි තබා ගත යුතුයි.එසේ වනුයේ, අප වඩා ශක්තිමත්, වැඩි ආයු කාලයක් ඇති, වේදනා හා ලෙඩ දුක් හොඳින් දරා ගත හැකි, හුදකලා දිවියක මතුවන ගැටලු මානසිකව වඩාත් හොඳින් අත් විඳිය හැකි අය නිසයි. නැතහොත් හුදෙක් අප දරුවන් බිහි කරන්නියන් නිසාම නොවේ".

බැරෑරුම් නිහඬතාවක් මැද කපිතාන් ගේ කට හඬ පාලන කුටිය පුරා ‍රැව් දිණ.

"ලුතිනන් ජොන්සන්." කපිතාන්, දොර අසල සිටි, රන්වන් පැහැ හිසකේ හා හිරු ‍රැසින් දුඹුරු වුන සමක් ඇති කාන්තාව ඇමතීය.


   "තාමත් වැඩ කරන පිරිමි හතර දෙනාට එන්න කියන්න.කෑමෙන් පසුව ඔවුනට ඉතිරි වැඩ ටික ඉවර කල හැකි  වේවි". 





A translation of the short story "Survival Ship" by Judith Merril.

















Tuesday, August 6, 2013

හෝරාවේ සිහිනය -The Dream of an Hour






                                                              මැලාඩ් මහත්මිය හදවත් රෝගයකින් පෙළෙන්නියක් වූ බැවින්, ඇගේ සැමියාගේ මරණය හැකිතාක් පරිස්සමින්, මුදු ලෙස, ඇයට පැවසීමට වග බලා ගන්නා ලදී.

අසම්පූර්ණ වැකිවලින් හා සැඟවුන ඉඟිවලින් ඇයට එය පවසනු ලැබුවේ ඇගේ සොයුරිය විසිනි.එය පවසන මොහොතේ, බ්‍රෙන්ට්ලි මැලාඩ් මහතාගේ හොඳම  මිතුරා, රිචර්ඩ්ස් ද එහි සිටියේය.පුවත් පත් කාර්යාලයට දුම්රිය අනතුර පිලිබඳ පුවත ලැබුන මොහොතේ ඔහුද එහි විය.මියගිය අයවලුන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තිබූ බ්‍රෙන්ට්ලි මැලාඩ් ගේ නම දු‍ටුවේ ඔහුය.තවත් විදුලි පුවතක් යවා මරණය ගැන සැක හැර දැනගත් ඔහු අප්‍රවේසම්කාරී, අසංවේදී වෙනත් මිතුරෙකු එම තොරතුර දැනුම් දීමට පෙර ඔහුම එය දැනුම් දීමට යුහුසුළු විය.


එම පුවත ඇසූ විට මැලාඩ් මහත්මිය, අනෙක් බොහෝ කාන්තාවන් මෙන් වික්ශිප්තව, එම පුවතෙන් දනවන දේ වටහා ගත් නොහී, ගල් ගැසී බලා සිටියේ නැත.එක්වරම ඇය, තම සොයුරියගේ දෑතට වැටී, වැළපීමට පටන් ගති.සෝ සුසුම් කුණා‍ටුව පහව ගිය පසු කිසිවකුටත් තමා පසුපස ඒමට ඉඩ නොදී ඇය තනිව කාමරයට පිවිසුනාය.
                 එහි, පිටට විවර වූ ජනේලයට මුහුණ ලා තිබූ, සැප පහසු සැටියේ වැතිරුන ඇයට, තම සිරුරේ මුළු ජීවය සිඳී ගිය බවත්, එය ඇගේ ආත්මය දක්වා ආක්‍රමණය කරන බවත් දැනිණි.

        තම නිවස ඉදිරිපිට බිම් කඩේ වසත් කල ජීවයෙන් උතුරා ගිය තුරු මුදුන් ඇගේ නෙත් ගැටිණි.වැස්සේ ඉමිහිරි සුවඳ වා තලයේ මුසු වී තිබිණි. පහල වීදියේ වෙලෙන්දෙක් බඩු අලෙවි කරමින් සිටියේය.ඇතින් යමෙක් ගයන ගීයක රාවය යාන්තමට සවන් මුසු විය. පොල්කිච්චන් ‍රැළක් කිචි බිචි ගාමින් පරාලයේ වැසූහ.බටහිරින් පැවූ වැහි වලා අතරින් නිල් අහස ඇයට  දෘශ්‍යමාන වන්නට විය.දිස්විය.

  සැටියේ හිස තබා ගත් ඇය නොසෙල්වී ඉදිරිය බලා සිටියාය.ඇඬීමෙන් හොඳටම හෙම්බත් වූ දරුවෙකු නින්දේ දි ඉකි ගසන්නා සේ, සුසුමන් සමග අතරින් පතර ඉකියක්ද ඉබේම ඇගේ මුවින් පිට විය. 


 ඇය තරුණය.එක්තරා අන්දමක සවිමත් බවක් හා ස්වයං විනයක් පිළිබිඹු කරන පැහැපත්, නිසල වතක් ඇයට හිමිව තිබිණ.නමුත් දැන්, ඒ  දෙනෙත්වල තිබුනේ අහසේ  දුර ඉසව්වකට නිශ්චිතව යොමුවී තිබූ අඳුරු හිස් බැල්මකි. එය අතීතය මෙනෙහි කරන්නක් නොව, අනාගතය කුමක් වේ දැයි නොදන්නා කෙනෙකුට  ඇතිවෙන බිය හා තිගැස්ම කැටි කරගත් හැඟීමකි.

                       ඇය හෙමිහිට තමා  වෙතට එමින් පවතින සිතුවිල්ලකට අවදි වෙමින් සිටියාය.ඇය බියෙනි. නමුත්, ඒ සිතිවිල්ල කුමක්ද කියා නිසැකවම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇයට නොවීය.එය එතරම්ම සියුම් සිතිවිල්ලකි.එය නිල් ගුවනේ සිට නාදයන්, ගන්ධයන් හා පැහැයන් පසු කරමින් ඇය වෙත කෙමෙන් පැමිණෙමින් සිටියේය.
                              ඇගේ ලැම වේගයෙන් උස් පහත් විය.ඇගේ චිත්ත සන්තානය  තමා වෙතට ලඟා වෙන ඒ හැඟීම, හඳුනා ගැනීමට උත්සාහ දැරීය.
                     එය පළවා හැරීමට හෝ පිලිගැනීමට තරම් සවියක් ඇයට නොවීය.ඇගේ සිහින්, සියුමැලි, කුඩා දෑත් මෙන්ම ඇගේ සිතද ඒ ලඟා වෙන මනෝ භාවයන් පළවා හැරීමට අපොහොසත් විය.
                   උත්සාහය නිෂ්ඵල බව දැන ගත් පසු ඇය ඒවාට රිසි සේ, මනස තුල සැරි සැරීමට ඉඩ හැරියාය.සිහින් කෙඳිරිලි හඬක්, මඳක් විවර වූ තොල්වලින් පිට විය. ඇය මුදුව, පුන පුනා එය උච්චාරණය  කළාය.
                   " මම දැන් නිදහස්.  මම දැන් නිදහස්.  ........නිදහස්.  .........නිදහස්. "

             හිස් බැල්ම හා බියපත් පෙනුම ඇගේ නෙතු අගින් පලා ගියේය. ඒවා උද්‍යෝගයෙන් හා දීප්තියෙන් ජ්වලිත විය.නාඩි වැටීම වේගවත් විය.උනුසුම් රුධිරය  සෑම අඟලක්ම ලිහිල් කරමින් මුලු සිරුර පුරා දිව ගියේය.

                 ඇගේ මනස නිකුත් කල නිරවුල් උපදෙස් හමුවේ, තමා  මේ මොහොතේ   අත් විඳින්නේ, බිරිඳක නොසිතිය යුතු ආකාරයේ අදමි‍ටු සතුටක් දැයි   සිතීමට ඇයට ඇවැසි නොවීය.

        කෙසේ නමුත්, ඇයට අදරින් සැළකූ දෑත්, මරණයේ සළකුනින් එකට බැඳී තිබෙනු දකින විට, තමා දෙස සැමදා සෙනෙහසින් බැලූ මුව අළු පැහැ ගැන්වී, නිසොල්මනේ තිබෙනු දකින විට තමා නැවත වැළපෙන බව ඇය දත්තාය.
            නමුත්, ඒ වේදනාකාරී   අමිහිරි මොහොතෙන් පසු තමා ඉදිරියේ දිග ඇරෙන, තමන්ටම පමණක්  උරුම වූ ,රිසි සේ ගතකළ හැකි වසර ගනනාවක් ඇය මනසින්  ආවර්ජනා කළාය. තම දෑත් දිගු කර අදරින් ඒ කාලය වැළඳ ගත්තාය.
         ඒ කාලය අතරතුර, ඇය අන් කිසිවෙකුත් වෙනුවෙන් නොව, තමා වෙනුවෙන්ම ජීවත් වනු ඇති. චේතනාව යහපත් හෝ අයහපත් වුවත්, අපරාධයක් ලෙස ඇය සැලකූ, තමා ගන්නා තීරණ, තම සමග වෙසෙන අනෙක් සහෘර්දයා මත බලෙන් පැටවීමට අයිතියක් ඇතැයි සිතන ගැහැනුන් ගේ හා මිනිසුන් ගේ සිතුම් පැතුම් තව දුරටත් ඇයට අදාල නොවනු ඇති!

            ඔවුන්ගේ විවාහ දිවියේදී ඇය ඔහුට ආලය කළාය. නමුත් එසේ නොවූ අවස්ථා ඊට වඩා බොහෝ වැඩි විය.මේ මොහොතේ, තමාගේ මුළු සිරුරම වෙලාගත් ඒ  අතිශය ප්‍රබල හැඟීම ඉදිරියේ,සසඳන  කල, ලොව සදා නොවිසඳුන අභිරහසක් සේ සැලකෙන මේ ආලය, කවර නම් හැඟීමක්ද?

                  "නිදහස්. මම දැන් නිදහස්. සිතෙනුත් ගතිනුත් නිදහස්. " ඇය උනුසුම් හැඟීමකින් තොල මතුළාය.

මේ අතර ඇගේ සොයුරිය, ජොසපින්, වැසුන දොරේ, යතුරු සිදුරට මුව තබාගෙන ඇයව ඇතුලට ගන්නා ලෙස, අයැදිමින් සිටියාය. 
    "ලුයිස්, මේ දොර අරින්න. ඔයා අසනීප වේවි.දෙය්යන්ගෙ නාමෙට දොර අරින්න. "

               " අහකට යන්න. මට ප්‍රශ්නයක් නෑ. මම හොඳින්. "

                               නැත. ඇය තම ජීවිතයේ උපරිම රස මිහිර, විවර වූ කවුලුවෙන් දිස් වූ සොඳුරු වටපිටාවෙන් උකහා ගනිමින් සිටියාය.
                                   තමා ඉදිරියේ ඇති සදා සොඳුරු දිවිය ගැන ඇගේ සිතිවිලි, සුරඟන සිහින දැක්කේය.වසන්තය, ගිම්හානය ඇතුලු දවසේ හැම තත්පරයක් ම ඇයටම  වෙන් වූ කාලය.ඇය තම දිවිය වඩාත් දිගු වේවා යි ඉක්මන් පැතුමක් පැතුවාය. 
                    ජීවිතය කොතරම් දිගු වනු ඇතිද කියා ගැහෙන හදින් සිහිපත් කලේ ඊයේ බව හදිසියේ ඇයට සිහි විය.

              තම සොයුරිය ගේ හඬ නැවත ඇයට ඇසිණ.

 ඇගේ නෙත් දිලිසිණි.ජයග්‍රහණයක සේයාවක් ඒවා තුල සැඟවී ගියේය.සටන් බිම ජය ගත් ‍රැජනක සේ ඇය තම සොයුරිය අසලට සෙමෙන් පා තබා ආවාය.සොයුරිය ගේ ඉඟට අත දමා ගත් පසු, දෙදෙනාම හිණි පෙල බැස්සහ. එහි පාමුල රිචඩ්ස් බලා සිටියේය.

          කවුදෝ ඉදිරි පස දොර, යතුරකින් අරිනවා ඔවුනට ඇසිණි.ඇරුන දොරෙන් ඇතුළට ආවේ  අන් කිසිවෙක් නොව බ්‍රෙන්ට්ලි මැලාඩ් ය.

                      කුඩා සූට්කේසයක් හා කුඩයක් අතැතිව විඩාබර මුහුනින් ඔහු කාමරයට පා තැබීය.

                 අනතුර සිදුවන විට, ඉන් බොහෝ දුර බැහැර පෙදෙසක සිටි නිසා, එවන් අනතුරක් ගැන හාංකවිසියක් වත් ඔහු නොදැන සිටියේය. ජොසපින් ගේ, තියුණු, හද පසාරු කරන තරම් වූ ස්වරයකින් කැ ගැසීමත්, රිචඩ්ස්, තම සිරුරෙන්, බිරිඳ ගේ දෘශ්‍ය පථය අවහිර කරනු ලැබීමත්, ඔහු මවිතයකින් හා වික්ශිප්ත බවකින් කාමරය මැද සිටගෙන බලා සිටියේය.

            නමුත්, ඒ වන විටත් රිචඩ්ස් ප්‍රමාද වැඩිය. වෛද්‍යවරු කැඳ වන විටත් ඇය මිය ගොස් සිටියාය. 

              එය අධික සොම්නස නිසා සිදු වූවක් බව ඔවුහු තිරණය කළහ.


පසු වදන


Kate Chopin ගේ  1894 දී ලියවුන  The Dream of an Hour නම් කෙටි කතාවේ පරිවර්තනයකි.


මිසිස් මැලාඩ් ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවාද?




Friday, July 26, 2013

කාලයේ හුටපටය - Trouble with Time






















 මේ මගේ පලමු හා එකම රහස් පරීක්ෂක කතාවයි. මෙම කෙටි කතාවට අදාල ගැටලුව අඟහරු ලොවේ ඇති ප්‍රධානම ගැටලුවලින් එකක් නොවුනත් මෙයට විසඳුමක් ලෙස මෙරිඩියන් නගරයෙන් ඉඩම් මිලදී ගැනීමෙන් වැලකී සිටිනවා ඇරෙන්නට වෙන කළ හැකි කිසිවක් නැත.
                " අඟහරු ලෝකෙ වැඩිය අපරාධ නෑ. " රහස් පරීක්ශක රෝලිංස් කීවේ තරමක දුකිනි.  "ඇත්තෙන්ම මම අපහුස්කොට්ලන්ඩ් යාඩ් එකට යන හේතුවත් ඒක තමා.මෙහෙ හිටියොත් දන්න දේත් අමතක වෙලා යනවා."

 අපි, Phobes අභ්‍යවකාශ තො‍ටුපලේ ප්‍රධාන නිරික්ශන කුටියේ සිට, ,කුඩා චන්ද්‍රයාගේ, හිරු ‍රැසින් නෑවුන කඩතොලු කඳු ශිඛර දෙස බලමින් අසුන්වල ගිමන් හරිමින් සිටියෙමු.

අපව අඟහරු ලොවෙන් Phobes වෙත ගෙන ආ මගී රොකට්‍ටුව විනඩි දහයකට පෙර නැවත අඟහරු බලා පිටත් වූ අතර තව පැය භාගයකින් මෙහි සිටින මගීන් බොහෝ දෙනෙක්  දැක නැති නමුත්, තවමත් තම නිජබිම ලෙස සලකන පෘථිවියට යාම සඳහා ,අප සැම යානාවකට ගොඩ වදිනු ඇත.

" වෙනසකටත් එක්ක ඉඳ හිට ගැටලු ඇති වෙනවා. මේ  මැකා  මහත්මයා, කලා කෘති එකතු කරන්නෙක් නේද?මම හිතනවා දැනට මාස කිහිපයකට කලින්  මෙරිඩියන් වල වුන කළබගෑනිය ඔබ දන්නව ඇති කියල."

" නෑ. මම දන්නෙ නෑ." තරබාරු, දුඹුරු සමක් ඇති, මා නගරයට පැමිනුන තවත් සංචාරකයෙකු යැයි සිතූ කුඩා මිනිසා පිලිතුරු දුන්නේය.රහස් පරික්ශක රෝලිංස් දැනටමත් මගී ලැයිස්තුව පිරික්සා ඇති. ඔහු මා ගැන කොපමණ දන්නවා ඇතිදැයි මම කල්පනා කළෙමි.මගේ  හෘද සාක්ෂිය  පිරිසිදු යයි සිතා සිත සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළෙමි.කෙසේ නමුත් අඟහරු ලොවට පැමිනෙන හැමෝම අඟහරු රේගුවෙන් කුමක් හෝ දෙයක් හොරෙන් ගෙන යති.
                                                                 
                   " දැනට කේස් එක යට ගහලා තියෙන්නෙ.නමුත් ඕවා හැමදාම  හංගල තියන්න බෑනෙ.     පෘථිවියේ ඉඳන් ආපු මැනික් හොරෙක්, මෙරිඩියන් කෞතුකාගාරයෙ තියෙන අගනාම වස්තුව, සිරියන් දෙවඟන " හොරකම් කරන්න හැදුවා." රහස් පරීක්ශක කීය.

" ඒක නම් මහ විකාරයක්. මිල කළ නොහැකියි කිව්වට ඒක නිකම නිකං ගල් කෑල්ලක් විතරයි.කිසි කෙනෙකුට විකුනන්න බෑ. අන්න මොනාලීස වගේ දෙයක්  හොරකම් කලා නම්  තව කමක් නෑ. "

             රෝලිංස් විරිත්තීය. " නමුත් සමහර කලා කෘති එකතු කරන්නන් ඉන්නවා ඒ වගේ දේකට තමන්ගෙ මුලු වස්තු සම්භාරයම වුනත් දෙන.ඒගොල්ලන්ට ඒකෙ ප්‍රයෝජනය ගැන තැකීමක් නෑ.ඕනෙ දුර්ලභ දේ එකතු කරන්න විතරයි. ඔබ මොකද ඒ ගැන කියන්නෙ මැකා මහත්මයා?

 " ඒක නම් සම්පූර්ණ ඇත්ත. මමත් එකඟ වෙනවා ඔබේ කතාවට. මේ බිස්නස් එකේදි මට අමුතුම ජාතියෙ මිනිස්සු මුණ ගැහිල තියෙනවා."
           " මේ ඩැනී වීවර් කියන හාදයට හොරකම කරන්න හොඳට ගෙවල තියෙනවා.එයා කොහෙත්ම නොසිතුව ඉතාමත් අවසනාවන්ත, පොඩි අත් වැ‍රැද්දක් නිසා මිසක් නැත්නම් මෙලහකටත් ඒක ඩැනී අතේ."
                          
                     අභ්‍යවකාශ  තො‍ටුපලේ ශබ්ද  විකාශන  පද්ධතියෙන්       අවසාන ඉන්ධන පිරික්සීමක්  නිසා වුන පමාවට කගාටුව ප්‍රකාශ කරන අතරතුරේදී මම සිරියන් දෙවඟන ගැන මම දත් දේ සිහි කලෙමි.මුල් කෘතිය දැක නොතිබුනත්, අනෙක් හැම සාමාජිකයෙකු මෙන්ම මගේ ගමන් මල්ලේත්, ක්‍රි. ව.2012 දී තෙවන ගවේශණ කන්ඩායම Mare Sireniyum පෙදෙසේදී සොයා ගත්, සිරියන් දෙවඟන ගේ අනුරුවේ නිවැරදි කොපියක් බවට සනාථ කරමින්, අඟහරු ලොව පුරා විද්‍යා කාර්යාංශයේ මුද්‍රාව සහිතව ලබාගත් පිලිරුවක් තිබිණ.

               එපමණ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුවත් එය අඟල් 8ක් හෝ 9 ක්පමන උස, පෘථිවියෙදී දු‍ටුවොත් කිසිවෙක් දෙවරක් නොබලන ඉතා කුඩා වස්තුවකි.දිගු, තරමක් එල්ලෙන කන්, හිස් කබල කිට්‍ටුවෙන් මුදු මෙන් කැරලි ගැසී ඇති හිසකේ,සතුටෙන්ද විශ්මයෙන්ද යයි විස්තර කල නොහැකි හැඟීමකින් මඳක් විවර වුන දෙතොල් සහිත පෙරදිග කාන්තා ස්වරූපයක් ගත් ගැහැනු හිසකි.

                      නමුත් එය කොපමණ ආන්දෝලනයකට තුඩු දුන්නාද කිවහොත් ඒ මත පිහිටා ආගමික නිකායයන් සිය ගනනක් බිහි වූ අතර පුරා විද්‍යාඥයින් කිහිප දෙනෙක් පිස්සු වැට්ටීමට තරම් සමත් විය.එයට හේතුව ලෙස දැක්විය හැක්කේ අඟහරු ලොවේ සන්ධි පාදකයින් හැරෙන්නට වෙනත් බුද්ධිමත් ජීවින් නොසිටි නිසාය. එබැවින් අඟහරු ලොව කැනීම්වලින් අංග සම්පූර්ණ මිනිස් හිසක් හමුවීම කෙසේවත් විද්‍යානුකූලව සාධනය කළ නොහැකි විය.

                           ආදි අඟහරුවන්ට අභ්‍යවකාශ තරණය කිරීමේ හැකියාව නොතිබිනි.එසේම මීනිසා පෘථිවිය මතුපිට බිහි වීමටත් ප්‍රථම මුල් අඟහරු ජීවීන් එලොවින් තුරන් විය.සිරියන් දෙව්දුව සූර්ය ග්‍රහ මන්ඩලයේ ග්‍රහ ලෝක අතර ප්‍රධානම අභිරහස වුනේ ඒ නිසයි. මේ අභිරහස කවදාක හෝ විසඳනු ලැබීමට ඉඩ තිබුනත්, එය මගේ ජීවිත කාලයේ දී නම් නොවන බව දනිමි.

                  " ඩැනීගේ සැලැස්ම බොහොම සරලයි." රහස් පරීක්ශක රෝලිංස් දිගටම කතා කරගෙන ගියේය."ඕගොල්ලො දන්නවා ඇතිනෙ අඟහරු ලෝකෙ හැම නගරයක්ම ඉරිදට කොච්චර නිශ්ශබ්ද ද  කියලා.හැම සාප්පුවක්ම වහලා ජනපදිකයින් ගෙවල්වලට වෙලා ඉන්නවා පෘතුවියෙන් එවන රූපවාහිනී විකාශය නරඹන්න. ඩැනී තමන්ගේ හොරකම ප්ලෑන් කලේ මේක හිතේ තියා ගෙනයි.ඔහු බටහිර මෙරිඩියන් නගරයේ හෝටලයක කාමරයක් බුක් කරගෙන සිකුරාදා හවස නැවතුනා. ඔහු හිතා ගත්තේ සෙනසුරාදාට ගිහින් කෞතුකාගරය හොඳින් නිරීක්ශණය කරන්න.ඉරිදට සේරම මිනිස්සු තම තමන්ගෙ ගෙවල්වල නිසා කරදරයක් නැතුව වැඩේ කෙරුවහැකි.සඳුදට එයා නගරයෙන් පිටවන තවත් එක සංචාරකයෙක් විතරයි."

                   ප්ලෑන් කරපු විදියට, එයා සෙනසුරාදා උදේ පාක් එකේ පොඩි රවුමක් දාල ඒ ලඟම තියෙන නැගෙනහිර මෙරිඩියන් නගරයට ගියා ක‍ටු ගේ බලන්න.මෙරිඩියන් ඊස්ට් එකට ඒ නම ලැබුනෙ ඒක හරියටම දේශාංශ  180 පිහිටල තියෙන නිසා.පාක් එක මැද ලොකු  පැතලි ගල් ලෑල්ලක් තියෙනවා prime meridiyan කියා  කොටල  තියෙන. නගරයට එන සංචාරකයින්ට එකවර අර්ධ ගෝල දෙකක පය තියාගෙන තමන්ගෙ පොටෝ එකක් ගත්තෑකි.පුදුමයි නේද, මිනිස්සු ආස කරන දේවල්?"

              " ඩැනී, තමන් ගෙවූ මුදලට උපරිම දෙයක් දැන ගන්න උත්සාහ කරන අනෙක් හැම සංචාරකයෙක් වගේම, මුලු දවසම ක‍ටු ගේ නරඹමින් ගත කලා. නමුත්, ක‍ටු ගේ වහන වෙලාවට ඔහු එයින් පිටවුනේ නෑ. මුදල් නැතිකම නිසා බාගෙට වැඩ නවත්තල තිබුනු, මිනිස්සුන්ට විවෘත නොවුන ගැලරියක හැංගිලා හිටියා ගොඩක් රෑ වෙනකල්.එහෙම හිටියෙ කෞතුක වස්තු ගැන පර්යේශණ කරන කෙනෙක් බාගදා රෑ වෙනකල් ක‍ටු ගෙයි වැඩ කරන්න ඉඩකඩක් තිබුන නිසා.කවුරුවත් ක‍ටු ගෙයි නෑ කියල සැක හැර දැනගත්තට පස්සෙ ඩැනී ඉන් එලියට ආවා.

"පොඩ්ඩක් ඉන්න." මම ඔහුට බාධා කලෙමි. 

 " කෝ එතකොට ක‍ටු ගෙයි මුරකාරයො?"

රහස් පරීක්ශක සිනාසුනේය.
                        "උඹට තේරුනේ  නැද්ද කොල්ලො?  අඟහරු වල ඒ පහසුකම් නෑ. අඩුම ගානෙ ක‍ටු ගෙට එලාම් එකක්වත් නෑ. මේ නිකම්ම නිකං ගල් කුට්ටියක් හොරකම් කරන්නෙ කවුද? "දෙවඟන" ව සීල් කරපු ලෝහ හා වීදුරු කුටියක දාල තියෙනව  තමයි.එහෙම තියෙන්නෙ බැරි වෙලාවත් අඟහරුවලට එන සංචාරකයෙක් ඒකට බැල්ම දාවි කියල.එහෙම ගත්තත් හොරාට හැංගෙන්න තැනක් නෑ.පිලිරුව නැතිවුනා කියල දැන ගත්ත ගමන් නගරයෙන් පිටවන හැමෝවම පරීක්ශා කරාවි."

                           එය සත්‍යයකි. අඟහරු නගරවල ස්වභාවය,පෘථිවියේ ඒවාට වඩා හාත්පසින්ම වෙනස් බව මට අමතක විය.අඟහරු මත ඉදිවී ඇති හැම නගරයක්ම, ගල් වෙන තරමේ සීතලක් ඇති රික්තකයකින් ආරක්ෂා වනු වස් යෙදූ විදුලි ක්ශේත්‍රයකින් වෙන් වෙන්ව ආවරනය  වූ ඒවාය.මේ මිනිසා තැනූ විදුලි ක්ශෙත්‍රයන්ට එහා, ආරක්ශක උපකරණ හා ඇඳුම් නොමැති යමෙක් තත්පර කිහිපයකින් මැරී වැටෙන තරමේ,දරුනු,  මිනිසාට පසමිතුරු, කුරිරු,අඟහරු ලොව  ශූන්‍ය අවකාශය පැතිර ගියේය.

         

              එබැවින් මෙහි අපරාධ අඩු වීම ගැන පුදුම විය යුතු නැත.

                         " ඔරලෝසු හදන මිනිස්සු ලඟ තියෙනවා වගේ, මේ වැඩේටම හදා ගත්තු සුපිරි ආයුද ටිකක් මිනිහ ලඟ තිබුනා.වැදගත්ම ආයුදේ තමයි ක්ශුද්‍ර  කියත (micro saw).පවර් පැක් එකකින් වැඩ කරන, තත්පරයට රවුම් මිලියනයක් විතර කැරකෙන, ගොඩක් තුනී, ඒ වගේම ඉතාම තියුනු තලයක් තියෙන ඒ ආයුදේ ලෝහ වේවා, වීදුරු වේවා කපාගෙන යන්නෙ හරියට බටර් වගේ.කැපුමෙ ගනකම කෙස් ගහකට වඩා වැඩි වෙන්නෙ නෑ.
කැපුමේ ගනකම ඉතාමත් සියුම් වූ තරමට එය එලිවිය හැකි  අවස්ථාද අඩු නිසා ඩැනීට තම හොරකම අන්‍යයන්ගෙන් වසන් කිරීමට ඇති තරම් කාලය ඇත.

                                "මම හිතන්නේ දැන් ඔබ දන්නවා ඇති ඩැනී කොහොමද වැඩේ කලේ කියල.  මුලින්ම ප්‍රතිමාව තියෙන කැබිනට් එකේ  පතුල කපලා හිමින් සීරුවෙ නියම දෙවඟන රූපය එලියට අරගෙන ඒ වෙනුවට හොර කොපිය ඇතුලෙන් තිබීම ඩැනී ගෙ අරමුණ වුනා.කවුරු හරි පුරා විද්‍යාඥයෙක් කලෙකට පස්සෙ හොයා ගත්තොත් මිසක් කිසි කෙනෙකුට නියම රූපයේත්, කොපියේත් වෙනස හොයන්න බෑ.එතකොට ඉතින් නියම පිලිරුව, ඒක නිවැරදි කොපියක් කියල අඟහරු ලෝකෙන් දුන්න සහතිකේකුත් එක්ක පෘථිවියට ඇවිල්ල ඉවරයි. නියමයි නේද ප්ලෑන?


                    මේ ක‍ටු ගෙයි දෙවඟන ඉන්න ගැලරිය හරිම හිත කීරි ගස්සන සුලුයි.විශේශයෙන්ම එතන කට්ට කලුවරේ, වසර දහස් ගනනාවක් පැරනි කලා කෘති,කැටයම් හා මූර්ති අතර ඉඳිමින් අඳුරු ගැලරියේ වැඩ කරන එක නම් ඩැනීට මහ අමුතු අත්දැකීමක් වෙන්නැති.පෘථිවියේ වුනත් ක‍ටු ගෙයක් රෑට අද්භූතයි.නමුත් අඩුම ගානෙ ඒකෙ තියෙන්නෙ මිනිස් රූප. නමුත් අඟහරු ලෝකෙ ක‍ටු ගෙයි දෙවඟන ඉන්න ගැලරිය ඒකෙ තියෙන අද්භූත පෙනුමක් ඇති, අඬු ගොඩක් තියෙන යෝධ කුරුමිනි සතුන් කා කොටා ගන්න කැටයම් නිසා ඒලියන්ස් ල ඉන්න තැනක් වගේ.

                      අඟහරු ලොවේ කෘමි විශේසඥයො කියන්නෙ එහෙම ජාතියෙ සතුන් නම් කවදවත් හිටියෙ නෑ කියල.මනකල්පිත වුනත් නැතත්, ඒ සතුන් සියල්ලම ඩැනී හා දෙවඟන  ජීවත් වූ මේ අපූරු ලෝකයට අයත් වූ දේවල්.ඩැනීට ඒවා පෙනුනේ හරියට කාලයේ වැලිතලවෙන් මතුව ආ දිය උල්පහක් සේ දෙවඟන ඔහුට අභියෝග කරමින් සිටින ලෙසයි.ඔහුගේ ඇ‍ඟේ හිරිගඩු  පිපුනා දෙවඟන රුව දෙස බලන විට!


                                   ඉතින්   දියමන්ති කපන්නෙක් අගනා මැනිකක් ඔපමට්ටම් කිරීමට සැරසෙන සේ ඩැනී සීරු මාරුවට වැඩයට අවතීර්ණ වුනා.‍රැයෙන් වැඩි කාලයක් ගත වුනේගැලරියට ඇතුලු වීමට තිබූ  දොර කපා ඉවත් කිරීමටයි.

                                ඒ වැඩේ නිමවන විට උදේ පාන්දර වෙලා.තවත් ගොඩක් දේ කිරීමට තිබුනත්, අමාරුම හරිය නිමකල නිසා ඩැනීගේ සිතට සතුටක් හා සැහැල්ලුවක් දැනුනා.දෙවඟන ආරක්ශාකාරී විදුරු කුටියෙන් පිටතට ගෙන තමන් ගෙන ආ බොරු දෙවඟන රූපය වීදුරු කුටියට දමා නියම ආනතියකින් හා වීදුරු කුටියේ සිට නියම දුරකින් පිහිටවන්නටත් ඔහු උත්සුක වුණා.තමන් තැබූ සලකුණු සියල්ලම මකා දැමීමට ඉරිදා දවසින් වැඩි කාලයක් ගතවිය හැකි වුනතේ ගැන ඔහු කලබල නොවුනේ වැඩය නිම කිරීමට තවත් දවසක් ඔහුට තිබුන නිසයි.සඳුදා දවස වන විට ඔහුට ක‍ටුගෙය නැරඹීමට එන සංචාරකයින් සමග  මිශ්‍ර වී කාටත් හොරා ඉන් පිටවිය හැකියි.   ඉඳින්,ක‍ටු ගෙයි දොරවල් හරියටම 8.30 ට විවෘත වෙලා කාර්ය මංඩලයෙ හයදෙනාම දවසේ කාර්යයන් සඳහා වාර්තා කිරීමට ඇතුලු වීම දැනීට දරාගත නොහැකි කම්පනයක් නොවන්නේද? ඩෑනී  දඩිබිඩි ගාලා හදිසි දොර‍ටුවෙන් එලියට  පැනගත්තේ  දෙවඟන රූපය, ආයුධ හා ඉතිරි හැමදේම ක‍ටු ගෙයි දමා යමින්.

  ඔහු මහ මගට ආවිට දැක්කේ තවත් ඇස් නිලංකාර වන දෙයක්.


                         ඉරිදා දවසේ  තම නිවෙස්වලට වී පුවත්පත් කියවමින් කාලය ගතකරන මිනිසුන් නිසා පාලුවට යායුතු මං මාවත්,සාමාන්‍ය දිනයක ලෙස ජනයාගෙන් පිරී පැවතුණා.

                   අසරන ඩැනි හෝටලයට එන විට අපි එයාව පිලිගන්න ලෑස්ති වෙලා හිටියෙ.නමුත් ඔහුව අල්ලාගැනීම ගැන අපිට එතරම් පුරසාරම් කිව නොහැක්කෙ, පෘථිවියෙන් අඟහරු ලොවට ලඟදි පැමිනුන සංචාරකයෙකුට හැරෙන්නට වෙන කිසිවෙකුට ඒ තරම් ප්‍රසිද්ධ දෙයක් අමතක නොවෙන නිසයි.ඔබ එය දන්නවා නේද"?

                ඇත්තෙන්ම මම දන්නෙ නෑ." මම පිලිතුරු දුනිමි."සති හයකින් අඟහරු ලෝකෙ හැම තැනම නරඹන්න බෑනෙ."

                  " සිද්ද වුනු දේ බොහොම සරලයි.අපි අහිංසක ඩැනීට අනුකම්පා කරන්න ඕනැ.මොකද ඉඳල හිටල ස්වදේශිකයොත් මේ උගුලට අහුවෙනවා" .





      


                           " ඩැනි හොරකම සැලසුම් කලේ බටහිර මෙරිඩියන් වල ඉඳලා.ඩැනී ක‍ටු ගෙයි හොරකම කරද්දි එහි ඉරිදා තමයි.එයා හොරකම කරලා හෝටලේට යනකොටත් එහෙ ඉරිදා දිනේ ගෙවිලා ඉවර නෑ.
 නමුත්, හැතැම්ම බාගෙකට එහා තියෙන නැගෙනහිර මෙරිඩියන් වල එතකොට දිනේ සෙනසුරාදා".

              " ඩැනී පාක් එක හරහා හැතැම්ම බාගයක් ඇවිදලා ක‍ටු ගෙට යනකොට එයා එක අර්ධ ගෝලෙකින්  තව අර්ධ ගෝලෙකට මාරු වෙලා ඉවරයි.ඒක නම් බොහොම අවාසනවන්ත සිදුවීමක්".

                ඩැනී වෙනුවෙන් ඇතිවුන අනුකම්පාසහගත සිතිවිලිවල කිමිදෙමින් සිටි නිසාදෝ, බොහෝ වේලාවක් යනතුරු කිසිවකු කතා නොකලහ.

 "මොකද්ද එයාට ලැබුන දඬුවම"?
                මම මඳ වේලාවකින් විචාලෙමි.

         "අවුරුදු තුනක්. " රහස් පරික්ශක පැවසීය. 

 "ඒක නම් එච්චර බරපතල නෑනෙ."

  "අඟහරු ලෝකෙ අවුරුදුතුනක්කියන්නෙ පෘථිවියෙ නම් අවුරුදු හයක් විතර. 
   ඒවගේම අහඹුවක්වගේ  එයාගෙ රිටර්න් ටිකට් එකට  සමාන වුන  ලොකු දඩයක්ගෙවන්නත්වුණා. හැබැයි  එයා ඉන්නෙ හිරේ නෙමේ. මම ඔයාලට කිව්වනෙ මෙරිඩියන් වල ක‍ටුගෙට රාත්‍රි මුරකාරයෙක් නෑ කියල. දැන් එක්කෙනෙක් ඉන්නවා.හිතාගන්න පුලුවන් නෙ කවුද කියල.එයා අඟහරු ලෝකෙ ජීවත් වෙන්න නම් ‍රැකියාවක් කල යුතුයි. අධීක්ශණයක් යටතෙ ඩැනී තමන්ගෙ හිර දඬුවම   ගෙවනවා. 


                    "සියලුම මගීන් තමන්ගේ ගමන් මලු අරගෙන විනාඩි දහයකින් යානයට නැගීමට සූදානම් වන්න. "ශබ්ද විකාශන යන්ත්‍රය හඬ තැලීය.

               අප සැම ගමන් මලු අතැතිව air lock එක දෙසට ඇවිද යනවිට මට තවත් ප්‍රස්නයක් නො අසා බැරිවිය.

             "ඩැනීව හොරකමට යොදවපු මහ මොල කාරයව හමු වුනාද?"

 "තවම නෑ. එයාල සේරම සළකුණු මකලා.ඩැනී කිව්වා හොරකමට කොන්තාතෘව ලැබුනට එයා ගැන මුකුත් දන්නෙ නෑ කියා. මමත් විශ්වාස කරනවා ඩැනි කිව්වෙ ඇත්ත කියල."

 " මේ මගෙ කේස් එකක් නෙවෙයි. මම ආපහු පෘතුවියට යනවා. නමුත් පොලිස්කාරයෙක් නිතරම ඉන්නෙ තමන්ගෙ වටපිටාව ගැන විමසිල්ලෙන්, හරියට ඕනෑම මොහොතක ඩැහැ ගන්න පුලුවන් කලා කෘතියක් ගැන ගිජු ලිහිණියෙක් වගේ විමසිල්ලෙන් ඉන්න කළා කෘති එකතු කරන්නෙක් වගේ.එහෙම නේද මැකා මහත්මයා"?  

 " ආ, මොකද, ඔබ නිකම් අසනීපෙකින් වගේ? මං ගාව තියෙන space sickness පෙත්තක් දෙන්නද"?

"එපා. බොහොම ස්තූතියි. මම හොඳින්. " මැකා මහතා පිලිතුරු දුන්නේය. 
   ඔහුගේ ස්වරයේ ලා නොරිස්සුම් බවක් තැවරී තිබිනි.

               ගෙවී ගිය මිනිත්තු කිහිපය තුල එකිනෙකා හා දොඩමළු වූ මගීන් ගේ සුහදශීලීත්වය නැත්තටම නැතිව ගියා සේය. මම මැකා මහතා දෙසත් රහස් පරීක්ශක දෙසත් මාරුවෙන් මාරුවට බැලීමි.

 එක්වරම, මේ සියළු දෙනා එක්ව පෘථිවිය බලා යන චාරිකාව ඉතාමත් සිත් ගන්නා සුලු, කුතුහලයෙන් පිරුන එකක් වන බව වටහා ගතිමි. 


                       ( Phobos  යනු අඟහරු ලොවේ ඇති ප්‍රධාන හඳවල් දෙකෙන් එකකි. Phobes  යනු  කතාවේ ලෙස   ඒ චන්ද්‍රයා මතුපිට ඉදි වී  ඇති    අභ්‍යවකාශ  තො‍ටුපලකි.)



පසු වදන

ආතර්.සී. ක්ලාක් ගේ " Trouble with Time"  යන කෙටි කතාවේ පරිවර්තනයකි. 

 අනාගතයේ මිනිසා අඟහරු ලොව ජනාවාස සෑදිම අළලා මෙම කතාව ගෙතී ඇත.මෙම කෙටි කතාව ඔහු ලියා ඇත්තේ 1960 ය. පලමු සඳ තරණය 1969 දි වුනත් ඒ වනවිට මිනිසා අභ්‍යවකාශය ජය ගෙන තිබූ නිසා තවත් වසර පනහක කාලයක් ඇතුලත මිනිසුන් සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක තරණය කරාවි යන්න උපකල්පණය කරමින් කතාව ලියවී ඇත.  





                  සුපුරුදු ලෙස ඔබේ යෝජනා, අදහස්, වෙනස් විය යුතු තැන්  ගැන දැන ගන්න කැමතියි. Dude, come on. Do your best!