ගුවන් විදුලි තරංග ගැන ඔහු දන්නා සියලු දෑ ඔහුට කියා දුන්, ' ආධුනිකයන් සඳහා ගුවන් විදුලි අත්පොත-1965' අතට ගත් ඔහු, එහි මතුපිට තැන්පත්ව තිබූ සිහින් හිම පටලය පිස දැමීය.විවිධ බැටරි හා මීටර ඒවා දැමූ දැමූ තැන්වලම තිබූ අතර, සමහර බැටරි තවමත් ක්‍රියාකළ හැකි තත්වයක තිබීම, ඔහුගේ සිතට අස්වැසිල්ලක් විය.ගුවන් විදුලි යන්ත්‍රයට ඇවැසි බලය, තැන තැන විසිරී තිබූ බැටරිවලින් සපයා ගත් ඔහු, චකිතයෙන් සිත ගැස්සෙද්දී, යන්ත්‍රය තවමත් ක්‍රියාත්මක කළ හැකි දැයි පිරික්සීය. රේඩියෝවෙන් නැගෙන සිහින් ස්...ස්...ස්..ස්ස්..ස්... හඬ,බී. බී. සී. නාලිකාවේ, 9 කනිසමේ ප්‍රවෘත්ති හා වාද්‍ය වෘන්ද ද, කෙනෙකුට නැතිවම බැරි අංග සේ සැලකූ අනෙක් සියලුම දෙයින් පිරිපුන්, නමුත්, වර්තමානයේ පුහු සිහින පමනක් ම වූ ලොවක් ඔහු මතකයට නැංවීය.
ඉතාමත් සීරුවෙන් නමුත් නොඉවසිල්ලෙන්,ඔහු සියලුම තරංග කරකවා බැලූ නමුත්, සෑම චැනලයකින් ම ඇසුනේ, සුපුරුදු ස්......ස්ස්ස්ස්ස්... හඬ පමනක්මය. එහෙත්, රාත්‍රිය තවම තරුණ ය. එතෙක්, වටපිටාවේ ඇති කඩ සාප්පු පීරා, සුපුරුදු ලෙස, ප්‍රයෝජනවත් යමක් සොයා ගැනීමට ඔහු තීරණය කළේය.
මහාචාර්ය මිල්වර්ඩ්, නැවතත්, කෙටි තරංග ග්‍රහණය කර ගැනීමට, සියුම්ව ස්විචය කරකැවීය.නමුත්, වරක් මිනිසුන්ගෙන් පිරී තිබුණ, ඊතර සගර මෙන්ම, නගරයද මුනිවත රැක්කේය.ලොව, අනිත් කොනින්, ආවා සේ සිතිය හැකි, වැසි කුණාටුවක ගිගුරුම් හඬක්, දැරිය නොහෙන නිහඬතාව බිඳ දමමින් ඔහුට ඇසිණ.මිනිසා, තම නවතම සොයාගැනීම අතැර ගියා සේය.
පසුදා තම නවාතැනට යන විට, ඇල් මැරුන හිරු රස්, හුදකලා වීදියේ විසිරී තිබිණ.ඔහු ඉතාමත් තෙහෙට්ටු ගතියෙන් පා තැබිය.පසුගිය රැයේ ඔහුට හරිහැටි නින්ද නොගිය අතර,නින්ද ඔහු වෙතට ආ සැමවිටම,තම සුපුරුදු සිහිනය, තමා ගලවාගැනීමේ ප්‍රයත්නය ඔහු දිටීය.
දැඩි නිහැඬියාව බිඳ දමමින්, වහලවල ගොඩ ගැසුන හිම, මහා හඬක් නගමින් බිම වැටෙනු ඔහු ශ්‍රවණය කළේය. ඔහු, නැවතී ඒ හඬට හොඳින් කන් දුන්නේය.සාමාන්‍ය ගිගුරුමකට වඩා එය සම කළ හැකි වූයේ, හිම ටොන් මිලියන ගන්නක් වුවත් එක්වර පුපුරවා හැකි තරම් ප්‍රබල වූ පරමානු බෝම්බයකට පමණි. කලින් දා රැයේ සිදුවිම පසෙකට ලා, නව බලාපොරොත්තුවක් මෝදු වනු ඔහුට දැනිණ.
අතුරක් මත ගමන් කරන්නෙකු, නිරතුරු අවධානයෙන් සිටිය යුතුවාක් මෙන්,තම අවධානය වෙනතකට යොමුකළ ඒ සිදුවීම, තව සුලු මොහොතක් පමා වූවා නම්, ඔහුගේ දිවි තොර කරනු ඇත.එක්වරම, කුඩා අතුරු පාරකින්, විශාල යමක් ඔහු වෙතට එනු, ඔහුගේ දෘශ්ඨි පථයට ගෝචර විය. තමා දුටු දේ තහවුරු කර නොහී, ඔහුගේ මනස ගල් ගැසුනේය. ඊලඟ මොහොතේ, තම කබා සාක්කුවට අත යැවූ ඔහු, කලබලයෙන් වෙව්ලන ඇඟිලිවලින් රිවෝල්වරය එලියට ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදිණි.සර්පයෙකු සේ, හිස දෙපසට වනමින්, පුලුන් කොට්ට වන් පා සැහැල්ලු ලෙස හිම මත තබමින්, ඔහු අබිමුවට පැමිනියේ, ධ්‍රව වලසෙකි.
ඔහු කොපමණ බියට පත්වූවාද කිවහොත්,තමා රැගෙන ආ සියලු බඩු බාහිරාදිය එතැනම අතැර, හිම මත පය පැකිලි පැකිලී, තමා නුදුරේ තිබූ, භූගත සෝපානය දෙසට දිවීය.සතුරා තමාට කොපමණ නුදුරෙන් සිටින්නේ දැයි ආපසු හැරී බැලීමට, සිත තුල ජනිත වූ දැඩි පෙළඹවීම මධ්‍යයේ, ඔහු යකඩ දැළට ළඟා වී, එය වේගයෙන් සෙළවූයේය.බියෙන් හිරිවැටුන ඇඟිලිවලින් කිහිපවරක් දැළ වේගයෙන් සෙළවූවද කිසිවක් සිදු නොවීය.අවසන, ක්‍රීක් හඬක් නගමින් විවර වූ දොර තුලින්, ඔහු දනි පනි ගා ඇතුලට රිඟා ගත්තේය.
ඔහු තරම් දෙගුණයක් තරම් වූ වලසා, කෝපාවිශ්ඨ ව, උල් නියෙන්, තමා හා තම ප්‍රතිවාදියා අතර එකම බාධකය වූ දැල ගලවා දැමීමට යත්න දැරීය.උගේ සවිමත් බාහු යුගලයට මැදි වූ යකඩ දැල සෙලවුනත්, එය ගැලවීමට තරම් ඌ ශක්තිමත් නොවීය. මහාචාර්යවරයා අතින් ගිලිහුන මල්ල, වරක් දෙවරක් නිය පහුරුවලින් එහා මෙහා විසික්කළ ඌ, ඉදිරිපස ගාත් ඔසවා, අසතුටින් ගෙරවූයේ, සතර අතට විසිව තිබූ ටින් අතරින් දෙපා මුදුව තබමින් අතුරුදන් විය.
ජීවිතයේ කිසිම දිනක නොදැනුන ලෙස, ඉමහත් කම්පනයට ලක් වූ මහාචාර්ය මිල්වර්ඩ්, එක් ආරක්ෂිත ස්ථානයකින් තවත් ආරක්ෂිත ස්ථානයක ට මාරු වෙමින්, තම නවාතැනට ලඟා වූයේ තෙපැයකට පමණ පසුවය.
මේ සා කලකට පසු, නගරයේ සිටින එකම ජීවියා තමා නොවන බැව් ඔහුට පසක් විය.ධ්‍රව වලසා හැරෙන්නට , වෙනත් සතුන් නගරයට ආගමනය වී ඇත්දෝයි සිතේ නැගුන පැණයට පිළිතුරක් ලෙස, පසුදින අළුයම,නගර උද්‍යානය දෙසින්,වෘකයකු ගේ උඩු බිරීමක් ඔහු සවන් වැකිණ.
තවත් සතියක් පමණ ගෙවෙන විට, උතුරේ සිටින සතුන්, එය හැරදමා යන බැව් ඔහුට පැහැදිලි විය.වරක්, දකුනු දිශාව බලා ගමනේ යෙදෙන පිනි මුවන් රැළක්, ඔහු තම ටවරයේ සිට නිරීක්ෂණය කළේය. සමහර රැයක, එකිනෙකා කා කොටා ගන්නා, ගොරවන, බුරන විවිධ සිව් පා ශබ්ද ඔහු සවන් පතිත විය. මෙපමන කළකට පසුවත්, මෙවන් විසල් ජීවි ගහනයක්, උත්තර ධ්‍රවය හා ලන්ඩනය, එකම භූමියක් සේ යා කළ මේ, ධවල හිම තැන්නේ, වසනු දැනගැනීම විමතිය දනවන්නක් වීය.
නමුත්, දැන් යමක්, ඔවුන් සියල්ල දකුණට පලවා හරිමින් සිටී.මිනිසා හැරෙන්නට, මේ සා සතුන් සන්ඛ්‍යාවක් භීතියෙන් මුසපත් කරවන්නට සමත් ජගතෙක් මේ පොළොවේ නැති බැව් ඔහු සිහිපත් කළේ චිත්ත සන්තානයේ දලු ලන ඉමහත් ප්‍රීතියෙනි.
සමහර දිනක, තම උනුසුම් ලොම් කබාය, ගතට හිරකර ගනිමින්,සීතල ඉරු රැසින් නෑවෙමින්, තමා ගලවා ගැනිමට, තම මිතුරන් නැවත එන අයුරු සිහින දකිමින්, ඔහු එලිමහනේ නිනව්වක් නැතිව පැය ගනන් ගත කළේය. සමහර විට, උතුරු ඇමෙරිකාවේ සිට, මිදුන අත්ලාන්තික් සයුර, තරණය කොට ඔවුන් පැමිනෙනු ඇත.එසේම, මේ වනවිටත්, ඔවුන් තමා බේරගැනීමේ මෙහෙයුමක් අරඹා වසර ගනනාවක් ගතවී ඇති වන්නටද පුලුවන.
එසේ වුවද, මෙතෙක්, තමා ගලවාගැනීමට, එකදු ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක නොවිම, ඔහුගේ කුකුස දනවන්නක් වීය. මෙපමණ කඩිනමින්, මිනිසාට පියෑඹීමේ කළාව අමතක වී ඇතැයි සිතීම උගහටය.
පාලුව දරාගත නොහුන විටක, මතකයෙන්, කවි ගායනා කිරීමට ඔහු පෙලඹී සිටි මුත්, ඒවා බොහෝ විට අතීත තුවාල පාරවන්නක් විය. නමුත්, දිවා කල දිගු වී, පරිසරයේ, දීප්තිය වැඩි වත්ම, ඔහු, බොහෝ විටක, ජනෙල් කවුලුවකින්, හිස එලියට දමා, මහ හඬින් ඒවා ගැයුවේ, එමගින් වත්, තමා වට වී ඇති, මේ මායාකාරී පරිසරය වෙනස් කිරීමට යත්න දරන්නාක් මෙණි.
ගිම්හානය, එය නිමාවේ අද්දරට ලඟා වී සිටියේය.පැයෙන් පැය, දිනෙන් දින, ඒ නුහුරු ඝෝෂාව,වැඩිවත්ම, ඔහුගේ මනස, බලාපොරොත්තුව හා භීතිය අතර දෝලනය වෙමින්, වික්ශිප්ත විය.ඔහු තවදුරටත්, කිසිම සත්වයෙක් දුටුවේ නැත්තේ ඔවුන් පලා ගිය නිසාවෙනැයි ඔහු අනුමාන කලත්, තම,ආරක්ෂිත බළකොටුවෙන් පිටතට පැමින, පලා යාමට තරම් දිරියක් ඔහුට නොවීය.
එය එසේ වුවත්, සෑම හිමිදිරියකම,කුළුණේ, උස් කවුලුවක් අසලට වී දුරදක්නයෙන් වටපිටාව නිරීක්ෂණය කළ් සැම විටකම ඔහු දුටුවේ,හිරුට බියේ පසු බසින හමුදා බළ ඇණියක් සේ දියවෙමින් යන හිමෙන්, වැසි කඳු ශිකර ය.
ඔහුගේ පෙර මග බලාසිටීම, කෙටි ගිම්හානයේ, අවසාන දින කිහිපයේ නිමා වීමට යෙදිණ.පොළොව දෙදරුම් කවමින්,කෙමෙන් වැඩිවෙමින් ඇසෙන ඒ ගර්ජනාව, තමාට වඩ වඩා සමීප බව දෑනුනත්,තවමත්, ඒ කුමක්දෑයි නිසැකවම පැවසීමට හෝ එය, තමාට කොපමණ සමීප දැයි අනුමාන කිරීමට හෝ හැකියාවක් නොවීය.
මහාචාර්ය මිල්වර්ඩ් තම දුරදක්නය, උතුරු දෙසට යොමු කරන විටවත්, ඔහුට ඒ ගැන කිසිම අමුතු හැඟීමක් නොතිබුණේය.නුදුරේ එන හමුදාවක, හිරු එලිය වැටී දිලිසෙන පළිහ, ප්‍රථම වරට දර්ශණය කරණ මුර සෙබලෙකු සේ අවසන, ඔහු ඒ අමිහිරි සත්‍යය පසක් කර ගත්තේය.පැහැදිලි නුබ ගැබ පසුබිම් කර ගනිමින්,හිමෙන් වැසුන උස් වූ කඳු ශිඛර, දැන්,සූර්යාලෝකයේ, බබලමින් තිබිණි.වසර, මිලියන ගනනක් පුරා, ඒවා වසා සිටි හිම තට්ටු,දැන් නැත්තටම නැතිවී ගියා සේය.ඔහු, ඒ ගැන ප්‍රීති විය යුතු නමුත්, එවන් හැඟීමක් ඔහුට දැනුනේ නැත.
එක් රැයකින්, ඔහුට කිසිදා, කෙලෙසක වත් අනුමාන කළ නොහැකි වූ සතුරා,අවසාන මුර කඩුල්ලත්, පසු කරමින්,සමූල ඝාතනයට සැරසී, ඉදිරියට එමින් සිටියේය.
පරාජිත වූ කඳු මුදුන් වසාගෙන,කෙමෙන් තමා අබිමුවට ගලා එන, ඒ අතිශය බියකරු දිස්නය, මහචාර්යවරයාට, පර්වත මුහුදට ගමන් කරන්නා සේ දැනුන හැඟීම, හෙළිදරව් කලේය.
ඔවුන්ගේ සදාකාළික නවාතැන වූ උතුරු දිශාවේ සිට,මිනිසාගේ ආගමනයට කල්පාන්තයකට පෙර, තම නිජබිම වූ, දකුණු දිශාව, අත්පත් කර ගන්නා ඒකායණ අදිටනින්, ග්ලැසියර, නැවතත්, ගමන් අරඹා තිබිණ.
( A translation of the short story, "The forgotten enemy" by Arthur.C. Clarke.)