Friday, May 31, 2013

හෙන්රියාටා නැන්දාගේ සුමිතුරු උඩවැඩියාව (part 1) - The orchid which befriended the aunt Henriyata
























හර්කියුලීස් යනු සුවිශේෂී සංකේත ‍රැසක් සමග බැඳී ඇති, විශේෂ නාමයකි. නමුත්, උසින් අඩි 4කුත් අඟල් 6ක් හා රාත්තල් හතලිස් හතක් බර ඇත්තෙක් එවන් නමක් දරන්නෙක් වූ විට ඔහුට නම් සමාජශීලී වීමට කිසිසේත්ම බැරිය.එසේ වන්නේ නම ඇසූ පමනින්ම ලෝකයා ඔහු දෙස හෙලන උපහාසාත්මක බැලුම්, ඔහුට දරාගැනීමට අපහසු නිසාය.

එසේ වූ කල හර්කියුලීස්    සමාජශීලී පුද්ගලයෙකු නොවීම ගැන කිසිවකුටත් ඔහුට දොස්පැවරීමට නොහැක. ඉඳින්, ඔහුගේ තනි නොතනිය මකා දැම්මේ කවුරුන්ද? ගෙවත්තේ කෙලවරක ඇටවූ අඳුරු ශාක ගෘහයක ඇති සුවිශේෂී උඩවැඩියා හා කැක්ටස් එකතුවක් මිස වෙන කුමක්ද ඉතින්!

                 උඩවැඩියා ශාක එකතු කරන්නන් අතර නම් ඔහු ඔහු නියම හර්කියුලීස් කෙනෙක් විය.ඉතා අපහසුවෙන් හා දැඩි දුශ්කරතා මධ්්‍යයේ තම කාලය හා ශ්‍රමය වැය කරමින්, ලෝකයේ අස්සක් මුල්ලක් නෑර, විවිධ ප්‍රදේශවලින් හා වනාන්තරවලින් සති, මාස ගනන්ගතවීම නිසා පෙඟී, තෙත්වී,පුස් ගඳ විහිදුන පාර්සල්වල බහා එවූ නා නා විධ පාටින්, හැඩයෙන් හා ඒවාටම ආවේණික සුවිශේෂ ගති ලක්ෂණවලින් යුත් අග්‍රගණ්්‍ය පැළ එකතුවකට හිමිකම් කී එකම උඩවැඩියා වවන්නාගේ කිරුළ ඔහු දැරුවේය.

                  හර්කියුලිස්ට සිටි එකම නෑයා හෙන්රියාටා නැන්දාය.ඔවුන් දෙදෙනා පෙනුමෙන් ගතිගුනවලින් හා හැසිරීමෙන් අහසට පොළව මෙන් විය. නැන්දා පැරීසියෙන් ඇනවුම් කල මිල අධික කබා  ඇඳි, අඩි හයක දෑවැන්තියක් වූ අතර    Alsatian, Dachshund හා Great Danes වන් දඩයම් බල්ලන් ඇති කර විකිනුවාය. සෑම සෙනසුරාදාම සිරිතක් ලෙස ඇය තමන් සතු නවතම  සුරතලුන් කිහිපදෙනෙක් ඉදිරිපස හිඳුවා ගත් ජගුවර් රථය පදවා ගෙන, එකක් නිමෙන විට එකක්දල්වා ගත් සුරුට්‍ටුවක් සහිත මුවින් තම බෑනා බලන්නට ආවාය.

                     ඇය විවාහ නොවුනේ පිරිමින් පිලිකුල් කල බැවිනි නමුත් තම බෑනා වන හර්කියුලිස් ගැන ඇගේ සිතේ යම් ආකාරයක මුදු හැඟීමක් විය. ඔහු දකින විට ඇයට තම පාංශු දාරී නාරි දේහය ගැන ගර්වයක් ඇති නොවිනැයි කිව හැක්කේ කාටද? අනික් අතින් බලාපොරොතු විය හැකි ලෙසටම නැන්දාගේ පැමිනීම හර්කියුලිස්ගේ හීනමානය තවත් තීව්‍ර කලේය.

                                          නොරිස්සුම් සහගත බවක් හිතේ දරාගෙන මුත් හර්කියුලිස් නැන්දාට ආචාරශීලීව සැලකුවත්, ඇගේ සති අන්ත ආගමනයත්, නිවස දෙදරුම් කවමින් දෝංකාර දුන් ඇගේ  ගැඹුරු කට හඬත්, ඇට ක‍ටු තැලෙන තරම් තදට අත මිරිකා ගනිමින් ඇය කල ආචාර සමාචාරයත් ඔහු පිලිකුල් කලේ ටික කලකට පසු ඒවාට මුලුමනින්ම වෛර කිරීමට පටන් ගත්තේය.
       ඒ කෙසේ වුවත් එලිපිට නැන්දාට ඒ බැව් ඇඟවීමට තරම් දිරියක්  ඔහුට නොවීය.

                මේ කාලය අතරතුරදී දිගු කලක් අතින් අතට මාරුවී අකුරු බොඳවීම නිසා හරිහැටි කියවාගැනීමට පවා අපහසු තැපැල් ලිපිනයක් සහිත, ඇමේසන් වනාන්තරයෙන් යයි සැක කෙරුන උඩවැඩියා දන්ඩක් ඔහුට ලැබින.පලමු වරට දු‍ටු විට කිසිම සුවිශේෂත්වයක් පෙන්නුම් නොකල, රලුවට මිනිස් අතක හැඩය ගත්  අලයෙන් පරන පුස් ගඳක් හා සතියක් පමන පරන වූ විට කුනකින්  විහිදෙන  ආකාරයේ තද දුගඳක් හැමීය. එපමන උද්යෝගයකින් තොරවම  හර්කියුලිස් එය හරිත ගෘහයේ මුල්ලක හිටෙව්වේය.

         මුල් මස තුලදී පැළය කිසිම ජීවයක් පෙන්වූයේ නැත.නමුත් දිනක් අලුයම හර්කියුලිස් සිරිත් පරිදි හරිත ගෘහයේ රවුමක් යන විට, ලා කොල පාට චුට්ටන් දලු සිඟිත්තක් මෝදු වී ආලෝකය දෙසට ඇදෙන්නට පටන් ගෙන තිබිනි. ටික දිනකදී එහි වර්දන වේගය තීව්‍ර විය; ක්‍රමයෙන් මසින් පිරි මිනිස් බාහුවක ප්‍රමානයට කඳ විශාල විය.අනතුරුව කඳ මුදුනේ, වටේටම  කුඩා ගැටිති සමූහයක් හටගත් අතර ක්‍රමයෙන් ඒවා මහත් වීමට පටන් ගති.දැන් හර්කියුලිස්  වෙනදා පැලෑටිය දෙස බලන ඈලි මෑලි දුබල ගතිය හැරදා, නව  ප්‍රබෝධයකින් පැලයට නෙත් හෙලුවේ, අහම්බෙන් වුවද, නවතම උඩවැඩියා ප්‍රභේදයක් තම අතට පත්වී ඇති බව සක් සුදක් සේ ඔහුට ඒත්තු ගිය බැවිනි. ඔහුගේ සිත නවතම ආස්වාදයකින් පිරී    පැළයේ වැඩීම තවත් විස්මයජනක අතට හැරිනි.වැඩි පම්පෝරියකින් කිව නොහැකි වුනත් එය හර්කියුලිස්ට  වඩා උස ගියේය.එහි කඳ මුදුනේ තිබූ ගැටිතිද ඊට සමානුපාතිකව විශාල විය.ඒවා හර්කියුලිස්ට  පෙනුනේ කුමන මොහොතක හෝ මෝදු වී පුපුරා මල් පොකුරු නිරාවරනය කිරීමට සැරසෙන කොලපු සේය.
         
                                                          සමහර උඩවැඩියා පුශ්පවල ආයු කාලය ඉතාමත් කෙටි බව- සමහර විට පැයක් හෝ දෙකක් පමණ- දන්නා නිසා හර්කියුලිස් මේ දිනවල දවසේ වැඩිම කාලයක්  ගතකලේ  හරිත ගෘහයේය.නමුත් ඔහුගේ සියලුම නිරීක්ෂනයන් ව්්‍යර්ථ කරමින් කරමින් දිනක, මහ රෑ, රහසේම ඒ පෙළහර සිදු විය.

             උදෑසන බලන විට, උඩවැඩියා ශාකය මුදුනේ සිට පොලවට වදින තරමේ දිගට පහුරු අටක්, ගැටිති පුපුරා එලියට පැන තිබිණ. " මේක නම් මහ විස්මකර්ම වැඩක්. " හර්කියුලිස් මවිතව තමටම කියා ගත්තේය.

                                               ශාකයේ මේ අපූරු වෙනස තව දුරටත් නිරීක්ශනය කරමින්,හර්කියුලිස් සවස් කාලයේ පැලයට වතුර දමමින් සිටින විටදී ශාකය සඟවාගත් තවත් තුරුම්පුවක් එලියට දැම්මේය.              තමා දු‍ටුවේ මායාවක්ද, සත්්‍යයක්ද තේරුම්ගත නොහැකි තරම් නිමේශයකදී පැලය මොහොතකට සෙලවෙනවා වැන්නක් නෙත් ගැටිණි.           ඉතාමත් කල්පනාකාරීව ශාකය දෙස නෙත් නොහෙලා දිගටම බලා සිටියත් නැවත එවන්නක් සිදුවූයේ නැත.එහෙත්, සියුම් බියක සේයාවක් ඔහුගේ මනසට වැටිණි.

                                                   දින කිහිපයක් ගතවන විට ශාකයේ පහුරුවලට චලනය වීමේ හැකියාවක් ඇති බව හර්කියුලිස් නිරීක්ශනය කලේය.ඔහු ශාකය අසලින් ගමන් කරන විට අත් පහුරු ඔහු දෙසට හෙමින් පැද්දුනේබුදින්නට යමක් ඉල්ලන යාචකයෙකු මෙනි.එහි අහර සෙවීමේ සහජ ඉව මොනවට දෘෂ්යමාන විය.හර්කියුලිස්ගේ මනසේ යමක් ඇඳී නැති වී ගියේය.
                         " ඔව්මයි ! මං කොච්චර මෝඩද?මේ ගැන මට හිතන්න තිබුනෙ මුලින්මයි."
                        ඔහුට ඉබේටම කියවින. අනතුරුව ඔහුගේ දෙපා නතර වූයේ නාගරික පුස්තකාලයේය.ඔහු අඩ පැයකටත් වඩා කාලයක් H.G. Wells නැමැත්තෙකුගේ " උඩවැඩියා සුපුශ්පනය " නමැති රසවත් කෘතිය කියවීමට ගත කලේය..
                                      " මගෙ දෙවියනේ!"

            ඔහු තොල මතුලේය.තම ගොදුර,සිහි මුලා කරන සුවඳකින් යටපත් කිරීමට තරම් ශාකය තව දුරටත් මෝරා නොතිබුනත්,  ග්‍රන්ථයේ සඳහන් අනෙකුත් සියලුම කරුනු ශාකය සමග පෑහුනේය.හර්කියුලිස්   නිවසට පිය මැන්නේ  විඩාබරිත, වික්ශිප්ත  මනසකිනි.
               ඔහු හරිත ගෘහයේ දොර ඇර ඒ අපූරු ශාකය දෙස නෙත් හෙලීය.එහි පහුරුවල දිග ඔහු හිතින් ගනනය කලේය.අනතුරුව ආරක්ෂිත යයි හැ‍ඟෙන දුරකට විත් නතර විය. සෑහෙන වෙලාවක්  හොඳින් කල නිරීක්ශනයකින් පසුව එය ශාකයකට වඩා සතෙකුට හැඩහුරුකම් කියන්නාසේ පෙනී ගියේය.

         " මේක මොන තාලෙ ගහක්දයි දෙය්යො තමයි දන්නෙ. පොඩි test එකක් කරලම බලමු. "


                                                                         ශාකයේ හැසිරීම හා යාන්ත්‍රනය සොයා ගන්නා තෙක් හර්කියුලිස්ට  ඉවසුම් නැතිය.ඔහු හනිකට කුස්සියට දුව ගොස් ශීතකරනයෙන් මස් කැබැල්ලක් ගෙන, පරන කොස්සක් අගට ගැට ගසා, තමා මෝඩයෙක් සේ දැනුනත්,තම රුදුරු සුරතලුන්ට කෑම දෙන සිංහයින් මෙල්ල කරන්නකු සේ පරිස්සමින්, අඩියෙන් අඩිය පියවර තබමින් මස් කුට්ටිය සහිත කොස්ස උඩවැඩියාවට ළං කලේය.
                                     පරිසරය තත්පර කිහිපයක් නොසෙල් වී  බලා සිටියේය.අනතුරුව, ඕකිඩ් ශාකය සියුම් චලනයක් පෙන්වීමට පටන් ගති.ක්‍රමයෙන්, එය, ඔන්චිල්ලාවක් පදින කුඩා දරුවකු සේ පැද්දීමට පටන් ගත්තේය.
                     එක්වරම, ඇසිපිය හෙලන නිමේශයකින්, සත්වයා ඉදිරියට පැද්දී කොස්ස අග ඇති මස් කුට්ටිය පහුරුවලින් බදා අල්ලා ගත්තේ  හිත බියෙන් කීරි ගස්සවමිනි.තම    හදවත උර කුහරයෙන් පහලට වැටෙන්නා සේ ඔහුට දැනිණ.
                   කොස්ස අල්ලා ගෙන සිටි හර්කියුලිස්ට ඇදීමක් දැනුන නිසා ඔහු නැවතත් කොස්ස දෙස බැලුම් හෙලීය.
            විස්මයකි !
                  මස් කෑල්ල අතුරුදහන් ය.

 ඒ වෙනුවට සත්වයා පහුරුවලින් මස් කෑල්ල තම ඇඟට නොහොත් කඳට තද කරගෙන  සිටියේ සා පැටවකු ලහි ලහියේ බුදින්නට සැරසෙන විලෝපීයයෙකු සේය.තවත් මොහොතකින් සත්වයා තම චලන සියල්ලම නවත්වා, තම ගොදුර හොඳින්  දිරවා ගනු වස්,  නිසොල්මනේ ජීරන යුෂ නිපදවීමට පටන් ගත්තේය.පැය කිහිපයකට පසු මස් කුට්ටිය මතුපිට පෘෂ්ටයේ කුඩා, සුදු පනුවන් වැනි සියුම් මුල් ජාලයක් මතු විය.

             පසුදා උදෑසන වන විට ඌ මස් කුට්ටිය මුලුමනින්ම දිරවා හමාර කලේය.

           හර්කියුලිස්  භීතියෙන් ඇලී ගියේය.මේ මාංෂ භක්ශකයා කොතරම් බියකරු හා හානිකර නියැදියක් දැයි ඔහුට හැඟිණ. අසු වූවොත්, මිනිසකු බුදින්නට පවා ශක්තිමත් පහුරු දැන් එයට ඇත.කෝකටත් තෛලය කියා සෑහෙන තරම් දුරක සිට ශාකයට ජලය සැපයිය හැකි පයිප්ප පද්ධතියක්  සකස් කළ ඔහු, සත්වයාගේ ආහාර ඌ අසලට විසි කිරීමට පුරුදු විය.
 පැළය, දැන්, දිනකට අමු මස් කිලෝ එකක් පමන බුදින්නේය.එහෙත් එය "තව දුන්නොත් කඤ්ඤං ' ප්‍රතිපත්තියක සිටින බව  හර්කියුලිස් දනී.
                       හර්කියුලිස්ගේ  මර බිය, තමනට අවැසි නම්, ලෝකයේ සිටින ඕනැම උඩවැඩියා වවන්නෙකුට අභියෝග කර ජය ගත හැකි උඩවැඩියා නියැදියක් සතු වීමේ ජයග්‍රාහී සිතුවිල්ලෙන් යටපත් විය.
                                            මේ පුදුම සත්වයා දැනටමත් අඩි හයක් පමන උස නමුත් තවත් වැඩෙන්නේය.කෝකටත් කියා හර්කියුලිස් අනිකුත් සියලුම උඩවැඩියා පැල හා කැක්ටස් පැල ඒ අසලින් ඉවත් කළේය.
                    පැළය මනාව වැඩුන ස්නායු පද්ධතියකින් හා ඉතාමත් ප්‍රාථමික බුද්ධියකින් හෙබියේ, අලුත ඉපදුන බලල් පැටවකු සේ සිහින්, තියුනු තාරතාවකින් යුත් හඬක් පිට කලේය.

                                 මේ සියලුම පුදුමාකර දේවල් මෙසේ සිදු වෙද්දී, හෙන්රියාටා  නැන්දා ඇගේ රිවි දින බැහැ දැකීම්වලිනුත්, යවයක් බඳු හස්ත සමාචාරවලිනුත් සිරිත් පරිදි හර්කියුලිස් වෙහෙසට පත් කලාය.

                             කෙන්යාවේ සෆාරි දඩයම්වල යෙදීමට රුචි හෙන්රියාටා නැන්දා හර්කියුලිස්ගේ  උඩවැඩියා වගාව දෙස අවඥාවෙන් නෙත් හෙලුවේ යමෙකු තම විවේක කාලය   අඳුරු, මුස්පේන්තු හරිත ගෘහයක    ගත කිරීම ඇයට කිසිසේත්ම ප්‍රිය උපදවන දෙයක් නොවූ නිසාය. නමුත් හර්කියුලිස් නැන්දාගේ ලේ හලන, දරුනු, සිත් පිත් නැති සතුන් දඩයම මුලු හිතෙන් පිලිකුල් කල අතර ඇය පැමිනි  සෑම දිනකම ඇයට තේ පිලියෙල කරද්දී ඔහු දහස් වරක් කල්පනා කලේ ඒ තේ කෝප්පය වස ගන්නන්ට ඇත්නම් කොපමන හොඳද කියාය.
                පෙනිමෙන් හා හැසිරීමෙන් ගොරෝසු ගැහැනියක සේ පෙනුනද ඇතුලාන්තයෙන් හොඳ හිත ඇත්තියක වූ නැන්දා හර්කියුලිස් එසේ සිතන බව දැන ගත්තා නම් දුකට පත්වනු නොනුමානය.

                 





එක් සෙනසුරාදා දවසක,නැන්දාගේ පැමිනීමෙන් නොසන්සුන් වූ මනස, එකලස් කරගනු වස් ඔහු හරිත ගෘහයට ගෑටීය. අරමුනක් නොමැතිව මාංස භක්ශක ශාකය දෙස ඔහේ බලාසිටියදී, එක්වරම යම් සිතිවිල්ලක් ඔහුගේ සිත ආක්‍රමනය කලේය.
       ඔහු ශාකය දෙස නැවත බැල්මක් හෙලා, එහි පහුරු දැන් මිනිස් මාපටැඟිල්ලක් තරම් බැව් නිරීක්ශනය කලේය.ඔහුගේ සිතට වද දෙන කරුනෙන්  නිදහස් වීමට ශාකය පිටිවහලක් විය හැකි බැව් සිතත්ම ඔහුගේ හද ප්‍රීතියෙන් ඉපිල ගියේය.
   ඔහු වඩ වඩාත් රස විඳිනු වස්, ඒ සිතුවිල්ල මවා ගත්තේය. දඬු අඬු වන් ශාකයේ පහුරුවල එතුනු නැන්දා ඉන් බේරීමට අසාර්ථක ප්‍රයත්නයක් දරනු ඔහු මනසින් දු‍ටුවේය. ඒ වෙලාවේ නැන්දාගේ කෑගැසීම නෑසෙන තරම් දුරක සිටින බෑනාගේ පැමිනීම නිශ්පල එකක් වනු ඇති.
                           පොලිසියේ පැමිණීමත් නිරර්ථක එකකි. නමුත් මරණ පරික්ෂණයක් නම් නිසැකවම පැවැත්වෙනු ඇති.එතැනට පැමිනෙන බෑනාගේ ශෝකබරිත හැසිරීම හා කඳුලු තැවරුණ මුහුණ, මරණ පරීක්ෂක ගේ යම් සැකයක් ඇත්නම් එයද අතුගා දමනු නිසැකය!
     මලානික වූ හර්කියුලිස්ගේ  සිත, කාන්තාරයට වට අදිසි වැස්සකින් විකසිත වුන රමනීය පුශ්පයක් සේ,  පිබිදීමට පටන් ගත්තේය.ඔහු මාංශ භක්ශකයා තමනට ඇවැසි පරිදි පුහුනු කිරීම ඇරඹීය.


   දෙවන කොටස මෙතනින්.http://gimannivannie.blogspot.com/2013/06/part-2the-orchid-which-befriended-aunt.html






A translation of the short story, "The Reluctant Orchid" by Arthur. C. Clarke

( මම ගොඩක් ආසාවෙන් කියවපු කෙටි කතාවක් translate කරන්න හිතුවා. පරිවර්තනවලට මම ආධුනිකයෙක්. ඒ නිසා ඔබේ අව්ංක අදහස් උදෙක් බලාපොරොත්තු වෙනවා.


 කතාව දිග වැඩි කියා සිතුන නිසා ඉතිරි කොටස පස්සෙ පොස්ට් කරන්න හිතුවා. බනින්න එපා.)